කාන්තාවන් අතර අත්‍යවශ්‍ය ඛනිජ පෝෂක හිඟය ඉහළට

බ්‍රිතාන්‍ය ජනතාව අතර සිදු කළ පෝෂණ තත්ත්වය පිළිබඳ පුළුල් විශ්ලේෂණයකින් හෙළි වී ඇත්තේ වැඩිහිටියන්ගෙන් සියයට 45කට ආසන්න පිරිසකට හෘදයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට ද වැදගත් වන සෙලේනියම් (Selenium) නම් ඛනිජ පෝෂකය නිර්දේශිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබෙන බවයි.

Food and Nutrition Sciences සඟරාවේ පළ කර ඇති මෙම විශ්ලේෂණයට අනුව, බ්‍රිතාන්‍ය ජනතාව අතර විටමින් A, ෆෝලේට් (විටමින් B9), විටමින් D, කැල්සියම් සහ ඔමේගා-3 මේද අම්ල ඇතුළු පෝෂක කිහිපයක හිඟතාවන් ද දක්නට ලැබේ.

සෙලේනියම් යනු ශරීරයේ ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වයට සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට වැදගත් වන ඛනිජයකි. එය බ්‍රසීල නට්, මුහුදු ආහාර, මස්, බිත්තර සහ චීස් ඇතුළු කිරි ආශ්‍රිත ආහාරවල අඩංගු වේ.

මෙම පෝෂකය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, මාංශපේශී දුර්වලතාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු සහ මානසික සෞඛ්‍යයට අදාළ ඇතැම් ලක්ෂණ ඇති විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය (NHS) නිර්දේශ කරන්නේ වයස අවුරුදු 19ත් 64ත් අතර පිරිමින් දිනකට මයික්‍රෝග්‍රෑම් 75ක් ද, කාන්තාවන් මයික්‍රෝග්‍රෑම් 60ක් ද සෙලේනියම් ලබාගත යුතු බවයි.

මෙම අධ්‍යයනයට නායකත්වය දී ඇත්තේ මහජන සෞඛ්‍ය පෝෂණ විශේෂඥ වෛද්‍ය එමා ඩර්බිෂයර් (Emma Derbyshire) විසිනි. එහිදී වයස අවුරුදු 11ත් 18ත් අතර යෞවනයන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසකට ද නිර්දේශිත සෙලේනියම් ප්‍රමාණය නොලැබෙන බව අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම පෝෂකයේ හිඟතාව වැඩි වශයෙන් දක්නට ලැබී ඇති අතර, වයස අවුරුදු 19ත් 64ත් අතර කාන්තාවන්ගෙන් සියයට 57කට ද, නව යොවුන් වියේ ගැහැනු ළමයින්ගෙන් සියයට 45කට ද ප්‍රමාණවත් සෙලේනියම් නොලැබෙන බව වාර්තාවේ සඳහන් වේ. වැඩිහිටි කාන්තාවන්ගෙන් ද අඩකට වැඩි පිරිසක් මෙම තත්ත්වයට මුහුණ දෙන බව එහි දැක්වේ.

සෙලේනියම්වල ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් සෛලවලට හානි කළ හැකි ඔක්සිකාරක ආතතිය අඩු කිරීමට දායක විය හැකි බැවින් හෘදය ඇතුළු අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට එය වැදගත් වේ. මීට පෙර සිදු කළ අධ්‍යයනයකින් සෙලේනියම් මට්ටම් සහ හෘද රෝග අවදානම අතර සම්බන්ධයක් පෙන්වා දී තිබුණ ද, හෘද රෝග වැළැක්වීම සඳහා සෙලේනියම් අතිරේක ලබාගත යුතු බවට එහි කතුවරුන් නිර්දේශ කර නොතිබිණි.

NHS උපදෙස් අනුව, හැකි සෑම විටම සමබර ආහාර වේලක් මඟින් මෙම පෝෂකය ලබාගැනීම සුදුසුය. එහෙත් සෙලේනියම් අධික ලෙස ලබාගැනීම ද සෞඛ්‍යයට අහිතකර විය හැකිය. එමඟින් හිසකෙස් සහ නියපොතු ගැලවී යාම වැනි ලක්ෂණ ඇති කළ හැකි සෙලේනියම් විෂවීමක් (Selenosis) ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

මෙම සොයාගැනීම් පදනම් වී ඇත්තේ 2019 සිට 2023 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ ළමුන් සහ වැඩිහිටියන්ගේ ආහාර හා පෝෂණ තත්ත්වය පිළිබඳ ජාතික සමීක්ෂණයෙන් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමෙනි.

පර්යේෂකයන් අවධාරණය කරන්නේ පෝෂක හිඟතා අවම කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ පෝෂ්‍යදායී ආහාර පහසුවෙන් ලබාගත හැකි පරිසරයක් ඇති කිරීම වැදගත් බවයි. එවැනි පියවර නොගතහොත්, අනාගතයේදී පෝෂණ ඌනතා ආශ්‍රිත රෝග හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයට ඇති වන පීඩනය සහ ප්‍රතිකාර වියදම් ඉහළ යා හැකි බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

අශන්ති වරුණසූරිය 

ඓතිහාසික මඩුවන්වෙළ  නව සංචාරක කලාපයක් Read Previous

ඓතිහාසික මඩුවන්වෙළ නව සංචාරක කලාපයක්

කාන්තාවන් අතර අත්‍යවශ්‍ය ඛනිජ පෝෂක හිඟය ඉහළට Read Next

කාන්තාවන් අතර අත්‍යවශ්‍ය ඛනිජ පෝෂක හිඟය ඉහළට

Realted Post

Leave a comment