හෝටලයකට ගේ දීලා සනෝජා පැටලුණු අවුලක්

ලංකාවේ කලාව තුළ හාස්‍ය කලා නිර්මාණවලට හිමිවන්නේ වෙනම ම ස්ථානයක්. ඊට හේතුව එවැනි කලාකරුවන් සිටින්නේ සීමිත පිරිසක් නිසයි. ඒ අතරින් එදා රූපවාහිනියේ විකාශනය වූ නෝනාවරුනි මහත්වරුනි වැනි හාස්‍යජනක ටෙලි නාට්‍ය ඔස්සේ ජනාදරයට පත් වූ සනෝජා බිබිලේ අමතක කළ නොහැකි කලාවේදිනියක්.  ලංකාවේ කලාව තුළ රසයක් මවපු ඇය පිළිබඳව මෑතකාලීනව බොහෝ ලෙස කතාබහට ලක්වුණා. ඒ නිසාවෙන් නිතරම සිනහවකින් මුව සරසා සිටින ඇයගෙන් මෙවර සිරිකත අපි විමසීමක් කළා. 

 

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මේ දවස්වල චිත‍්‍රපට කලා, කටයුතු මුකුත්ම නැහැ. මේ මාස දෙක නිදහසේ ගත කරන්න  හැකිවුණා. නමුත් මගේ පෞද්ගලික ප‍්‍රශ්න කිහිපයක් සමග කාර්යබහුල වෙන්න සිද්ධ වුණා. නළු නිළියන් වෙනුවෙන් කරන festival එකක් විදියට 'silver screen'. නැවත ආරම්භ කරන්න සුදානමින් සිටිනවා. ඒ අතර සමාජ  සේවා කටයුතුත් කරගෙන යනවා.

කාලය වෙනස් වුණත් සනෝජා වෙනස්වෙලා නැහැ නේද?

මට මවුපියන් පුංචි කාලේ ඉඳලම උගන්වපු දෙයක් තමයි හැමෝම මනුෂ්‍යයෝ කියන දේ. ඒක නිසා අපිට මිනිස්සුන්ව වර්ගීකරණය කරන්න බැහැ. මම අඩුම තරමේ කෝල් එකක්වත් මඟහරින්නේ  නැහැ. අපි එහෙම වුණොත් ගන්න කෙනාට දුක හිතෙනවා. මම හැම වෙලාවෙම සිනාමුසු මුහුණින් ඉන්න කැමති කෙනෙක් වගේම නිහතමානී කෙනෙක්.

තරුණ බවේ රහස ඒකද?

මම විශේෂ ආලේපන භාවිතා කරන්නෙ නැහැ. සතියකට දෙවරක් කැරට් ජූස් එකක් පානය කරනවා. ඒවගේම මම කාන්තාවන් හැමෝටම කියන්නේ විශේෂයෙන් අව්වෙ යනවා නම් ඊට අවශ්‍ය ප‍්‍රතිකාර ගන්න. මට ඒ දේ මඟහැරුණා. පස්සෙ කාලෙක ඒ දේවල් කරන්න ගියොත් ලොකු වියදමක් යනවා. මොන ප‍්‍රශ්නෙ ආවත් එය දරා ගැනීමේ ශක්තියක් මට තිබෙනවා. කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ.  නිතරම සතුටින් ඉන්නේ. මම වයසට යනවා. නමුත් ඒ හැමදේම රැකගෙන ජීවත් වෙනවා.

තනියම ඉන්න ගත් තීරණය ගැන අද පසුතැවීමක් නැද්ද? 

කාන්තාවක් විවාහ විය යුතමයි කියලා සමහරු හිතනවා. නමුත් විවාහ නොවී ඉන්නත් පුළුවන්. කාලයක් එනවා අපි තනිවෙන මේ කාලයේදිි මට සැමියෙක් හිටිය නම් මගේ ගොඩක් ප‍්‍රශ්නවලට මේ වෙනකොට පිළිතුරු ලැබිලා. නමුත් මම හැමදේටම තනියම මුහුණ දෙන්නෙ. ඒ අතර මට උදව් කරන මුවාවෙන් වංචා කාරයින්ද අපට කිට්ටුවෙන්න බලනවා. ඉගෙන ගත් කෙනෙක් නිසා මට ඒ දේවල් හඳුනාගන්න හැකියාවක් ලැබිලා තිබෙනවා. සහකරුවෙක් සිටින විට බැඳීමක් ඇතිවෙනවා. එය ආරක්ෂා කරගන්න එක වෙනම කතාවක්. නමුත් කාන්තාවකට සහකරුවෙක් අවශ්‍ය යි.

මෑතකාලීනව ඔබේ  නුවර මහ ගේ කාන්තා නිවාසයකට දුන් බවට විශාල වශයෙන් කතාබහට ලක්වුණා නේද?

බොහෝ දෙනෙක් මේ ගැන වැරදි ප‍්‍රචාර කරලා තිබුණා. නමුත් මම කලකිරීමට පත් වුණේ නැහැ. හේතුව මම  නිවැරදි නිසා.  මම ඇතුළුව දරුවො හතරදෙනෙකුට හිමිවුණු ගෙදර අම්මා, අප්පච්චි  නැති වුණාට පස්සේ කුලියට දුන්නා. එහෙම ආපු තරුණ යුවළක් ගෙස්ට් හවුස් එකක් සඳහා මගෙන් නිවස ඉල්ලූවා. ඔවුන්ට ඒ පිළිබඳ දැනුමක් තිබුණු නිසා මම නිවස ලබා දුන්නා. ඔවුන් ඒක කළේ කොහොමද කියන එක මම දන්නෙ නැහැ. නමුත් අවසානයේ මම කරපු දෙයක් විදියට එය ප‍්‍රචාරය වුණේ.  මට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර මේ වෙනකොට ගනිමින් ඉන්නවා.

ටෙලි තිරයෙන් දුරස් වෙන්න විශේෂ හේතුවක් තිබෙනවද?

එහෙම විශේෂ හේතුවක් නැහැ. අපිත් එක්ක වැඩ කරපු හුඟක් අධ්‍යක්ෂකවරු මේ වෙනකොට නැහැ. දැන් ඉන්නේ අලූත් අධ්‍යක්ෂකවරු.  ඔවුන් අපි එක්ක කතා කරන්නත් බයයි. නිර්මාණවලට ගන්න බයයි. සමහරවිට ඔවුන් හිතනවා ඇති  අපි ලක්ෂ ගණන් ඉල්ලනවා කියලා සහ අපි ඒ චරිතවලට ගැළපෙන්නේ නැහැ කියලා. දැන් ගොඩක් ටෙලි නාට්‍ය කරන්නේ මාධ්‍ය මගින්.  ඒ නිසා  මාධ්‍ය සමග කුලූපග අය නිර්මාණවලට දායක කර ගැනීමක් සිද්ධ වෙනවා. මේකට ඇත්තටම නිශ්චිත පිළිතුරක්  දෙන්න අපහසුයි.  

එදා ඔබ දුටු කලාව සහ අද ඔබ දකින කලාව හාත්පසින් ම වෙනස් නේද?

ඇත්තටම ලැජ්ජයි. එදා අපි එද්දී තිබුණු කලාව හරිම සුන්දරයි. සියලූ නළු නිළියෝ එකට එකතු වෙනවා. නෝනාවරුනි මහත්වරුනි රඟපාද්දි මම දැනගෙන හිටියේ නැහැ හාස්‍ය චරිතයක් කොහොමද කරන්නේ කියලා. මම විජය නන්දසිරි අයියා රඟපාන දිහා බලාගෙන සිටියා. රඟපාන විදිය මම ඔහුගෙන් ගිහින් අහනවා. අද කිසිම කලාකරුවෙකුට කිසිම ගරු කිරීමක් නැහැ. අද කලාව බැහැල තිබෙන්නේ. එදා හොඳ හරයක් තිබුණා. ප‍්‍රතාපවත් නළු නිළියෝ පිරිසක් සිටියා. කෝ අද ඔවුන්? රඟපානවා කියන්නේ ලස්සන නෙමෙයි.  අද කලාවක් නැහැ ඇත්තටම. 

ලංකාවේ  දේශපාලනය  පිළිබඳ ඔබේ අදහස මොකක්ද? 

මට අවස්ථාවකුත් ලැබුණා. අත්සන් කරන්න දවසකට කලින් මම එන්න බැහැ කියලා කිව්වා. දේශපාලනයට, සමාජ සේවයට මම ගොඩක් කැමති කෙනෙක්. රටේ පවතින තත්්ත්වයත් එක්ක මට දේශපාලනය එපා වුණා.

දේශපාලන පක්ෂයකින් ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවද?

දැන් පක්ෂයක් කෝ? හරියාකාර පක්ෂයක් තිබුණොත් මම එනව. මම දකින විදියට හොඳ පක්ෂයක් නැහැ.

ජීවිතේ ආපසු හැරිල බලද්දී දැනෙන හැඟීම වචන කළොත්?

ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට විවාහ යෝජනා ආවත් ඒ ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඒ හැම වෙලාවකම මට හිතුණෙ මගේ අම්මා, අප්පච්චී ගැන. ඊට පස්සේ නංගි අසනීපවීමත් එක්ක ඇයව රැකබලා ගැනීම වැදගත් කියලා හිතුවා.

සටහන - නෙත්මි තෂාරා

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල Read Previous

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Next

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

Realted Post

Leave a comment