සිත අකීකරු ඇයිද මන්දා- සිතට එන්නෙම ඔබම හින්දා- කාලයක් මම දුකම වින්දා -අසම්මත වූ පෙමක් හින්දා ..

 

"සිත අකීකරු ඇයිද මන්දා
සිතට එන්නෙම ඔබම හින්දා 
කාලයක් මම දුකම වින්දා
අසම්මත වූ පෙමක් හින්දා ...//"

ප්‍රේමය වනාහී මේ සමාජයේ කාට කාටත් පොදුවූත් අතීශය සමීපවූත් අත්දැකීමකි.එහෙව් පෙම්කතා අතර අසම්මත වූ පෙම්කතා ද ඕනෑතරම් තිබෙන බැව් අවිවාදිත සත්‍යයකි .බොහෝමයක් අසම්මත  පෙම්කතා ඔවුනොවුන් දැනුම්වත්ව ගොඩනැගෙන ඒවාය.එහෙත් මේ ගීයෙන් කියැවෙන්නේ එබදු අසම්මත පෙමක් ගැන නම් නොවේ .මෙයද සිතින් පමණක් පෙම් කරමින් දුරින් හිද ඔහු දෙස බලන්නියකගේ පෙමකැයි කිවහොත් නිවැරැදි ය.මේ පෙම අසම්මත ඒකපාර්ශ්වීය එකකි.එක් සිතක පමණක් ඇතිවූ මෙය සැබැවින්ම අප්‍රකාශිතය.

නව පරපුරේ ගායන ශිල්පීනියක වන ඉෂංකා සංදීපනීගේ හඩ මාධුර්යයට ජූඩ් ලක්ෂ්මන් විසින් සංගීතය සපයනු ලැබ ආලංකෘත කොට ඇති මේ ගීයේ පද රටා සංදීපනී මෙඩේරිගම ගෙනි.මාවනැල්ල ,උතුවන්කන්ද ,දෙහිමඩුවේ පදිංචි දෙදරු මවක වන ඕ පාසල් වියේ පටන්ම නිර්මාණකරණයට බෝ සෙයින් පෙම් බැන්දාය.'සිතට දැනෙන ගී හැගුමන්'නමින් මුහුණුපොතේ පිටුවක් ඔස්සේ රසික හදවත් අමතන ඇය යූටියුබ් නාලිකාවකින්ද සිය නිර්මාණ එළිදක්වන්නීය.
'සනී වා' සහ 
'ladies first 'යන මුහුණුපොතේ පිටු ඔස්සේ ද නිර්මාණ ගෙනෙන සංදීපනී කලා ක්ෂේත්‍රයේ දිගු ගමනකට දහසකුත් බලාපොරොත්තු ද පොදිබැදගෙන පෙරුම් පුරන සෙයකි.

"මගේ නිර්මාණ ජීවිතය ඇරඹුණේ පාසලේදීමයි.මම මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ 8වසරේ විතර ඉන්නකොට අහම්බෙන් බොහොම අමාරුවෙන් කවි පද පේළි හතරක් ගැටගැහැව්වා.අපට සිංහල උගන්නපු ධම්මසිද්ධි කියන හාමුදුරුවෝ තමා මට එතැනදී ගොඩක් ගුරුහරුකම් දුන්නේ.එදා පටන් ඉතින් දිගින් දිගටම ලියන්න ගත්තා .කෙටිකතා ,
නවකතා සහ රචනා එහෙම ලියල ලොකු අත්දැකීම් සම්භාරයක් එකතුකරගත්තා."

"ඉස්කෝලෙන් අයින්වෙලා ටික කාලයක් යද්දී පත්තර කීපයකට ම ලියන්න පටන් ගත්තා .ඔහොම ඉන්න අතරේ තමා සිංදු ලියන්න ඕනි කියල හිතිල ඒක පටන්ගත්තේ.සිංදු පිටුව ආරම්භ කරලා කාලයක් යද්දී ඒකට මම නොසිතූ විදියේ ප්‍රතිචාර ලැබුණා .ජනප්‍රිය ගායක ගායිකාවන් කිසිම කෙනෙක් මේ වනතුරු මගේ ගීතයක් ගායනා කරල නෑ.කොහොම වුණත් ඉදිරියේදී එවැනි අය සමග එක්ව නිර්මාණකරණයට යොමුවීමටත් මම බලාපොරොත්තු වෙනවා ."යැයි මේ කතාබහ අවසානයේ සංදීපනී අප හා පැවැසුවාය .

ඡායාරූප-
සංදීපනී මෙඩේරිගම 
ඉෂංකා සංදීපනී 
ජූඩ් ලක්ෂ්මන්

සටහන හා සේයාරූ 
අමිල දොළපිහිල්ල

සිත් රූ සිතුවම් දැක්ම Read Previous

සිත් රූ සිතුවම් දැක්ම

women’s Legends Awards 2025 සම්මාන රාත්‍රිය Read Next

women’s Legends Awards 2025 සම්මාන රාත්‍රිය

Realted Post

Leave a comment