අයිස් මත්ද්‍රව්‍ය නිසා සිරුර හැඩවෙන්නෙ නෑ දියවෙනවා

තරුණවියේ පසුවන ගැහැනු ළමයින් වගේම විවාහක කාන්තාවනුත් මතට ඇබ්බැහිවීම වැඩි වී ඇතිබවට  පුවත් පසුගිය දිනවලදී අපට නිතර අසන්නට ලැබුණා. එම හේතුව නිසා කාන්තාවන් මතින් ගලවාගන්න මේ වන විට පුනරුත්ථාපන කඳවුරු පවා නිර්මාණය වෙමින් තිබෙන බව රහසක් නොවෙයි. මත්ද්‍රව්‍ය භාවිතය පිටුපස ඇති ජීවිත භීතිකාව ගැන ඔබ දැනගත යුතුු දේ බොහෝමයි. ඒ නිසා මේ කතා කරන්න සූදානම් වෙන්නේ මතට ලොල් පිරිමි ගැන නොව ප‍්‍රමාණය ඉක්මවා ගිහින් ජීවිතය විනාශ කරගන්න දඟලන කාන්තාවන් ගැනයි.

ඇබ්බැහිවීම වැඩි වුණේ කොහොමද?

විස මත්ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ සිදුකරන වෛද්‍යවරයෙක් විදියට මගේ නිගමනය කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවුණේ කොරෝනා කාලයෙන් පසුවබවයි. ඒකාකාරී ජීවිතයත් එක්ක තිබුණු මානසික ආතතිය නිසාත් එහෙම වෙන්න පුළුවන්. කොරෝනා කාලයේ පිටරටින් ගෙන්වන මත්ද්‍රව්‍ය ලංකාවේ හුඟක් තිබුණේ නැහැ. නමුත් අයිස් මත්ද්‍රව්‍ය ලංකාවේ හුඟක් තැන්වලින් හොයාගන්න පුළුවන් වුණා. ඒ නිසා තරුණ තරුණියන් වැඩි දෙනෙක් අයිස් මත්ද්‍රව්‍යය පාවිච්චි කරන්න පෙලඹුණා. නමුත් මේ වන විට අයිස්වලට වඩා ඇල්කොහොල් පාව්ච්චි කරන කාන්තාවන් වැඩියි. 
නව පරපුරේ හුඟක් පෙම්වතුන් එකට එක් වී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙලඹිලා තිබෙනවා. බහුතරයක් පිිරිමි අය, තමන්ගේ පෙම්වතිය, බිරිඳ මත්ද්‍රව්‍ය භාවිතා කරනවාට එරෙහි වෙන්නේ නැහැ. ඊට හේතුව තමන්ගේ බිරිඳ සහ පෙම්වතිය මේ භාවිතයට එකතු කරගත්තාම තමන්ට මේ වැඬේ කරගෙන යන්න කාන්තා පාර්ශ්වයෙන් විරුද්ධත්වයක් ඇති නොවීමයි. හුඟක් ගෙවල්වල කාන්තාවෝ තමන්ගේ සැමියා බීමතින් ගෙදර පැමිණියාම හෝ ? එළිවෙනතෙක් සාදවලට ගිහින් වෙරිමතින් ආවාම එයට විරුද්ධ වෙනවා. එහෙත් දැන් දෙපාර්ශ්වයම එකට එකතුවෙලා මේ වැඬේ කරන නිසා කාගෙන්වත් ඊට විරුද්ධත්වයක් නැහැ. පිරිමියෙක් වැටුණට පස්සේ ඔහුව ඔසවාගන්න ගැහැනියක් පිටුපසින් හිටියත්, ගැහැනියක් වැටුණට පස්සේ ඇයව ගොඩ ගන්න ඉන්න පිරිස ඉතාම අඩුයි. එයින් සිදුවෙන්නේ පවුල් පරිසරය බිඳවැටීමයි.

කෙට්ටුවීම මිථ්‍යා මතයක් 

පසුගිය කාලේ රැකියාවක් නොකර නිවසේ සිටින කාන්තාවන් වගේම තරුණ නළු නිළියන් පවා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ වැඩිවීමක් දකින්න ලැබුණා. එහෙම වෙන්න බලපෑ මිථ්‍යා මතයක් තිබුණා. ඒ අයිස් පාව්ච්චි කළාම ඉක්මනින්ම කෙට්ටු වෙනවා කියන මතයයි. එහෙත් ඇත්තටම සිදුවන්නේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කළ විට කෑමට පිරියක් සහ බඩගින්නක් ඇති නොවීමයි. මේ හේතුව නිසා හුඟක් කාන්තාවන් තමන්ගේ සිරුර කෙට්ටු කරගැනීමට අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පෙලඹුණා. එහෙත් ඒ වැඩි දෙනෙක් දන්නේ නැහැ සිරුර කෙට්ටුවීමට වඩා එයින් සිදුවෙන්නේ සම්පූර්ණ ශරීරයම දිරාපත්වීම බව.
රාත‍්‍රී වැඩමුරවල යෙදෙන සමහර කාන්තාවනුත් පහසුවෙන් අවදිව සිටීමට මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙලඹිලා තිබෙනවා. එහෙත් ඔවුන් දන්නේ නැහැ මේ තාවකාලික උත්තේජනය මු`ඵ ජීවිතේම විනාශකරනබව. මගේ පර්යේෂණවලට අනුව මෙවැනි විවිධ හේතු මත ලංකාවේ සමස්ත අයිස් පරිභෝජනය වසරකට කිලෝ දහදාහකට වඩා වැඩි වී තිබෙනවා.

සමාජයට බලපාන්නේ කොහොමද?

මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ලොකුම ගැටලූව මේ සමගම මානසික රෝග පැමිණීමයි. විශේෂයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමග මේ තත්ත්වය තවත් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය methamphetamine-induced psychosis  ලෙස හඳුන්වනවා. මේ තත්ත්වයේදී තමන්ට තේරෙන්නේ නැහැ අසනීපයක් තිබෙනබව. ඒ වගේම එඑය පිළිගන්න ඔවුන් කැමතිත් නැහැ.   

සමාජයේ වැඩි වගකීමක් දරන්නේ කාන්තාව. ඇය තමයි දරුවෝ බිහිකරන්නේ. ඉතින් ඔවුන් මේ වගේ මානසික තත්ත්වයන්ට පත්වුනාම අනාගතයේ ඉපදෙන දරුවෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. ලංකාව පීතෘ මූලික සමාජයක් වුනත් ඇත්තටම එහි ක‍්‍රියාකාරිනිය වෙන්නේ අම්මා.  පවුල කළමනාකරණයේදී හුඟක් තීන්දු තීරණ ගන්නේ ඇය යි. ඒ නිසා ඇය මානසිකව වියවුල්වීම මුළු පවුල් ඒකකයටම තදින් බලපානවා. අපි කට වහරෙට කියන්නෙත් වැරදි පිරිමියෙකුට හොඳ ගැහැනියක් හම්බවුණාම ඔහුව හොඳ මඟට ගන්න පුළුවන් කියලයි. එහෙත් හොඳ පිරිමියෙකුට මතට ලොල් වූ ගැහැනියක් හමුවීම දෙදෙනාගේම ජීවිතය සම්පූර්ණයෙන් විනාශවීමට බලපාන්න පුළුවන්. ඒ නිසා පිරිමියෙකුට වඩා කාන්තාවක් මතට ඇබ්බැහිවීම හැමඅතින්ම භයානකයි. 

ලිංගාශි‍්‍රත රෝග පැතිරීමේ දැඩි අවදානමක්

මත්ද්‍රව්‍ය වර්ග අතුරින් අයිස් යනු ඉතාම කෙටිකාලීන ලිංගික උත්තේජනයක් ඇතිකරන මත්ද්‍රව්‍යයක්. මේ හේතුව නිසා බොහෝවිට පෙර සූදානමකින් තොරවම ලිංගික ක‍්‍රියාවලට යොමුවීමට (unprotected sex) පෙලඹෙනවා. මෙය ජාත්‍යන්තර වශයෙනුත් ලිංගික රෝග ව්‍යාප්තවීමට බලපානවා. මේ වගේ අවස්ථාවල ගන්න ඉක්මන් තීරණ නිසා අනාරක්ෂිත ලිංගික ඇසුරු කිරීම් ඉතා වේගයෙන් වැඩිවෙනවා. ඒ ගැන බියක් ඇතිවන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් කාන්තාවක් කියන්නේ නොදන්න පිරිමියෙක් සමග ලිංගික ක‍්‍රියාවක නිරත වෙන්න බය කෙනෙක්. එහෙත් මෙවැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇයට බියක්, තැතිගැනීමක් දැනෙන්නේ නැහැ. මේ නිසා ලිංගාශ‍්‍රිත රෝග පැතිරීම දැනටත් වේගවත් වී තිබෙනවා. 
අයිස් භාවිතය නිසා පෙනුම විකෘතිවීම, සමේ රෝග ඇතිවීම, කුෂ්ඨ, දද, ගැටිති වැනි විවිධ සමේ රෝග හටගැනීම අධික ලෙස සිදුවෙන්න පුළුවන්. විශේෂයෙන් මේ හේතු නිසා තරුණ දියණියන් මතට ඇබ්බැහිවීම පරම්පරාවක් විනාශවීමට බලපානවා.

නීතීයෙන් ගැලවීමක් නැහැ

සමහර බීමත් පිරිමි පුද්ගලයින් වගේම කාන්තාවනුත් බීමතින් රිය පදවනවා. එහෙත් සිහි මඳ ගතියෙන් වාහන පදවා පහසුවෙන් නීතියෙන් ගැලවීයාමට දැන් ඉඩකඩ අඩුයි. කාන්තාවන් ගැන වැඩිපුර සැක නොසිතන නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ තැනින් තැනට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමටත් කාන්තාවන් යොදා ගන්නවා. අයිස් වැනි මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර අසුවුවහොත් ඒවායින් ගැලවීමට ලිහිල් නීති තබෙනවා යැයි කාන්තාවන් හිතනවා. එහෙත් මෙවැනි වැරදිවලදී නීතියෙන් දැන් පහසුවෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. ඒ සඳහා නව නීති එකතු වී බෙනවා.

ඇබ්බැහිය වළක්වාගන්න කළ යුතු දේ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින හුඟක් කාන්තාවන්ව ඖෂධ භාවිතා නොකර කතා කිරීමෙන් පමණක් මුදවාගත් අවස්ථා  ඕනෑ තරම් තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තාවනුත් ඒවා නොගෙන සිටින අවස්ථාවල සිටින්නේ දැඩි මානසික වියවුලකින්. එහෙම වෙලාවට ඒ අයත් එක්ක කතා කරන්න බැහැ. ඇය ඒවා පාවිච්චි කර සිටින අවස්ථාවක් වුවත් ඇය සිටින්නේ සාමකාමීව නම් ඇය සමග කතාකිරීම ගැටලූවක් නැහැ. 
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවක් පිරිමියෙකුට වඩා ඉක්මනින් එයින් මුදවා ගැනීම පහසුයි. එක බෙහෙත් පෙත්තක්වත් නොමැතිව, සම්පූර්ණයෙන්ම උපදේශන සේවාවෙන් පමණක්ම ඔවුන්ව නවත්වන්න හැකියාව තිබෙනවා. එයට හේතුව කාන්තාවන් පිරිමින්ට වඩා හිත හයිය කොටසක් නිසයි. මේ සමාජයේ හුඟක් ඉන්නේ දිරිය කාන්තාවන්. ඒ නිසා නිවැරදි ප‍්‍රතිකාර සහ උපදේශනයට යොමුවෙන්න පු`ඵවන් නම් ඉතා කෙටි කාලයකින් කාන්තාවක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කරගන්න පුළුවන්.

සටහන - නයනා උදයංගනී

 

 

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර Read Previous

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Next

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

Realted Post

Leave a comment