ගැබිනියගේ පෝෂණ වට්ටෝරුව

විවාහ වූ දා සිට ඔබෙත් සැමියාගේත් වගේම පවුලේ හිතවතුන්ගෙත් එකම පැතුම ඔබේ ගර්භිණීභාවයයි. ඔබේ පවුල සම්පූර්ණ වනුයේ මේ පුංචි පැටියාගේ ලෝකයෙන්. ඒ නිසාම නිරෝගී සුන්දර පුංචි සිඟිත්තෙකු ඔබේ කුසට පැමිණීමට පෙර සිට අවධානය ඉතාම වැදගත්. ඒ නිසා ගර්භිණී කාලයේදී ඔබ ලබා ගන්නා පෝෂණය ඉතාම වැදගත් වෙයි. 

පළමු මාස තුන 

පළමු මාස තුනේදී කැල්සියම්, යකඩ අඩංගු ආහාර ලබා ගැනීම සුදුසු නොවෙයි. ඊට හේතුව ගර්භිණී මුල් අවධිය තුළ බොහොමයක් ගර්භිණී මවුවරුන්ට වමනය, ඔක්කාරය වැනි අපහසුතා ඇතිවීම තුළ ආහාර රුචියක් ඇති නොවීමයි. මෙවැනි අපහසුතාවලදී අසාමාන්‍ය ලෙස ඇඹුල් ආහාර වර්ග වැඩපුර ලබා ගැනීමට ප‍්‍රියතාවක් දක්වයි. එහෙත් එවැනි ආහාරවලින් වැළකීම වඩාත් සුදුසුයි. වැඩිපුර දියර සහිත ආහාරපාන ලබා ගැනීම මේ කාලසීමාවේදී යෝග්‍යයි. එ් ගර්භිණී කාලයේදී ඇතිවන වමනය, ඔක්කාර ස්වභාවය නිසා සිරුර විජලනයවීම වළක්වා ගතයුතු නිසයි. විටමින් බී වර්ගයට අයත් ෆෝලික් ඇසිඞ්, තිබෙන ආහාර ලබා ගැනීම ඉතාම වැදගත් ය. දරුවාගේ මොළය වර්ධනයවීම සඳහා සුදුසු ආහාර ලෙස ගොටුකොළ, සලාද කොළ වැනි පලා වර්ග වොල්නට් ආමන්ඞ් ඇට ඉතා සුදුසුය. මුල් මාස තුන තුළ යකඩ ලබා ගැනීම නුසුදුසු වුවත් ආමන්ඞ් ඇටවල ඇති යකඩ පෝෂකය වැඩිපුර ලබා ගැනීමෙන් හානියක් සිදු නොවෙයි. කොළ කැඳ පානය ද මෙන්ම කිරි පානයද ගුණදායකය.
නෙල්ලි වැනි පලතුරක් මුල් මාස තුනේදී ලබා ගැනීම සුදුසුය. නෙල්ලිවලින් ඖෂධ ගුණය සේම විටමින් වැනි පෝෂක ගුණත් ලැබෙයි. වමනය, ඔක්කාරය වැනි අපහසුතා පවතින අයට ඉඟුරුවලින් සාදන ආහාරපානත් යෝග්‍ය වෙයි. එයින් වමනය, ඔක්කාර ස්වභාවය අවම වෙයි.

හතරවැනි මාසය 

හතරවැනි මාසය ඇරඹීමත් සමගම මුල් මාස තුනේදී පැවතුණු අපහයසුතා මඟහැරී යයි. ආහාර රුචිකත්වය ඇතිවෙයි. පලතුරු, රටඉඳි, මුද්දරප්පලම්, මස්, මාළු ලබා ගැනීම සුදුසුය. විශේෂයෙන් අපේ රටේ මවුවරුන් අතර හිමොග්ලොබින් අගය අඩුවීමේ තත්ත්වය බහුලය. ඒ නිසා ගර්භිණී කාලයේදී වැඩිපුර යකඩ ලබා ගැනීම කළ යුතුයි. යකඩ සිරුරට දරා ගැනීම පහසුකරලීම සඳහා කහ පැහැති පලතුරු, එළවළු වැඩිපුර ලබාගැනීම හොඳයි. රතු සහල්, පාරම්පරික දේශීය සහල් වර්ගවල, කුරක්කන්වල විටමින් බී බහුලයි. රතු පැහැ ඇට වර්ග උදෑසන වැඩිපුර ආහාරයට ගත යුතුයි. ගර්භිණී කාලය තුළ විශාල මුදලක් වැයකර ආහාරපාන ලබා ගැනීම අවශ්‍ය නොවෙයි. සාමාන්‍යයෙන් එදිනෙදා ආහාර වේලට ලබා ගන්නා එළවළු, පලතුරු, පලා වර්ග ලබා ගැනීම ප‍්‍රමාණවත් ය. නිවිති සහ මුරුංගා කොළ යකඩ බහුල ආහාරයි.
පිෂ්ටය සහිත ආහාර වැඩිපුර නොගත යුතුයි. අඩු ප‍්‍රමාණයෙන් ලබා ගැනීම සුදුසුයි. මේ කාලයේදී සුදුසු වනුයේ විටමින්, ඛනිජ ලවණ වැඩිපුර ලබා ගැනීමය. දරුවා ඉපදුණු පසු මව්කිරි ලබාදීම අවශ්‍යය. මේ නිසා දරුවා ලැබීමට පෙර අවසාන මාසයේදී කිරි වර්ධක ආහාර ලබාගත යුතුයි. කැරට්, පොලොස් වැනි ආහාර නිතර ගැනීම සුදුසුයි. මෙවැනි ආහාර මව්කිරි වර්ධනයට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ඊට අමතරව යකඩ, ප්‍රෝටීන, කැල්සියම් සහිත ආහාර ලබාගත යුතුයි.
කුඩා මා`ඵ කටු ඉවත්කර ආහාරයට ගැනීමෙන් ප‍්‍රයෝජනයක් නැත. එළකිරි දිනපතා පානය වුවත් සුදුසු වෙයි. එළඟි තෙල් ආහාරයට එක්කර ගැනීම සුදුසුය. දිනපතා පලා වර්ගයක් ආහාරයට ගත යුතුය. 
පතෝලවල ගැස්ට‍්‍රයිටිස් සමනය කිරීමේ ගුණයක් ඇත. ඒ වගේම සිරුරට අවශ්‍ය කෙඳි (Fiber)ලබාදෙයි. එයින් මලබද්ධය වැළකෙයි.

නුසුදුසු ආහාර මොනවාද?

පළමු මාස තුනේදී ඇඹුල් රසකාරක, කෘත‍්‍රිම සහ ක්ෂණික ආහාර නොගත යුතුයි. නිවසේදි සාදන පිරිසුදු ආහාර ලබා ගැනීම වඩාත් සුදුසුයි.
එළවළු අමුවෙන් ලබා ගැනීම තුළ සිරුරට අවශ්‍ය පෝෂණ කොටස් මනාව ලැබෙයි. සිරුරේ ප‍්‍රතිශක්තිය වර්ධනය කරවන ආහාර ලබා ගැනීමෙන් මව සහ දරුවා දෙදෙනාම ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගත හැකිය.  

දොළදුක සාමාන්‍ය තත්ත්වයක්ද?

ගැබිනියකට දොළදුක ඇතිවන්නේ පළමු මාස තුනේදී පමණි. ඊට හේතුව සිරුරේ හෝමෝනවල සිදුවන වෙනසයි. එතැනදී ආහාර ලබා ගැනීමේ ප‍්‍රියතාව අඩුවී යයි. විශේෂිත ආහාර ලබා ගැනීමට සිතෙයි. ඊට හේතුවන්නේ සිරුරේ පවතින දුර්වලතාවයි. වමනය වැඩිපුර යාම තුළ ගැස්ට‍්‍රයිටීස් ඇති වේ. එවිට ආහාර ගැනීම අපහසුය. එහෙත් ඇඹුල් වැනි ආහාර ලබා ගැනීමට සිතෙයි. එවිට සිරුරට දැනෙන අපහසුව තවත් වැඩිවෙයි. ඒ නිසා පළමු මුල් මාස තුනේදී ඇඹුල්, තෙල් ආහාර, ක්ෂණික, කෘත‍්‍රිම රසකාරක සහිත ආහාර නොගත යුතුයි. 

සටහන - මහේෂානි මීගහපොල 

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි  Dasun pathirana Read Previous

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Next

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

Realted Post

Leave a comment