බැහුම් ලිහීමේ පෞරාණික චරිතය

අලි ඇතුන්ගේ මද කිපීමේ කාලය අවසන් වූ පසු ඔවුන්ගේ බැහුම් ලිහීම මෙරට පාරම්පරික චාරිත්‍ර අනුව සිදු කෙරේ. මෙහිදී සිදුකරන දේවතා බැස්ම ද හීලෑ අලි ඇතුන් සම්බන්ධ පැරණි චාරිත්‍රයකි.

චාරිත්‍රය ආරම්භයේදී සතර වරම් දෙවියන් උදෙසා මල් පැල ඉදිකර මල්, පහන් සහ සුවඳ දුම් පූජා කරනු ලබයි. අනතුරුව හස්තියා ඉදිරිපිට කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කරයි.

ඉන්පසු ප්‍රධාන ඇත්ගොව්වා විසින් දේවතා බැස්ම සිදු කරනු ලබන අතර, පැරණි විශ්වාස අනුව දිගු කාලයක් මිනිස් ඇසුරෙන් තරමක් ඈත්ව සිටින හස්තියාගේ පිට මතට මංගර දෙවියන් වැඩම කරන බවට විශ්වාස කෙරේ. එබැවින් ඇත්ගොව්වා හස්තියාගේ පිට මතට නැඟීමට පෙර දෙවියන්ට වෙනත් ස්ථානයකට වැඩම කරන ලෙස ගාථා පදයකින් ආරාධනා කිරීම මෙම චාරිත්‍රයේ විශේෂත්වයකි.

ඉන් අනතුරුව දෙහි සහ කහ මිශ්‍ර ජලයෙන් හස්තියාගේ පිට පිරිසිදු කරනු ලබයි. ඇත්ගොව්වාගේ හෙණ්ඩුව ද කහ දියරයෙන් සෝදා පවිත්‍ර කිරීමෙන් පසු, පොරද්ද හා කඹය යොදාගෙන හස්තියාගේ පිට මතට නැඟීම සිදු කෙරේ.

අවසානයේ හස්තියා දියට ගෙන ගොස් හොඳින් නහවා පිරිසිදු කර, කැවුම් සහ කිරිබත් ඇතුළු ආහාරවලින් සංග්‍රහ කිරීමෙන් බැහුම් ලිහීමේ චාරිත්‍ර මාලාව අවසන් වේ.

කණ්ඩුල හස්තිරාජයාගේ බැහුම් ලිහීමේ මෙම මංගල්‍යය මෙරට හීලෑ අලි ඇතුන් හා බැඳුණු පාරම්පරික සංස්කෘතික උරුමය මෙන්ම ආගමික විශ්වාස හා චාරිත්‍රවාරිත්‍ර ද විදහා දක්වන අවස්ථාවකි.

ඒ අනුව ඓතිහාසික කැලණිය ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේ මඟුලැතු වන තේජාන්විත කණ්ඩුල හස්තිරාජයාගේ වාර්ෂික මද සමය අවසන් වීමෙන් පසු සිදුකෙරෙන බැහුම් ලිහීමේ මංගල්‍යය ඊයේ (21) පෙරවරු 9.14ට යෙදුණු සුබ මොහොතින් චාරිත්‍රානුකූලව සිදු කෙරිණි. මෙවර මැයි මස 20 වැනිදා ආරම්භ වූ කණ්ඩුල හස්තිරාජයාගේ මද සමය අවසන් වීමත් සමඟ මෙම පෞරාණික චාරිත්‍රය සිදු කරනු ලැබීය.

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි උභය රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, සම්මානිත මහාචාර්ය අතිපූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, විහාරස්ථානයේ විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ මෙම මංගල්‍යය පැවැත්විණි.

අශන්ති වරුණසූරිය 

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Previous

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් Read Next

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Realted Post

Leave a comment