උෂ්ණාධික සිරුරක් ඇති ඔබ කියවිය යුතුම ලිපියක්

උෂ්ණාධික සිරුරක් කියන්නේ බාහිරින් හා අභ්‍යන්තරව හිතට වද දෙන කාරණයක්. විශේෂයෙන් බාහිර රූපය අවලස්සන කරන හැකියාව වැඩියි. ඒ නිසාම මේ කරදරකාරී ගැටලුවට ස්වභාදහම මිශ්‍රව යන වෙදකමින් සහනයක් ලබා දෙන මග කියන්න සිරිකත Online අපි හිතුවා .

ආයුර්වේදයට අනුව පුද්ගල සිරුරේ ත්‍රිදෝෂ සමතුලිතතාවය නිරෝගීබවටත් , අසමතුලිතතාවය රෝග හටගැනීමටත් හේතු වෙනවා. සිරුරේ මේ ත්‍රිදෝෂයේ සංයුතිය අනුව  වාත ,පිත, කඵ , වාත කඵ, පිත කඵ,  වාත පිත, ත්‍රිදෝෂ  වශයෙන් පුද්ගල කාණ්ඩ 7 කට වෙන් කරනවා . 

ත්‍රිදෝෂය අතරින් සිරුරේ උෂ්ණත්වයට හේතු වන්නේ පිත් දෝෂය බැවින් මෙම කාණ්ඩ අතරින් පිත බහුල කාණ්ඩයට අයත් වන අයගේ සිරුර උෂ්ණත්වයෙන් වැඩියි. පිත දෝෂය කෝපයෙන්  සිරුරේ උෂ්ණාධික ලක්ෂණ පහළ වීමත් , උෂ්ණ රෝග හටගැනීමත් බහුලව දකින්න පුළුවන් .

පුද්ගල සිරුරේ ත්‍රිදෝෂ සංයුතියේ පිත ඇති වීම ජානමය බලපෑමෙන් සිදුවන්නේ. එනම් මව්පිය පාර්ශවයේ  සිරුර අධික උෂ්ණ ස්වභාවය උපතින්ම දරුවන්ට උෂ්ණාධික සිරුරට හේතු වෙනවා.

ඒ වගේම ඔබ ගන්නා ආහාර එනම් වියළි මාංස, ⁣රාබු, කොල්ලු ආදිය ආහාරයට ගැනීම වගේම අච්චාරු , මිරිස් ආදිය, තෙල් අධික , ක්ෂණික ආහාර පානයන්ට නිතර හුරු වීමත් මුරුංගා , බලයා, ඉස්සෝ, දැල්ලො , තක්කාලි , කිරි අල , අන්නාසි,  දූරියන් , මැංගුස්,  රඹුටන්, ලොවි, විනාකිරි , අබ ආදියත් අවිධිමත් චර්යා රටා, දිවා නින්ද, නිදි වැරීම, මානසික පීඩන, ජල පානය අඩුකම, නිතර කේන්ති ගැනීම වැනි දෑ හේතු වෙනවා.


සිරුරේ උෂ්ණාධිකකම නිසා දරුවන්ට 

රතගාය , සමේ රෝග(කුෂ්ඨ ) , හිසරදය, ගැස්ට්‍රයිටිස් , අක්ෂි රෝග , මළබද්ධය, අර්ශස්,  භගන්දර , පරිකර්තිතා (ගුද මාර්ගයේ පැලීම්) , පුරුෂ මදසරුභාවය , පිළිකා , මානසික ආතතිය , ගර්භාෂගත රෝග , ආර්තව ගැටලු , දරු ඵල ප්‍රමාද වීම් වැනි රෝග වලට අමතරව ඔබේ රූපයටද බලපෑම් කරනවා. එනම් හිස කෙස් වලට හා සමට විශාල බලපෑමක් සිදුකරනවා. හිස කෙස් පැසීම , හිස්හොරි , සම අවපැහැය , වියලි බව , කුරුලෑ , සමේ රෝග ( කුෂ්ඨ),  තොල්  අවපැහැ වීම , පැලීම වැනි දෑ රූපය අවලස්සනවීමට බලපෑමක්ද කරනවා.

උෂ්ණාධිකභාවය සිරුරෙන් හඳුනාගත හැකි ලක්ෂණ නම් අකලට හිස කෙස් සුදු වීම හා ගැලවීම, හිස්හොරි, අත් පා ඇඟිලි සම කැසීම, කුරුලෑ ඇති වීම, මුඛ දුර්ගන්ධය, සම හිස වියළි බව, ඇස් දැවිල්ල, සිරුරේ දැවිල්ල, නිතර දහඩිය දැමීම, දහඩිය දුඟද, අත් පතුල් තොල් පැලීමට ලක්වීම,  ඇතැම් ආහාර වලට ආසාත්මිකතාවයන් පෙන්වීම වැනි ලක්ෂණ උෂ්ණාධික සිරුර තුළ දක්නට ලැබෙනවා .

ආයුර්වේදයට අනුව සිරුරේ පිත සමනය සදහා යොදන  ඖෂධ,  ආහාර වල මධුර රස,  ශීත ගුණ බහුල බැවින් එය ඇතැම් අයට  සෙම වැඩිවීමට හේතු වෙනවා. විශේෂයෙන් සිරුරේ පිත කඵ දෝෂ ප්‍රමුඛතාවය ඇති අයට පිත සමනයෙදි සෙම බහුල වීම දක්නට ලැබෙනවා. ඒත් වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළ මේ තත්ත්වය වලක්වා ගන්න පුළුවන් . 

විශේෂයෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි සෙම් රෝග වලින් මිදීමට හා  ප්‍රතිශක්ති වර්ධනයට දෙන ඖෂධ රැසක පිත සෙම දෝෂ දෙකම සමන හැකියාව පවතිනවා . පාවට්ටා, කොත්තමල්ලි , කහ, කරපිංචා ආදී ඖෂධ උෂ්ණ වීර්යය නිසා සෙම සමනය කරන අතර ඒවායේ මධුර, තික්ත, කෂාය රසයන්ගෙන් පිත කෝප වීම වළකන නිසා සෙම පිත දෝෂ ද්විත්වයම සමනය කරනවා. බිං කොහොඹ වලද පිත කඵ සමන හැකියාව ඉහළයි.

සමහරු හිතාගෙන ඉන්නවානෙ උෂ්ණාධික සිරුර හිමි අයට ආසාවටවත් උෂ්ණ කෑමක් කන්න බැරිද කියල. පිත් වර්ධක ආහාර වලින්  සම්පූර්ණයෙන්ම වැළකීම අත්‍යාවශ්‍ය නොවුනත් උෂ්ණ, විදාහී , ආම්ලික ආහාර ගැනීම  නුසුදුසු අතර ඇතැම් අයට විශේෂිත ආහාර සදහා ආසාත්මිකතා ලක්ෂණ පෙන්වන බැවින් ඒවායින් වැළකී තම ආහාර විහරණ රටා සකසා ගන්න පුළුවන් . 

ඒ වගේම ඒ ඒ කාල වලට අදාල උෂ්ණ , ශීත දේශගුණික තත්ත්ව යටතේ පරිසරයේ හට ගන්නා එළවළු පලතුරු ආදිය  විවිධත්වය පිළිබඳවත් අවධානය යොමු කර ආහාර  සකස් කර ගැනීම වැඳගත් .

එදිනෙදා ජීවිතයේ නෙල්ලි, රසකිඳ, රණවරා, බෙලි මල්, ඉරමුසු, පොකුරු වද මල්, කොමඩු, පිපිඤ්ඤා ආදිය පානත් හාතවාරිය , කොහිල, මුං ඇට, විලද, සව් ආදයෙහි කැඳත් උෂ්ණාධිකභාවය සමනයට ගුණ දෙනවා. 

උදෑසන දියබත් ආහාරයට ගැනීම මෙන්ම ගිතෙල් ආහාරයට ට එකතු කර ගැනීම යෝග්‍යයි. පිටතින් කෙතරම් ආලේපන ගැල්වූවත් සිරුර ඇතුලතින්ම සිසිල් කර ගැනීම වැඳගත්.

විශේෂයෙන්ම සිරුර ඇතුළතට පත්පාඩගම්, කොහොඹ, රසකිඳ, සැවැන්දරා, සුදු හදුන්, හාතවාරිය ආදිය අන්තර්ගත පිත්ත ශාමක කෂායවල් භාවිතා කරන්න හැකියි.

කුපිත වූ පිත සිරුරෙන්  බැහැර කිරීම සදහා ශෝධන  කර්ම අතරින්  විරේචන කර්මය නිර්දේශිත අතර එය වෛද්‍ය උපදෙස් මත සිදු කල යුතුයි. ඒ වගේම ශාමක කෂාය ඇතුළු රත කල්කය වැනි අනෙකුත් ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතුයි.

බාහිර වශයෙන් සුදුහදුන් එලකිරි සමග ගැල්වීම, සැවැන්දරා ඇල්දියෙන් අඹරා සමෙහි ආලේපය, රසකිඳ කොළ, බෙලි කොළ ආදිය අඹරා අත් පා පැලුණු ස්ථාන වල ආලේපය, පිණ්ඩ, සර්ව විශාදි, සීතෝදක වැනි තෙල් සිරුරේ ගැල්වීම, දිනපතා ඇල් දිය හෝ ඖෂධීය කොළ පොතු තැම්බූ වතුරින් ස්නානය, පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, ත්‍රිඵලා, නීල්‍යාදි වැනි තෙල් හිසෙහි ආලේප කර සම්භාහනය ⁣සුදුසුයි.

බාහිර හා අභ්‍යන්තර දෙආකාරයෙන්ම සිරුරේ උෂ්ණාධිකබව සමනය තුළ යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි. වඩාත්ම වැඳගත් මෙවැනි දේ ස්වභාවික නිසා ප්‍රතිඵල ඉක්මනින්  ලබා ගත නොහැකියි. නමුත් දිගුකල් නිරෝගී ⁣සුන්දර සිරුරකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබෙනවා.

උෂ්ණාධික සිරුරක් හිමි ඔබ නිරන්තරයෙන් තම ආහාර විහරණ වගේම දින චර්යා රටාව යහපත් කරගනිමින් අදාල රෝගයන්ට නිසි  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළ නිරෝගී යහපත් සතුටු ලස්සන  ජීවිතයකට උරුමකම් කියන්න හැකියාව ලැබෙනවා. 

සටහන - මහේෂානි මීගහපොල 
වෛද්‍ය උපදෙස් - රක්වාන ආයුර්වේද රෝහලෙහි ආයුර්වේද වෛද්‍ය  චේතිකා නාගහවත්ත

International Mother’s Day Read Previous

International Mother’s Day

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක් Read Next

විසිකරන දෙහි ලෙල්ලෙන් දිදුලන සමක්

Realted Post

Leave a comment