දරු පැටියාගේ පෙකණිවැලේ ගැටලු ලිහා ගනිමු

 

පළමුවරට මවක් වූ විට ඒ අම්මට ඇතිවෙන ප්‍රශ්න රැසයි. ඊට ආච්චි අම්මා දෙන ගුරුහරුකම් දැන් පරණයි. ඒ හැමදාත් අලුත් වෙන වෛද්‍ය විද්‍යාව තුළ අලුත උපන් දරුවගේ කුඩා ගැටලුවලටත් අලුත් උපදෙස් තිබෙන නිසයි. එහෙනම් දරු පැටිය ගෙදර ගෙනා විට අම්මට ඇතිවෙන ප්‍රශ්නවලට පිළිතුරු මෙහෙම අහමු.


පුංචි පැටියගෙ පෙකනිවැලේ ඇතිවෙන ගැටලු මේ ලිපියෙන් විමසා ගනිමු. 


දරුවෙකු මවු කුසේදී මව හා සම්බන්ධ වන්නේ පෙකනිවැලෙන්. මෙයට කළල බන්ධය කියලත් කියනවා. දරු පැටියා ලැබෙන කොට පෙකණිවැල දරුවගෙ ශරීරයේ සිට අඟලක් පමණ දුරින් කපල අම්මගෙන් වෙන් කරනවා. ඒ  තමයි මෙලොව එළිය දුටු දරු පැටිය අම්මගෙන්  වෙන් වන පළමු මොහොත. එදා ඉඳන් අම්ම පැටිය එක්ක සම්බන්ධ වන්නේ මුහුණට මුහුණින්.


පෙකණිවැල කැපු පසු රුධිරය පහවීම වැළැක්වීමට එයට කටුවක් ගහනවා. එය කරන්නේ උපතත් සමග සිටි වෛද්‍යවරයා විසින්.

 


සතියක් -දෙකක් තියෙනවා 

උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග රාජපක්‍ෂ


දරුවාගේ නාහියට සම්බන්ධ වී තිබෙන මේ පෙකනිවැලෙහි එම කටුව ගැසූ කුඩා කොටස සාමාන්‍යයෙන් සතියක් - සති දෙකක් යනවිට ඉබේම වියැළිී වැටෙනවා. කලාතුරකින් එය සති තුනක් පමණ තිබෙන්නත් පුළුවන්. සති තුනකට පසුවත් එම කොටස වැටී ගියේ නැතිනම් වෛද්‍ය උපදෙස් ගැනීම අවශ්‍යමයි.


එය වැටුණු විට ඉතිරි වන කුඩා කොටසෙහි ඇතැම් විට කහ පාටට හුරු දියර ගතියක් තිබෙන්න පුළුවන්. ඇතැම් විට මෙම කොටසේ ස්පර්ශවන තැන්වල එනම් දරුවාගේ ඇඳුමේ කුඩා ලේ පැල්ලම් තැවරී ඇති බව දැකිය හැකියි. මේ ගැන අම්ම බය වෙන්න ඕනේ නෑ. එය සාමාන්‍ය තත්ත්වයක්.

 


පරෙස්සම් කරන්නෙ කොහොමද?
අලුත් පැටියාගේ පෙකණිවැල විශේෂයෙන් පරෙස්සම් කළ යුතු නැහැ. එය ගැලවී යනතෙක් පිරිසුදුව, වියළිව තබා ගැනීමයි අවශ්‍ය. පිරිසුදුව තබා ගැනීමට යැයි සිතා කිසිදු විෂබීජ නාශකයකින් සේදීම නොකළ යුතුයි.  කිසිම දියරයක් යොදා සෝදන්න එපා. දරුවා නාවන විට එය සේදෙන ප්‍රමාණය ප්‍රමාණවත්. ඉන්පසු පිරිසුදු ගෝස් කැබැල්ලකින් එතැන තෙත මාත්තු කර වියළිව තබන්න.
තෙතමනය රැඳුනොත්  මෙහි විෂබීජ වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා. මෙම කොටස ආවරණය වන සේ නැපී හෝ පැම්පර්ස් ඇන්දවීමෙත් සුදුසු නැහැ. 

 


වෛද්‍ය උපදෙස් ගන්න ඕනෑ අවස්ථා
● පෙකණිය වටා සම රතු පැහැ ගැන්වී ඇතිවිට
● පෙකණියෙන් දිගින් දිගටම ලේ ගැලීමක් සිදුවෙනවා නම්
● පෙකණියෙන් අසාමාන්‍ය දුඟදක් හෝ ඒ සමග සැරව ගැලීමක් සිදුවේ නම්

 


පුංචි පැටියට උණ සෑදුනොත් 
ඉහත දැක්වූ ලක්ෂණ ද සමග දරුවාට උණ සෑදුනොත් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුමයි.  පෙකණි කොටස වියළි වැටුණු විට පෙකණිය සම්පූර්ණයෙන් වියළීමට තවත් සතියක් හෝ දෙකක් පමණ ගතවෙනවා. ඇතැම් දරුවන්ගේ පෙකණියේ සිදුර තුළ රෝස පැහැති මස් වැදැල්ලක් බඳු කොටසක් ඉතිරි වී තිබෙනු දැකිය හැකියි. එසේ පෙනේ නම් ඒ ගැනත් වෛද්‍ය උපදෙස් ගැනීම අවශ්‍යයි. ඒ හැර පෙකණිය ගැන බයවෙන්න තරම් කරුණු නැහැ. 

මීළඟට දරු පැටියා කහ වෙන්නේ ඇයි? ඊළඟ ලිපියෙන් පැහැදිලි කර ගනිමු.


ශිරානි ගල්ලෑල්ල


 

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව Read Next

අතුරුදහන් වූවන් ගැන අධිකරණ ඇමති කියපු කතාව

Realted Post

Leave a comment