Social media හදන menia

තදබල මානසික ආතතිය සහ කනගාටුව පිළිබඳව පවසමින් මනෝ වෛද්‍ය සායනයට පැමිණි පාසල් ගුරුවරියක් මෙවර කතාවට පාදක වේ. වැඩිදුර තොරතුරු විමසනවිට අනාවරණය කරගැනීමට හැකිවූයේ ඇයගේ අන්තර්ජාල භාවිතය සාමාන්‍ය කෙනෙකුට වඩා ඉතාමත් වැඩි හානිදායක රටාවකට සිදුවනබවයි.

ඇය දවස ආරම්භ කරන්නේ අවදි වූ ගමන්ම facebook, Instagram, tik tokවැනි සමාජ මාධ්‍යවලට යාමෙනි. ඉන්පසුව දවස පුරාම ලැබෙන සෑම විවේක අවස්ථාවකදීමත් ගමන්බිමන් යන අතරතුරත් නිවසේ විවිධ වැඩකටයුතු කරන විටත් නිතර නිතරම දුරකථනයේ රැඳි සිටින පුරුද්ද ඇයට තිබුණි. රාජකාරි කටයුතු අතරතුරදී පවා ඇයගේ අවධානය නොදැනුවත්වම දුරකථනයට යොමු වූ අතර ඇතැම්විට විනාඩි ගණනාවක් තිස්සේම ඇය කරමින් සිටි රාජකාරිය අමතක වී දුරකථනයේම රැඳී සිටියාය. මේ නිසා ඇයගේ රාජකාරි කටයුතුවලට ඇති අවධානය සහ සැලකිල්ල අඩුවීම අන් අයටද පෙනී ගොස් තිබුණි.
මෙසේ නිතරම සාමාජ මාධ්‍යවල රැඳී සිටීම නිසා ඇයගේ සාමාන්‍ය සමාජ සම්බන්ධතා දැඩි ලෙස හානියට පත්විය. යහළු යෙහෙළියන් සමග හිතවත්කම් විශාල වශයෙන් අඩු වූ අතර පවුලේ සාමාජිකයන් සමග ගත කළ කාලයත් අඩුවී ගොස් තිබේ. ඇයට හිතවත්කම් තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් විවිධ පුද්ගලයන් සමග පමණි. ඇයට දැනුණේ ඔවුන් සමග කතාබහ කිරීම ඉතාම සතුටුදායක සහ හැඟීම් දැනීම්වලට දැනෙන ක්‍රියාවක් ලෙසටය. ඇය විවිධ දේ සමාජ මාධ්‍යවල පළ කළ විට අන් අය දක්වන ‍ප්‍රතිචාර සහ දක්වන අදහස් ඇයට දැනුනේ තමන්ගේ ජීවිතයේ ඉතා වැදගත් කොටස් ලෙසටය. එමෙන්ම තමන්ගේ පෞද්ගලික තොරතුරු අන් අයට පැවසීම අනාරක්ෂිත දෙයක් ලෙස ඇයට දැනුණේද නැත.
මේ අතරතුර සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වූ කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් නිසා වෙනත් කණ්ඩායමක් මගින් ඇයට නිතරම  සිත් රිදවීම් ඇති කිරීම සහ තර්ජනය කිරීමත් ඇය සිටින ස්ථානය සහ රාජකාරි කරන ස්ථානය පිළිබඳව තොරතුරු පතුරවමින් අපහසුතාවයට ලක් කිරීමත් ආරම්භ විය. මේ නිසා ඇය බරපතළ ලෙස සිත් රිදවීමකට පත් වූ අතර ඇයට කිසිම සමීප පුද්ගලයෙක් නැති බව සහ තමන් තනි වී ඇති බව දැනෙන්නට විය. මේ කනගාටු තත්ත්වය සමාජ මාධ්‍යයක  දුටු දෙයක් නිසා  ඇතිවූ බව දැනගැනීමෙන් පසු එතරම් බරපතළ දෙයක් යැයි සිතීමට ඇගේ පවුලේ අය පෙලඹුණේ නැත. නමුත් රෝගියාට පෙනී ගියේ තමන්ට දැනුණු සියලුම සමීප සබඳතා සහ හිතවත්කම් නැතිවී ගොස් තමන් තනි වී ඇති බවකි. මේ නිසා ඇයගේ ආත්ම විශ්වාසයද පලුදු වූ අතර ඇයට සුපුරුදු පරිදි රාජකාරි කිරීමේ හැකියාව ද නැතිවිය.
මේ නිසා ඇති වූ තදබල මානසික ආතතිය සහ විෂාදය නොහොත් depression තත්ත්වය සමග මානසික සායනයට පැමිණියාය.
බොහෝ පුද්ගලයන් සමාජ මාධ්‍ය භාවිත කරන්නේ තමන්ට සුළු කාලයකට අනෙකුත් ආතතිකාරී හැඟීම් අමතක කර බාහිර ලෝකයෙන් වෙන්වීමටයි. වර්තමාන ලෝකයේ තමන්ට දුරින් සිටින සමීප පුද්ගලයන් සමග සම්බන්ධ වීමට සමාජ මාධ්‍ය අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී තිබේ. නමුත් අධික ලෙස සමාජ මාධ්‍යවලට ඇබ්බැහිවීම පුද්ගලයෙකුගේ සාමාන්‍ය දිවි පැවැත්මට හානිදායක සහ මානසික සෞඛ්‍යයට බලපාන තත්ත්වයක් බව හඳුනාගෙන ඇත.
මෙසේ තමන්ගේ මානසික සහ සමාජීය යහපැවැත්මට හානි වන ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහිවීම දැන් සලකන්නේ ප්‍රතිකාර කළ යුතු  චර්යාමය ගැටලුකාරී තත්ත්වයක් ලෙසටයි. මේ ස්ථිර ලෙස රෝග තත්ත්වයක් වශයෙන් නම්කර නොතිබුණද මෙවැනි චර්යාමය ගැටලු පුද්ගලයකුගේ ජීවිත රටාවට අනවශ්‍ය ලෙස බලපෑම් ඇති කරන විට එයින් මුදවා ගැනීමට වෙනත් මානසික රෝග තත්ත්වවලදී භාවිත කරන උපදේශනය මනෝචිකත්සක ප්‍රතිකාර සහ තමන්ගේ චර්යා වෙනස් කර ගැනීමට උපකාර වන ක්‍රමෝපායන් භාවිත කළ හැකිය.
හිතවත්කම් සහ යහළු සම්බන්ධතා අන්තර්ජාලය තුළින් ඇති කර ගැනීමට පමණක් සීමා නොවී  සැබෑ ජීවිතය තුළද යහපත් සහ සුබවාදී සම්බන්ධතා ඇතිකර ගැනීම මෙන්ම තමන්ගේ විවේක කාලය ඵලදායීව ගත කළ හැකි සුදුසු විනෝදාංශවලට පුරුදුවීමද සමාජ මාධ්‍යවල සිදුවන හානිදායක සම්බන්ධතාවලින් වැළකීමට ඉගෙන ගැනීම ද මෙහිදී වැදගත් වේ. දුරකථනයේ රැඳී සිටින කාලය ටිකෙන් ටික අඩු කරමින් එයට ඇති ඇබ්බැහිවීම අඩුකර ගැනීමට  පුරුදු පුහුණු වීමද අවශ්‍ය ය.

  • අදහස් දැක්වීම  - අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ   මනෝ වෛද්‍ය  ශ්‍රී ලංකා   මනෝ වෛද්‍ය සංගමයේ සභාපති    කපිල රණසිංහ
  • අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි, වෛද්‍ය   උදාර එරත්න
  •  සටහන - ආරියසේන හඳුවල 

 

හරිත ලෝකයක කඳවුරු බඳින්න -  ONE TREE HILL Read Previous

හරිත ලෝකයක කඳවුරු බඳින්න - ONE TREE HILL

ආදරයට පමණක් ගැලවිය හැකි තනපටය? Read Next

ආදරයට පමණක් ගැලවිය හැකි තනපටය?

Realted Post

Leave a comment