බෙල්ල කළු වන්නේ වෙනත් ගැටලුවක ලකුණක්ද?

බෙල්ලේ සම අවපැහැ ගැන්වී කළු පැහැයට හැරීම බොහෝ දෙනකුට මුහුණදීමට සිදුවන රූපලාවන්‍ය ගැටලුවකි. විශේෂයෙන් මුහුණේ සමට සාපේක්ෂව බෙල්ලේ සම තද පැහැයක් ගැනීම ඇතැම් විට පෙනුමට බලපානවා පමණක් නොව, ඒ පිළිබඳ මානසික අපහසුතාවක්ද ඇති කළ හැකියි.

එහෙත් බෙල්ල කළුවීමට හේතුව සෑම විටම රූපලාවන්‍ය ගැටලුවක් පමණක් නොවේ. ඇතැම් අවස්ථාවල එය සිරුරේ ඇති වෙනත් තත්ත්වයක ලක්ෂණයක් විය හැකියි. එබැවින් බෙල්ල කළු වීමට බලපාන හේතු හඳුනා ගැනීම වැදගත්ය.

බෙල්ල කළු වීමට බලපාන හේතු මොනවාද?

අධික හිරු එළියට නිරාවරණය වීම බෙල්ලේ සම අවපැහැ ගැන්වීමට බලපාන ප්‍රධාන කරුණක් විය හැකියි. එමෙන්ම නිතරම බෙල්ලේ සම ඇඳුම්වල කොලරයට හෝ මාල වැනි ආභරණවලට ගැටීම නිසා ඇතිවන ඝර්ෂණයද සමේ පැහැය වෙනස් කිරීමට හේතුවක් විය හැකියි.

ඇඳුම්වල ඝන වාටි බෙල්ලේ සමට තදින් ගැටීමෙන් නිතර සීරීම් හෝ කුඩා තුවාල ඇතිවීමත් සමේ අවපැහැ ගැන්වීමට දායක විය හැකියි.

ඊට අමතරව විවිධ රූපලාවන්‍ය ආලේපන භාවිතය, හෝමෝනවල වෙනස්කම්, දියවැඩියාව, පෝෂණ ඌනතා සහ අධික ස්ථූලතාව වැනි කරුණුද බෙල්ලේ සම කළු පැහැයට හැරීමට බලපාන බව සඳහන් වේ.

බෙල්ල කළු වීමත් සමඟ පෙනෙන්න පුළුවන් ලක්ෂණ

බෙල්ලේ සම කළු පැහැයට හැරීම පමණක් නොව, තවත් ලක්ෂණ කිහිපයක් සමඟ එය ඇති විය හැකියි.

නිතරම මහන්සි ස්වභාවයක් දැනීම, නිදිමත ඇතිවීම, පැණි රස ආහාර සඳහා වැඩි රුචිකත්වයක් ඇතිවීම වැනි ලක්ෂණ ඇතැම් පුද්ගලයන් තුළ දක්නට ලැබිය හැකියි.

විශේෂයෙන් බෙල්ලේ පිටුපස සහ දෙපස සම දුඹුරු, තද දුඹුරු හෝ කළු පැහැයට හැරීම, සාමාන්‍ය සමට වඩා එම ප්‍රදේශය ඝන වීම සහ රැලි සහිත ස්වභාවයක් ගැනීමද අවධානය යොමු කළ යුතු ලක්ෂණ වේ.

සමහර අවස්ථාවල සුළු කැසීමක් හෝ එම ප්‍රදේශයෙන් අප්‍රසන්න දුගඳක් ඇතිවීමද සිදුවිය හැකියි.

ඒ නිසා බෙල්ල කළු වී ඇති බව දුටු පමණින් එය හුදෙක් රූපලාවන්‍ය ගැටලුවක් ලෙස සලකා විවිධ ආලේපන භාවිත කිරීම සුදුසු නොවේ. විශේෂයෙන් සමේ වෙනස දිගින් දිගටම පවතින්නේ නම් හෝ වෙනත් ලක්ෂණද සමඟ තිබේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.


සටහන – මහේෂානි මීගහපොල
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය ආනන්දි දිනමිත්‍ර ආරච්චි

ඇමරිකානූ නව තානාපති මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා  බැහැ දකී Read Previous

ඇමරිකානූ නව තානාපති මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා බැහැ දකී

Global CIO Forum Read Next

Global CIO Forum

Realted Post

Leave a comment