අන්තර්ජාල කතා 1 වගුගඩු හතරේ මිනිසා

බ්‍රසීලයේ එක්තරා පාසලක ගුරුවරයෙක්, පන්තියක විද්‍යාව සම්බන්ධ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර, එක්වරම එක් ශිෂ්‍යයෙකු නැඟිටවලා, මෙහෙම අහනවා...,

"ඔය ළමයා කියන්න බලන්න, අපට වකුගඩු කීයක් තියෙනවද..?"
කිසිම දෙයක් නොතේරෙන ගානට..., 
"හතරයි..! ” 
කියලා අර සිසුවා කියනවා.
"හතරක්...!"
ගුරුවරයා මුළු පන්තියම දෙවනත් වෙන්න හිනාවෙනවා.
මේ ගුරුවරයාත් ඉතිං අර කාට හරි යමක් වැරදුණාම කින්ඩියට හිනාවෙන කට්ටිය ඉන්නේ. අන්න ඒ වගේ කෙනෙක්.
ඔහු හිනාව නවත්වලා, ඉදිරි පේළියේ ඉන්න ඔහුගේ සිත්ගත් කීකරු ළමයා අමතලා, මෙහෙම කියනවා...,
"පීටර්.., දැක්කා නේද..? මේ පන්තියේ බූරුවෙක් ඉන්නවා. ඒ නිසා, කොහෙන් හරි හොඳ තණකොළ මිටියක් හොයාගෙන එන්න.”
මේ කිව්ව දේට අර ළමයට පොඩ්ඩක් කේන්ති යනවා. ඔහු අර ඉදිරි පේළියේ ඉන්න ළමයට ටිකක් කේන්තියෙන් මෙහෙම කියනවා...,
“පීටර්.., තමුසේ එහෙනම් තණකොළ මිටිය අරගෙන එන ගමන්, මටත් කෝපි එකක් අරගෙන එනවා..!”
මේකට අර ගුරුවරයාටත් ආපහු හොඳටම කේන්ති යනවා. කේන්තියෙන් පුපුරපු ගුරුවරයා, අර ළමයාව පන්ති කාමරයෙන් එළියට ඇදලා දානවා. පන්ති කාමරයෙන් එළියට ගිය ළමයා, ආයෙත් පන්තියේ දොර ළඟට එනවා. පන්තියේ කිසිම සද්දයක් නෑ. අර ගුරුවරයා තවමත් කේන්තියෙන් ඉන්න බව ඔහුට පේනවා.
ඕන දෙයක් වෙන්න කියලා, ඔහු ආයෙත් හඬ අවදි කරනවා...,
"සර්.., ඔබතුමා මගෙන් ඇහුවේ, 'අපට' වකුගඩු කීයක් තියෙනවාද කියලයි. ඒ කියන්නේ, ප්‍රශ්ණය අහපු ඔයාටයි, උත්තරය දුන්නු මටයි. අපි දෙන්නට වකුගඩු හතරක් තියෙනවා. ඔබතුමාට දෙකයි... මට දෙකයි... අපි කියන්නේ, බහු වචනයක්. හරිනේ...? මම එළියේ ඉන්නම්. පීටර් තණකොළ ගෙනාවහම, ඔයා ඒවා තනියෙන් භුක්ති විඳින්නකෝ..!" 
කියාගෙන එළියට ගියා.
එහෙම කියාගෙන එළියට ගිය ඒ ශිෂ්‍යයා තමයි, පසුව බ්‍රසීලියානු ජාතික, ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙකු සහ පුවත්පත් වාර්තාකරුවෙකු වූ Apparício Fernando de Brinkerhoff Torelly (1895 -1971) එහෙමත් නැත්නම් "බැරන් ඩි ඉටාරේ (Barão de Itararé)" ලෙස වඩාත් ජනප්‍රිය වුණේ.
පස්සේ කාලෙක ඔහු අපිට මෙහෙම කියනවා...,
"ඔබ එදිනෙදා ජීවිතය ගෙනයාමේදී වඩාත්ම වැදගත් වන්නේ, තමා සතු 'දැනුමට' වඩා, තමා දැනුමෙන් ලබාගත් 'අවබෝධයයි'. ජීවිතය නිරන්තරයෙන් එය ඔබගෙන් ඉල්ලා සිටිනවා. සමහර මිනිසුන්, ඔවුන් අනෙකාට වඩා ටිකක් දැනුමක් තියෙනවා කියලා 'සිතන නිසා' සහ ඔවුන් දැනුමෙන් සන්නද්ධව ඉන්නවා කියලා ‘විශ්වාස කරන’ නිසා, අන් අය අවතක්සේරු කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා හිතනවා.
අහන්න..! කියවන්න...!! හිතන්න...!!! ඊට පස්සේ, ඒ හැමදේම 'අවබෝධ' කරගන්න. ඒත්, ඔබ ඊනියා 'දැනුම' කියන ආභරණයෙන් හිස උදුම්මා ගත්ත කෙනෙකු නොවන්න...!!!"

(අන්තර්ජාලයෙන් උපුටාගත් කතාවකි ) විනුජ ශ්‍රී සංකල්ප

De Lanerolle Brothers  - Colombo Port City Read Previous

De Lanerolle Brothers - Colombo Port City

Maxi Frock Read Next

Maxi Frock

Realted Post

Leave a comment