අල්ලපු ගෙදර එක්ක රණ්ඩු වෙන එක ලෙඩක්ද?

මෙවර කතාවට පාදකවන්නේ දුර බැහැර ප්‍රදේශයක තනිව ජීවත් වූ මවක් සහ දියණියකි. ඔවුන් දෙදෙනා මනෝ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට ඉදිරිපත්වන්නේ උසාවි නියෝගයක් යටතේය. එම ඉදිරිපත් කිරීමට හේතුපාදක වූයේ ඔවුන් දෙදෙනා නිතරම ගමේ වෙනත් නිවසකට කරදර බාධා කිරීමයි.

එම නිවස අසල සිට බැණ වැදීම, නිවැසියන්ට තර්ජනය කිරීම මෙන්ම නිවසට ගල්මුල්වලින් පහරදීම ඔවුන් විසින් කරන ලද්දේ අතර විය. මෙය නතර කරන ලෙස ඔවුන්ගේ ඥාතීන් මෙන්ම ග්‍රාම නිලධාරීවරයා පවා කියා සිටියද කිසිදු ප්‍රයෝජනයක් වී නොතිබුණි. එමෙන්ම ඔවුන් දෙදෙනා විසින් බොහෝ වාර ගණනක් මෙම නිවැසියන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි කර තිබූ අතර එම පැමිණිලිවල තිබූ පිළිගත නොහැකි ස්වභාවය නිසා ඒවා විභාගයට ගැනී තිබුණේ නැත.

මෙම හැසිරීම පිළිබඳ හේතුකාරණා විමසන විට පහත සඳහන් කරුණු කාරණා අනාවරණය විය.
මේ මවත් දියණියත් දැනට බොහෝ කාලයක සිට ජීවත් වූයේ තනිවමය. මේ මවගේ ස්වාමිපුරුෂයා වසර දහයකට පමණ පෙර මරණයට පත්වූ අතර ඔහුගේ විශ්‍රාම වැටුපෙන් මේ දෙදෙනා ජීවත්විය. ඔවුන් දෙදෙනා නිතරම සියලුම දේ එකටම කළ අතර නිවසෙන් පිටත ගමන් බිමන් ගියේ   ඉතාම කලාතුරකිනි. අසල්වැසියන් හෝ ඥාති හිත මිත්‍රාදීන් අතර සම්බන්ධතා කාලයත් සමග ඉතාමත් අඩු වූ නිසා ඔවුන් දෙදෙනාට බාහිර ලෝකය සමග එතරම් ගැටීමක් තිබුණේ නැත.
පාසල් යාම නතර කිරීමෙන් පසුව දියණියද වෙනත් රැකියාවකට හෝ ඉගෙනීම් කටයුත්තකට යොමු වීමට උනන්දු නොවූ අතර විවාහ වීමකින්ද තොරව මව සමග ජීවත් වූවාය. කුඩා කල සිටම මව සමග තිබූ දැඩි බැඳීම නිසා ඇය මවගෙන් ඈත්වීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඒවගේම මවද තමන් වයස්ගත වන විට යම් තරමකට හෝ දැනුම් තේරුමක් ඇතිව සිටින්නේ තමන්ගේ දුව පමණක් නිසා හැමවිටම දියණියට මහත් ලෙස බැඳී සිටියාය.
මේ තරුණ කාන්තාව වයස විස්සේදී පමණ සිට නිතරම අන් අයව සැක කරන සහ පිළිගත නොහැකි තදබල විශ්වාසය ඇතිව කටයුතු කරන කෙනෙක් විය. ඔවුන්ගේ අසල්වැසියන් හැමතිස්සේම තම නිවස කැමරාවලින් නිරීක්ෂණය කරන බවත් තමන් කරන කියන දේවල් එකිනෙකා සමග කතා කරන බවත් ඇය ස්ථිරවම විශ්වාස කළාය. එමෙන්ම ඇයට සහ තමන්ගේ මවට විරුද්ධව කුමන්ත්‍රණය කරන කටහඬවල් සහ පරුෂ වචනයෙන් බැණ වදින හඬවල් නිතරම ඇසුණ අතර එම හඬවල් තමන්ගේ අසල්වැසියන්ගේ බව ද තදින්ම විශ්වාස කළාය.
මෙම සැක සහ කටහඬවල් ඇයට තදබල මානසික පීඩනයක් ඇති කළ අතර ඇය නිතර නිතරම ඒ පිළිබඳව විස්තර කරමින් මවට කියා සිටියාය. වයස්ගත මවද තමන්ගේ දුව කියා සිටින සියලුම දේ  විශ්වාස කළාය. දෙදෙනා සමග එකතුව ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරන පුද්ගලයන් පිළිබඳව නිතරම කේන්තියෙන් කතා කරමින් සිටීමත් අසල්වාසීන් ගැන හැමවෙලේම සෙවිල්ලෙන් සිටීමත් පුරුද්දක් බවට පත් වී තිබුණි.
තමන්ට විරුද්ධව කරන කුමන්ත්‍රණයට මූලික වී ඇතැයි සිතන පුද්ගලයන්ගේ නිවසට නිතරම බැණ වැදීමත් පහරදීමට උත්සාහ කිරීමත් මෙන්ම ඔවුන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීම පවා මේ දෙදෙනා කාලයක සිට කරන්නට පුරුදු විය. මේ දෙදෙනාගෙන් ඇතිවන බාධා දරා ගැනීමට නොහැකි නිසා අවසානයේදී ඔවුන්ට විරුද්ධ පැමිණිල්ලක් හරහා ඔවුන්ව උසාවියට යොමු කර තිබුණු අතර ඔවුන් දෙදෙනාට මානසික රෝගී තත්ත්වයක් ඇති බවට ඇති වූ සැකය නිසා මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණි.
මේ මව සහ දියණියව වෙන වෙනම පරීක්ෂා කර බැලූ විට පෙනී ගියේ දියණියට භින්නෝන්මාදය නැමැති තදබල මානසික රෝගය ඇති බවත් ඇයට ඇති සැක සහ ඇසෙන විවිධ කටහඬවල් යනු මේ රෝගයේ රෝග ලක්ෂණ බවත් ය. ඇයට තිබූ තදබල වැරදි විශ්වාස ඇයගේ මවද ඒ ලෙසටම විශ්වාස කළද ඇයට එවැනි මානසික රෝගී තත්ත්වයක් තිබෙන බවක් පෙනී ගියේ නැත. මේ දෙදෙනා අතර ඇති තදබල බැඳීමත් එකිනෙකා මතයැපීමත් නිසා ඒ විශ්වාසයන් ඒ අයුරින්ම මවද පිළිගැනීම සිදු වී තිබුණි.
මානසික රෝගයකින් පෙළෙන දියණියට ඖෂධ ප්‍රතිකාර කිරීමට සිද්ධ වූ අතර ඔවුන් දෙදෙනාව එකිනෙකාගෙන් වෙන්කර වාට්ටු දෙකක නතර කිරීම සහ තමන් දෙදෙනාගේ බාහිර පුද්ගලයන් සමග කතාබහ සහ ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදීමත් සිදු කරන ලදී. තමන්ගේ දුවගෙන් සිදුවන බලපෑම අඩුවීමත් සමගම මවට තිබූ තදබල විශ්වාස ඉබේම නැතිවී යන බව දකින්නට ලැබුණි. දියණියටද සාර්ථකව ප්‍රතිකාර සිදු වූ නිසා ඇයගේ රෝග ලක්ෂණ ද අඩුවී ගිය අතර ඇයට ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර කිරීමටද මවට හැකියාව ඇති බවද පෙනෙන්නට තිබුණි
මේ කතාවෙන් පෙනී යන්නේ මනෝ වෛද්‍ය විද්‍යාවේ කලාතුරකින් දකින්නට ලැබෙන සංසිද්ධියකි. ඉතා සමීප බැඳීමකින් ජීවත්වන දෙදෙනෙක් අතරින් එක් අයෙක් මානසික රෝගයකින් පෙළෙන විට එම පුද්ගලයාට ඇති තදබල වැරදි විශ්වාස නොහොත් delusions  අනිත් පුද්ගලයාද ඒ ලෙසටම විශ්වාස කිරීම සිදුවිය හැකිය. විශේෂයෙන්ම මේ දෙවැනි පුද්ගලයා එතරම් ශක්තිමත් නොවන සහ රෝගී තැනැත්තා මත යැපෙන පුද්ගලයෙක් නම් මේ සිදුවීමේ හැකියාව වැඩිවිය හැකිය.
මෙය බෙදාගත් මිත්‍යාවක් නොහොත් Shared delusions ලෙස හඳුන්වයි.
රෝගී පුද්ගලයාට ප්‍රතිකාර කිරීමත් ඔවුන් දෙදෙනා එකිනෙකා සමගම හැරුණු විට බාහිර ලෝකය සමග ද ගනුදෙනු කිරීම දියුණු කිරීමත් එකට ගත කරන කාලය අඩු කිරීමත් ප්‍රතිකාරවලදී වැදගත් වේ.  

සටහන: ආරියසේන හඳුවල


අදහස් දැක්වීම:

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය, ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති කපිල රණසිංහ 

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ ලේඛකාධිකාරී, වෛද්‍ය උදාර එරත්න 

චිත්‍රපට කර්මාන්තයේ නව පෙරළියක් ඇති කරමින් සූර්යා කරළියට Read Previous

චිත්‍රපට කර්මාන්තයේ නව පෙරළියක් ඇති කරමින් සූර්යා කරළියට

1955 මිස් සිලෝන්ගේ නික්ම යාම Read Next

1955 මිස් සිලෝන්ගේ නික්ම යාම

Realted Post

Leave a comment