තවත් ඉවසුවා නම් අපි දෙන්නා දෙතැනක

 
 
යුවළක් විවාහ වුණාට පස්සේ ජීවිතය පවත්වාගෙන යාමේ වෙනසක් අවශ්‍යයි. මම  උසස් විද්‍යාලයක ඉගෙන ගත් ශිෂ්‍යාවක්.  මට වයස 23ක් පමණ වන විට මට පෙම්වතෙක් හමු වෙනවා. ඔහු ව්‍යාපාරික පවුලක දරුවෙක්. මා හමුවීමට පෙරත් ඔහුට සම්බන්ධකම් දෙකක් තුනක් තිබිලා තියෙනවා.
 
අපි දෙදෙනා විවාහ වුණේ  වසර එකහමාරක් පමණ ඇසුරු කිරීමෙන් පසුවයි. ඔහු හරිම විනෝදකාමීයි. අපි බඳින කොට එයාගේ වයස අවුරුදු විසි හයක් විසි හතක් විතර ඇති.  මගේ මවුපියන්ටත් යමක් කමක් තිබෙනවා. විවාහය සිද්ධ වුණේ දෙපැත්තේම නෑදෑයින්ට කියලා ඉතාමත්ම ඉහළින්. නෑදෑයො හැමෝටමත් හරිම ඉහළයි. ඒ වුණත් අපි බැඳලා මාස දෙක තුනක් යනකොට ගැටලු ඇතිවෙනවා. විවාහය සිද්ධ වෙන්නෙ වසර දෙකක් දෙකහමාරක් ඇසුරු කිරීමෙන් පසුවයි. විවාහයට පෙර කිසිම ගැටලුවක් තිබුණේ නෑ. යහළුවන් ඇසුරු කරනවා. ටි්‍රප් යනවා. විනෝදයෙන් කාලය ගත කළා. අපි දෙන්නා බඳින්න කලින් හැමතිස්සෙම හමුවුණේ විනෝදාත්මක දේවල්වලටයි. අපි දෙන්නම රස්සාවල් කරනවා. යාළුවො ඇසුරු කරනවා. අපි දෙන්නටම ඉහළ අධ්‍යාපනයක් තියෙනවා. හොඳ පවුල් පරිසරයක් තියෙනවා. බැන්දට පස්සේ ප්‍රශ්න දෙකක් ඇති ඇතිවෙනවා.
පළවෙනි ප්‍රශ්නේ තමයි. සැමියා බඳින්න පෙර වගේම රෑට රෑට යාළුවොත් එක්ක විනෝද වෙන්න යනවා. එහෙම ගිහිල්ලා මත්පැන් බීලා තමයි ගෙදර එන්නෙ. ඒ හැම දවසකම රෑට මම තනියම කාලය ගත කරනවා. මට තියෙන ඊළඟ ගැටලුව නම් සැමියා ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ. හැමදෙයක්ම මම තනියම කරගන්න අවශ්‍යයි. එයාගේ කාමරේවත් අස් කරගන්නේ නැහැ. උයන පිහින හැම දෙයක්ම මම තනියම කරගන්න ඕනෑ.
රස්සාවට ගිහින් ඇවිත් හැම දෙයක්ම මම තනියම කරගන්න ඕනෑ. කුඩා කාලයේදී අම්මා තාත්තා කිසිම දෙයක් මෙයාට උගන්වලා නැහැ. පස්සෙ පස්සෙ සැමියා යන එන තැන් මට කියන්නෙත් නෑ. සමහර වෙලාවට එයාට තරහත් යනවා. බඳින්න ඉස්සර මම   කොච්චර නිදහසේ හිටියද කියලා එයා තර්ක කරනවා. මම දැන් රස්සාවට ගිහින්  ගෙදර ඇවිල්ලා ගෙදර තියන වැඩක් පලක් කරලා කාමරයට වෙලා ඉන්න එකයි කරන්නේ. අවුරුදු දෙකහමාරක්  ප්‍රේම කරල කොච්චර බලාපොරොත්තු ඇතිව ද මම විවාහ වුණේ. මට විනෝද ගමනකුත් නෑ. සැමියා එළියට යනවා විනෝද වෙලා  ගෙදර එනවා. ඇත්තෙන්ම මම දැන් ගෙදර හිරකාරියක්. මගේ මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න තමයි මනෝවෛද්‍යතුමා හමු වුණේ. අපි දෙන්නාටම සමාන අධ්‍යාපනයක් සමාන පවුල් පරිසරයක් තියෙනවා. මෙය අද ලංකාවෙ තිබෙන ඉතාමත් බහුල තත්ත්වයක් බව මනෝ වෛද්‍යතුමා මට පැහැදිලි  කළා. එයට හේතුව තමයි නූතන යුගයට ගැළපෙන පරිදි පිරිමි ළමයින් සංවර්ධනය නොවීම ඉහළ බවයි  වෛද්‍යතුමා කියන්නේ. අධ්‍යාපනය සමාන නම් සමාන අයිතිවාසිකම් තියෙනවා නම් කුස්සියේ වැඩක් කරනකොට පවා සැමියා බිරිඳට උදව් කළ යුතුයි. උයා පිහාගන්න, ගේ අස්කරගන්න, අමුත්තන්ට සලකන්න දෙදෙනාට දෙදෙනා උදව් කළ යුතු බව වෛද්‍යතුමා කියනවා. පරණ කාලේ වගේ පිරිමි ළමයි දවල් වෙනකම්  නිදාගෙන ඉඳලා හරියන්නේ නැති බව  එතුමා සඳහන් කළා. එහෙම වුණාම පවුල අවුල්. හැම යුවළක්ම  විවාහවෙන්න කලින් දෙදෙනාම යහළුවන් ආශ්‍රය කරන්නේ කොහොමද එදිනෙදා ගෙදර වැඩපළ කරගන්නේ කොහොමද ආදිය ගැන සම්මුතියකට පැමිණිය යුතුයි. විවාහ වුණාට පසුව යහළුවන් ආශ්‍රය අඩු කළ යුතු බව වෛද්‍යතුමා සඳහන් කළා. ඇසුරු කරනවා නම් දෙදෙනාගෙම එකඟතාව මත  කළ යුතුයි.  මිතුරන් ඇසුර අවශ්‍යයි. ව්‍යායාම කිරීමට පවා යා යුත්තේ තනිව නොව දෙදෙනාමයි. විවාහයෙන් පස්සේ එදිනෙදා ජීවිතය ගත කිරීම ගැන  මනෝ වෛද්‍ය තුමා උපදෙස් දුන්නා. එසේ නොවුණු විට විවාහයෙන් පසුව දෙදෙනාට දෙදෙනා එපා වෙනවා.
 
මේ වන විට අප දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් පවා සිදු නොවන බවත් මා වෛද්‍යතුමාට පැහැදිලි කළා. ටික දවසක් යනකොට සැමියා වැඩියෙන් බොන්න පටන් ගත්තා. දවසකට තුන් හතර පාරක් වෙරි වෙන්නම බොනවා. මම රණ්ඩු වෙනවා එයා එකට එක කරන්න බොනවා. සැමියාගේ අම්මා පුතා කැඳවාගෙන ආවේ ඔහුගේ බීම නතර කරගන්න කියලා. එවිට වෛද්‍යතුමා කීවේ සහකාරියක් ලෙස බිරිඳට මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවයි. දෙදෙනාගේ වැඩකටයුතුවලට දෙදෙනාම සහභාගි විය යුතුයි. කතාබහ කරලා මිතුරන් ඇසුරු කරනවා නම් දෙන්නාම එකට යා යුතු බව ද වෛද්‍යතුමා අවවාද කළා. විවාහයෙන් පසුව තනිව යන පාටි තනිව යන බොනපාටි සුදුසු නැහැ. මේවා අඩු කරන්න ඕනෑ. විවාහයට පෙර ප්‍රී ෂූට් ගැන පාටිය පවත්වන හෝල් එක ගැන කතා කරනවා වගේම විවාහයෙන් පසු ජීවිතය ඉදිරියට ගෙනයන අන්දම ගැනත් සාකච්ඡා කරන්න ඕනෑ. කොහෙද පදිංචි වෙන්නේ කොහොමද දෙදෙනා දෙනාගෙම කටයුතු කර ගන්නේ ඒ වගේ දේවල් විවාහයට පෙර දෙදෙනා මගින් සාකච්ඡා කරන්න ඕනෑ බවයි සඳහන් කළේ. අවුරුදු දෙකහමාරක් යාළුවෙලා ඉඳලා විවාහ වුණු නිසා අප දෙදෙනාට මේ අඩුපාඩු හදා ගැනීමට තවමත් පරක්කු නැති බව වෛද්‍යතුමා සඳහන් කළා. ඒ අනුව අපි දෙදෙනා එකතු වෙලා  සාකච්ඡා කළා දෙදෙනාගේම යහළුවන් හමුවෙන්න. දෙදෙනාම  එකටම යන්න තීරණය කර ගත්තා. බිරිඳක් හැටියට මා කටයුතු කළ යුත්තේ කෙසේද කියා වෛද්‍යතුමා වෙනම මට උපදෙස් දුන්නා. ඒ වගේම සැමියාටත් වෙනම උපදෙස් දුන්නා. සැමියාගේ කාර්ය සැමියාත් බිරිඳගේ කාර්ය බිරිඳත් ඉටු කළ යුතු බව වෛද්‍යතුමා කීවා. දෙදෙනාම විවාහයට පෙර හැම දෙයක්ම එකටම කරගන්නවා නම් විවාහයෙන් පසුවත් එසේ විය යුතුයි. ඒ සහයෝගීතාව දිගටම තබා ගත යුතුයි. ඒ සඳහා දෙදෙනාම උත්සහ කළ යුතු බව වෛද්‍යතුමාගේ  මතය වුණා. සන්තෝසෙන් සිටීමට අවශ්‍ය නම් කැපවීමක් කළ යුතුයි. එසේ කැප වෙන ගමන් අලුත් දෙවල් කරන්න ඕනෑ. පොත පත කියවන්න ඕනෑ. සම අයිතිවාසිකම්  තිබුණත්. ගැහැනියක්  හැමවිටම ගැහැනියක් ලෙසත් පිරිමියෙක් හැමවිටම පිරිමියකු ලෙසත්  හැමදෙයක්ම එකට බෙදා හදාගෙන ගත කරන විට පවුල් ජීවිතය සාර්ථක වෙනවා. දැන් අපි දෙදෙනා හැම දෙයක්ම සාකච්ඡා කරලා බෙදා හදාගෙන කරනවා. මම උදේට උයනකොට සැමියා සාලය කාමර  අස්කරනවා. හැම දෙයක්ම අපි දෙන්නා එකතු වෙලා කරන්නේ හරිම ප්‍රබෝධයෙන් සින්දු කියමින්. හැම දෙයක් ගැනම කම්ප්ලේන් කරනවාට පැමිණිලි කරනවට වඩා මට මේක තිබුණොත් හොඳයි මෙහෙම කළොත් හොඳයි වගේ ප්‍රිය මනාප වචන කියනවා. සන්නිවේදනය ධනාත්මකව සිදුකරන්න කියලා  වෛද්‍යතුමා උපදෙස් දුන්නා. මේ තත්ත්වයට පත්වෙන්න  වෛද්‍යතුමා අපට ඖෂධ ප්‍රතිකාරයක් නොකර යුවළ සම්බන්ධතා චිකිත්සාවක් කළා. අලුත විවාහ වන යුවළකට මෙවැනි ගැටලුවක් ඇති වූ වහාම මනෝ වෛද්‍යවරයෙකු හමුවිය යුතු බව මනෝවෛද්‍යතුමා දුන් වටිනාම උපදේශයයි. එවිට නිසි මඟ පෙන්වීමක් කරන්න පුළුවන්බව එතුමාගේ මතයයි. විවාහයට පසුව හැම දෙයක්ම ඉබේ හරි යන්නේ නැති නිසා ඊට පෙර ඒ සඳහා මඟ පෙන්වීමක් අවශ්‍යයි. එය ඖෂධ ප්‍රතිකාරයක් නොමැතිව චිකිත්සාවක් මඟින් පමණක් කළ හැකියි.
 

ආරියසේන හඳුවල 

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි Read Previous

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

වයසට යන්න බයවෙන්නෙපා Read Next

වයසට යන්න බයවෙන්නෙපා

Realted Post

Leave a comment