මැරෙන්න හිතෙන ප්‍රශ්නවලටත් උත්තර තියනවා

මිතුරන් නිසා වෛද්‍ය සිසුවියට හැදුණු සමාජ භීතිකාව

මගේ නම විශාකා. තුන්වැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මම පාසලෙත් දක්ෂ ශිෂ්‍යාවක්. අධ්‍යාපනයේදී වගේම බාහිර දේවල්වලදීත් මම ඉදිරියෙන් සිටියා. මම ශිෂ්‍ය නායිකාවක්. 


ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කයේ 6 වැනියා වෙලා මම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරුණා. 


පාසල් යන කාලේ ඉඳලාම මම පිරිමි ළමයින්ට ටිකක් බයයි. ඔවුන් සමග ළඟ ඇසුරක් තිබුණේ නැහැ. විශ්ව විද්‍යාලයේදි ඉක්මනටම මම බැච් එකේ ප්‍රථමයා වුණා. එය මගේ ජීවිතයේ හොඳම කාලයයි. මම ඉදිරියට යාම කාටවත් නතර කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සරසවියේ තුන්වැනි වසරේ ඇගයීම්වලදී මට විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරියේ ඒවා ඉදිරිපත් කිරීම් කරන්න සිදුවුණා. එම අවස්ථාවේදී යම් හේතුවක් නිසා මට ටිකක් කතා කරගන්න බැරි වුණා. ඒ වෙලාවෙ ඉදිරියෙන්ම සිටි ළමයින් කිහිප දෙනෙක් හිනා වුණා. එහිදී මම දැඩි අපහසුතාවට පත් වුණා. එම අවස්ථාවේදි එය සැලකිල්ලට ගත්තේ නැති වුණත් ටිකෙන් ටික මට මෙය මතක් වෙන්න පටන් ගත්තා.


එදා සිට මම ඉදිරිපත් කිරීම් මඟ හරින්න උත්සාහ කළා. මට හැම තිස්සේම හිතුණෙ එම ආචාර්යවරු මගේ ඇද හොයයි මා සමච්චලයට ලක් කරයි කියලා. අවසානයේ මාව කොන් කරාවි යන හැඟීමක් ඇති වුණා. නමුත් වෙනත් දේවලදී මට ගැටලුවක් වුණේ නැහැ. කවුරුහරි කෙනෙක් මට ඉදිරිපත් කිරීමක් කරන්න කීවොත් සති ගාණක් ඉඳලා එයට සූදානම් වෙනවා. මගේ සියලු වැඩකටයුතු නතර කරගෙන හැම තිස්සේම හිතුවේ මේ ඉදිරිපත් කිරීම කරන්නේ කෙසේද කියලයි. එය සිදු කරන දවසට කිහිප වාරයක්ම මට වැසිකිළි යන්න වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. දිව ගිලෙන්න යනවා. මම උත්සාහ කරන්නේ කෙලෙස හෝ මේ ඉදිරිපත් කිරීම මඟ හරින්න.


එවිට හිතෙන්නේ මට මොකක්හරි ලෙඩක් සෑදී හෝ ඉදිරිපත් කිරීම මඟ හැරගන්න පුළුවන් වෙයි කියලයි. ටිකෙන් ටික මම අනෙක් අයගෙන් ඈත්වෙන්න පටන් ගත්තා. වෙනත් යහළුවන් සමග එළියට ගොස් කෑම කන මම නේවාසිකාගාරයෙන් එළියට යාම පවා නතර කළා. මගේ ලකුණු ගැනීම් එන්න එන්නම අඩුවුණා. දේශනවලට සහභාගිවීමත් ටික ටික නැවැත්තුවා. විශ්ව විද්‍යාලයේ ඇතුළත තිබෙන ආපන ශාලාවලින් කෑම ගැනීමට පවා මා බිය වුණා. හැම තිස්සෙම හිතුණෙ අනිත් හැමෝම මගේ දෙස බලාගෙන මගේ ඇද කුද හොයන බවයි. අවසානයේ මම සමාජයේ අවමානයට ලක්වෙතැයි හැම විටම මට බය හිතුණා. සෙනඟ වැඩිපුර ඉන්න තැනකදි ආහාර ගැනීම පවා අන්තිමේදී මම නවතා දැම්මා. මට මගේ ජීවිතයම එපා වුණා. ජීවිතය නැතිකර ගැනීමට පවා හිතුණු වාර අනන්තයි.


මගේ අම්මලා මොනතරම් මහන්සි වෙලාද ඉගෙන ගන්න මට මුදල් එවන්නේ. මම එන්න එන්නම අපහසුතාවට පත් වුණා. එදාම මම තීරණය කළා තවදුරටත් අම්මලාට දුක් නොදී මගේ ජීවිතය නැති කරගන්න.


වාසනාවකට වගේ මෙහෙම හිත හිතා හිටපු වෙලාවේ දවසක් හදිසියේ රෝහලේ මානසික වාට්ටුව ඉදිරියෙන් යාමට සිදු වුණා. මේ වෙලාවේ එහි සිට ඉදිරියට එන fවෛද්‍යවරයෙකු මා දුටුවා. එක්වරම මට එතුමා සමග කතා කරන්න අදහසක් ආවා. හැඬූ කඳුළින් එතුමා සමග මට තිබෙන මේ ගැටලුව කියන්න පටන් ගත්තා. එක්තරා ස්ථානයක වාඩිි කරවූ එතුමා ඉතාමත්ම සාවධානව මම කියන හැම දෙයක්ම අසාගෙන සිටියා. ඉන්පසු එතුමා මට පැවසුවා මා සමාජ භීතිකාව හෙවත් ීදජස්ක චයදඉස් තත්ත්වයෙන් පෙළෙනබව.
මෙය තරමක් සුලබ මානසික තත්ත්වයක් බව ඔහු කීවා. සමහරු කුඩා කල සිටම ටිකක් සමාජයට බියයි. විශේෂයෙන් නාඳුනන කෙනෙක් ගෙදරට ආ විට හැංගෙනවා. පාසලේ වේදිකාවේ යම් ඉදිරිපත් කිරීමක් කරන්න කීවොත් කෙසේ හෝ එය මඟ හරිනවා. ඒ වුණත් මෙය සමාජ භීතිකාව නොවන බව මනෝ වෛද්‍යතුමා  සඳහන්  කළා. 
මේ ආකාරයේ පෞරුෂයේ ගැටලු පවතින අයටත් මේ තත්ත්වය බහුලව තිබෙන්නට ඉඩ තිබෙන බව මට වටහා දුන්නා. නමුත් මම වගේ හොඳට සමාජයට මුහුණ දුන් අයත් දීප්තිමත් ලෙස සමාජය ඉදිරියේ සිටි අයත් යම් අපහසුතාවට පත් වන අවස්ථාවකින් පසුව මෙවැනි තත්ත්වයකට ගොදුරු විය හැකි බව පෙන්වා දුන්නා. 
මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර නොගතහොත් ඔවුන්ගේ ප්‍රතිඵල අඩු වී අවසානයේදී නිවසින් එළියට යන තත්ත්වයට පවා පත්විය හැකි බව ඔහු අවබෝධ කළා.


මේ තත්ත්වයට ඖෂධ ප්‍රතිකාර වගේම මනෝ චිකිත්සක ප්‍රතිකාරත් ඉතාම වැදගත්. මගේ සිතේ පවතින බිය නිසා මා මඟ හරින අවස්ථා ගැනද දිගු විස්තරයක් ලබා දුන්නා. ඒ එක් එක් අවස්ථාවලදී මට තිබෙන බිය ප්‍රමාණ ඔහු සටහන් කර ගත්තා. ඉන්පසු අඩුම ප්‍රමාණයේ බිය සහිත අවස්ථාවලට මා ක්‍රම ක්‍රමයෙන් නිරාවරණය කළා. උදාහරණයක් ලෙස ගතහොත් ආපන ශාලාවකට තනිවම ගොස් කැම ගැනීමේ ශක්තිය සියයට පනහකින් පමණ වැඩි කරන තත්ත්වය ඇති කරගන්න අවස්ථාවක් දුන්නා. ඒ නිසා මම ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ උපදෙස් අනුව මුලින් යහළුවන් සමග ආපන ශාලාවට යාමටත් ටිකෙන් ටික තනිවම ආපන ශාලාවට යාමටත් පටන් ගත්තා.


ටික දවසක් යනවිට මුලින්ම මම මගේ මිතුරන් අභිමුව ඉදිරිපත් කිරීම් සිදු කළා. ටිකෙන් ටික එය පුළුවන් වන විට මම ආචාර්යවරුන් ඉදිරියේ ඉදිරිපත් කිරීම් සිදු කළා.
විශේෂයෙන් එම ස්ථානයට යාම පරීක්ෂකවරුන්ගේ ඇස් දෙස කෙළින්ම නොබලා ඔවුන්ගේ ඇස් මට්ටමට ඉහළින් බලා ඉදිරිපත් කිරීම් සිදු කරන ලෙස වෛද්‍යතුමා උපදෙස් දුන්නා.
මනෝ වෛද්‍යතුමාගේ මඟ පෙන්වීම අනුව මම ක්‍රම ක්‍රමයෙන් සුපුරුදු දක්ෂතා වෙත යොමු වුණා. නැවතත් මම සරසවියේ අවසන් වසරේ ප්‍රථමයා බවට පත් වුණා. මේ සිදුවීම විශ්ව විද්‍යාලවල සහ එවැනි ආයතනවල සිටින බොහෝ දෙනෙකුට අත් විඳිමට සිදුවන තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් කාට හෝ තිබේ නම් ඒ අය මනෝ වෛද්‍යවරයෙකු හමුවිය  යුතුමයි. 

 

■ ආරියසේන හඳුවල 

 

දෙස් විදෙස් භික්ෂූන්ටත් බෞද්ධ දර්ශනය උගන්වන  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය  ආචාර්ය ඉරෝමි ආරියරත්න Read Previous

දෙස් විදෙස් භික්ෂූන්ටත් බෞද්ධ දර්ශනය උගන්වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය ආචාර්ය ඉරෝමි ආරියරත්න

දඟකාරියන්ට කදිම ගවුමක් Read Next

දඟකාරියන්ට කදිම ගවුමක්

Realted Post

Leave a comment