භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා

භාවනාව මානසික ආතතිය අඩු කරමින් සිත සන්සුන් කිරීමට උපකාරී වන පුරුද්දක් ලෙස දිගු කලක් තිස්සේ ප්‍රචලිතයි. එහෙත් භාවනාවේදී සිදු කරන මන්දගාමී හුස්ම ගැනීම මොළයේ සෞඛ්‍යයටද බලපෑම් කළ හැකිද? යන්න සොයා නව පරීක්ෂණයක් සිදු කර ඇත.

නව පර්යේෂණයකින් පෙනී යන්නේ භාවනාවේදී සෙමින් හා පාලනයකින් හුස්ම ගැනීම, ඇල්සයිමර් රෝගයට සම්බන්ධ ජෛව සලකුණක් වන ඇමයිලොයිඩ්-බීටා (amyloid-beta) මට්ටම අඩු වීම සමඟ සම්බන්ධ විය හැකි බවයි.

ඇමයිලොයිඩ්-බීටා වැදගත් ඇයි ?

ඇමයිලොයිඩ්-බීටා යනු ශරීරයේ සෛලීය ක්‍රියාකාරකම්වලදී සාමාන්‍යයෙන් නිපදවන කුඩා ප්‍රෝටීනයක්. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ශරීරය මෙය ඉවත් කරගන්නවා.

නමුත් එය අධික ලෙස නිපදවීම හෝ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවීම නිසා එහි මට්ටම ඉහළ යා හැකි අතර, මොළයේ එකිනෙකට ඇලී plaques ලෙස තැන්පත් වීම ඇල්සයිමර් රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස සැලකෙනවා.

සෙමින් හුස්ම ගන්නා විට ශරීරයේ සිදුවන්නේ කුමක්ද?

අපි සන්සුන්ව සිටින විට හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය අතර ස්වභාවික සම්බන්ධතාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් හුස්ම ඇතුළට ගන්නා විට හෘද ස්පන්දනය තරමක් වේගවත් වන අතර, හුස්ම පිට කරන විට එය මන්දගාමී වෙනවා. මන්දගාමී හුස්ම ගැනීම මෙම හෘද ස්පන්දන වෙනස්වීම් වැඩි කිරීමටත්, ශරීරය සන්සුන් කරන parasympathetic nervous system ක්‍රියාකාරීත්වය උත්තේජනය කිරීමටත් හේතු විය හැකියි.

පර්යේෂකයන් සොයාගත්තේ කුමක්ද?

ඇමෙරිකාවේ University of Southern California ආශ්‍රිත පර්යේෂකයන් 18–35 වයස් අතර සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් 89 දෙනෙකු යොදාගෙන මෙම අධ්‍යයනය සිදු කර තිබෙනවා. ඔවුන් සහභාගිවන්නන් කණ්ඩායම් තුනකට බෙදා තිබුණා.

පළමු කණ්ඩායම භාවනාව සමඟ මන්දගාමී හුස්ම ගැනීම සිදු කළා. ඔවුන්ට තත්පර 5ක් පුරා හුස්ම ඇතුළට ගෙන, තත්පර 5ක් පුරා හුස්ම පිට කිරීමට උපදෙස් ලබා දී තිබුණා. එනම් විනාඩියකට ආසන්න වශයෙන් හුස්ම වාර 6ක්.

දෙවැනි කණ්ඩායම භාවනාව කළත්, හුස්ම ගැනීමේ නිශ්චිත වේගයක් පවත්වා ගැනීමට උපදෙස් ලබා දී තිබුණේ නැහැ. තුන්වෙනි කණ්ඩායම විශේෂ භාවනා පුහුණුවක් නොකර පාලන කණ්ඩායමක් ලෙස කටයුතු කළා.

සියලුම කණ්ඩායම්වල සහභාගිවන්නන් සතියක් පුරා දිනකට විනාඩි 20 බැගින් දෙවරක්, එනම් දිනකට විනාඩි 40ක් පමණ තමන්ට නියම වූ ක්‍රියාකාරකම සිදු කළා.

සතියකින් පසු සිදු වූ වෙනස

පර්යේෂණය ආරම්භයේදී සහ සතිය අවසානයේදී සහභාගිවන්නන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කර තිබුණා. එහිදී මන්දගාමී හුස්ම ගැනීම සමඟ භාවනා කළ කණ්ඩායමේ රුධිරයේ ඇමයිලොයිඩ්-බීටා මට්ටම අඩු වී තිබුණා.

එහෙත් මන්දගාමී හුස්ම ගැනීමකින් තොරව භාවනා කළ කණ්ඩායමේ ඇමයිලොයිඩ්-බීටා මට්ටම් ඉහළ යාමක් නිරීක්ෂණය වුණා. පාලන කණ්ඩායමේ එවැනි සැලකිය යුතු වෙනසක් දක්නට ලැබුණේ නැහැ.

මේ පිටුපස ඇති යාන්ත්‍රණය කුමක්ද?

පර්යේෂකයන්ගේ අදහස වන්නේ මන්දගාමී හුස්ම ගැනීම මගින් ශරීරයේ parasympathetic nervous system ක්‍රියාකාරීත්වය වැඩි වීම මෙම වෙනසට එක් හේතුවක් විය හැකි බවයි.

මෙය ශරීරය සන්සුන් කිරීමට සම්බන්ධ ස්නායු පද්ධතියේ කොටසක්. එමඟින් ඇමයිලොයිඩ්-බීටා නිපදවීමට හා සැකසීමට සම්බන්ධ ජෛව ක්‍රියාවලීන් වෙනස් විය හැකි බව පර්යේෂකයන් යෝජනා කරනවා.

හැබැයි මේ කරුණ අමතක කරන්න එපා!

මෙම පර්යේෂණයේදී ඇමයිලොයිඩ්-බීටා මට්ටම් අඩු වීමක් පමණක් නිරීක්ෂණය කර තිබෙනවා. එයින් භාවනාව මගින් ඩිමෙන්ෂියා හෝ ඇල්සයිමර් රෝගය අනිවාර්යයෙන්ම වළක්වාගත හැකි බව තහවුරු වන්නේ නැහැ.

විශේෂයෙන්ම මෙම අධ්‍යයනයට සහභාගි වූයේ තරුණ, සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් වන අතර, පර්යේෂණ කාලයද සතියක් පමණයි. ඒ නිසා වසර ගණනාවක් පුරා භාවනාවේ යෙදීමෙන් ඇල්සයිමර් හෝ ඩිමෙන්ෂියා අවදානම සැබවින්ම අඩුවේද යන්න තහවුරු කිරීමට තවත් දිගුකාලීන පර්යේෂණ අවශ්‍යයි.

එහෙනම් සෙමින් හුස්ම ගැනීම ප්‍රයෝජනවත්ද?

දිනපතා මිනිත්තු කිහිපයක් නිස්කලංකව හිඳගෙන, පහසු ලෙස සහ බලහත්කාරයකින් තොරව මන්දගාමීව හුස්ම ගැනීම මානසික සන්සුන්භාවය සඳහා ප්‍රයෝජනවත් පුරුද්දක් විය හැකියි.

කෙසේ වෙතත්, භාවනාව ඩිමෙන්ෂියා සඳහා ප්‍රතිකාරයක් ලෙස හෝ රෝගය වැළැක්වීමේ සහතිකයක් ලෙස නොසැලකිය යුතුයි. මතකය අඩුවීම, අවධානය යොමු කිරීමේ අපහසුතා හෝ වෙනත් ඩිමෙන්ෂියා ලක්ෂණ පිළිබඳ සැකයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත්.

මූලාශ්‍රය - Psychophysiology සඟරාවේ 2025දී පළ වූ “A Randomized Clinical Trial Reveals Effects of Mindfulness and Slow Breathing on Plasma Amyloid Beta Levels” පර්යේෂණය.

අශන්ති වරුණසූරිය 

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

වීර පුරන්අප්පු 178 වැනි ගුණානුස්මරණයට Read Next

වීර පුරන්අප්පු 178 වැනි ගුණානුස්මරණයට

Realted Post

Leave a comment