සුවෙන් සිටිමු - ලස්සන වෙමු. සුවැති දියණිය

                 

         
නාගරික ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


අධ්‍යාපන අමාත්‍යංශය හා ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඇතුළු ආයතන සමඟ ඒකාබද්ධ වී එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.


එමෙන්ම නාගරික ජනාවාස ආශ්‍රිතව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සමාජ විෂමාචාර ක්‍රියා නතර කිරීමට ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී අද (2) පැවැති "සුවෙන් සිටිමු - ලස්සන වෙමු" සහ "සුවැති දියණිය" යන ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 


"සුවෙන් සිටිමු - ලස්සන වෙමු" ග්‍රන්ථයෙන් නව යෞවන යෞවනියන්ගේ දෑත් පිරිසිදු කිරීම හා මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමත් "සුවැති දියණිය" ග්‍රන්ථයෙන් නව යෞවනියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳවත් අන්තර්ගතව ඇත.  එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම ග්‍රන්ථ දෙක නිර්මාණය කර තිබේ.   


මේ වනවිට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යටතේ දිවයිනපුරා ක්‍රියාත්මක නාගරික ජනාවාස සංඛ්‍යාව 22කි.  කොළඹ, ගම්පහ, කඩුවෙල, අනුරාධපුර, මහියංගණ ආශ්‍රිතව ඒවා ක්‍රියාත්මක බව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පවසයි.


නාගරික ජනාවාසවල සිටින දූ දරුවන් 200 දෙනෙකු සදහා සනීපාරක්ෂක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.  
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.


නාගරික ජනාවාසවල ජීවත්වන දරුවන් 3,000කට අදියර 10ක් යටතේ සනීපාරක්ෂක උපකරණ කට්ටල ලබාදෙනවා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් රුපියල් මිලියන 5.7 මුදලක් ප්‍රදානය කළා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වැඩවලට නිරන්තරයෙන්ම උදව් කරනවා. ඒ සම්බන්ධයෙන් අපි එම අරමුදලට අපගේ ස්තූතිය පිරිනමනවා.


මෙම වසරේදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය නාගරික අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන, අධ්‍යාපනික, ප්‍රජා ක්‍රියාකාරී, ආගමික හා සංස්කෘතික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා.


විශේෂයෙන්ම අධ්‍යාපනික වැඩසටහන් යටතේ ජපන් භාෂාව ඇතුළු භාෂා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, ප්‍රජා සමිති ස්ථාපිත කිරීම්, පරිසර වැඩසටහන් ආදියත් ක්‍රියත්මක වෙනවා. අපි මේවයින් බළාපොරොත්තු වෙන්නෙ නාගරික ජනාවාස ආශ්‍රිතව ජීවත්වන දුවා දරුවන් හා තරුණ පරපුරට උසස් ජීවන තත්ත්වයක් උදාකර දීමටයි. අපිට අවශ්‍ය නාගරික ජනාවාසවල ජීවත්වන ඔබටත් අලුත් ලෝකයක ජීවත්වෙන අවශ්‍ය වටපිටාව හදන්නයි. කුමන බාධා පැමිණියත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකරනවා යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දේශීය නිත්‍ය නියෝජිත ටකහෝ ෆුකාමි, සෞඛ්‍ය අමාත්‍යංශයේ වතු හා නාගරික අංශයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය උපුලි පෙරේරා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අශාන්ති බලපිටිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ‍රත්නායක, අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Social media  හදන menia Read Previous

Social media හදන menia

ලෝක ළමා දිනය සමරමින්’’ සිහින සරුංගල් ’’ සිනමා අඹරට එක්වෙයි . Read Next

ලෝක ළමා දිනය සමරමින්’’ සිහින සරුංගල් ’’ සිනමා අඹරට එක්වෙයි .

Realted Post

Leave a comment