ස‍ඳුන් සෙවණ

අරලියාවන්

විද්ද මල් සර නිනව්වක් නැති කුමරියන් රුසිරූ
වැද්ද ගන්නෙලු අයාලේ යන සල්ලාල කුමරූ
රිද්ද වන බව අසා ඇති මුත් කුකුසකිය ගැඹුරූ
නැද්ද අරලිය මලක් සොයනා අසම්මත බමරූ 
 
බව සරා මියැදෙන්න උරුමව අරලියාවන් පිබිදුනා
මුව දොවා පිනි දියෙන් අලුයම හිරුත් සමගින් හිනැහුනා 
මුවරදේ බැඳෙනා බිඟුන් රැළ ගගන තලයේ විසිරුනා
තව නැතේ ඇය රූ සිරින් දුටු එකෙකු හෝ මෙහි ළංවුනා 
 
අවර දිග රත් පෑය තවරා දවස ගිනි ලා අහවරේ
පවර දිනිසුරු සැතපෙනා කළ සඳවතී ළැම පපුතුරේ
කවර පවකට තනිව විඳවා මිලානව යන දිවිසැරේ
නුවර දළදා මලසුනේ හිඳ මෙනෙහි කෙරුවා මොක්පුරේ
  • හේරත් වන්නියා

 

 

 

 

රැවටුණේ ආදරේ 

හූර හූරා කටුවකින් පපු කුහරෙ ඒ මේ පෑරුව
වාර ගාණට දිය වුණා නම් යනවා ගැලවී සාරුව
සාර සෝබාවකට නූවත් වංකගිරි හිත් පීරුව
පාර අග බොඳ වෙලා වැටෙනවා සුඹුල් මල් පෙති සීරුව
 
දියත් ගැඹුරුයි හබල අබලන් එගොඩ නොමයයි පාරුව...
 
කතා කොතෙකුත් ලියා තිබුණත් පිරෙන්නට පොත් ගුලාවක්
ඇතා කති බොති නැතා විඳවති ඒක මිහිපිට කලාවක්
ගොතා නෙක රස පාට විසිතුරු ගෙනාවත් පෙම් වලාවක්
සතා හොඳ හැටි හඳුන නොගතොත් වේවි සදහට මුළාවක්
 
ජීවිතේ සමබර කරන්නට ගෑනු හිත් හොඳ තුලාවක්...
 
සදා අණසක පතුරුවා රජ කරත් ගම් බිම් මුළුල්ලේ
රඳා ගනු බැරි දෙයක් වේ ලොව සදාකාලික, මැවිල්ලේ
උදා ගිර හිස එකලු කෙරුවත් බෙදා අරුණලු කැරැල්ලේ
පුදා අඳුරට රැයක අසිරිය නිවී යයි සඳු තුරුල්ලේ
 
ගොඩක් අය රැවටුණේ දැන දැන, ආදරේ රස විඳිල්ලේ.
  • ටෙමල්කා පීරිස්     

මුරගල

අව් වැසි කමින් නිහඬව රිදුමන් පන්නා
මව් සඳ එකලු කර දුර හිඳ හිනැහෙන්නා
ලොව්තුරු සුවය සදමින් ළය සනහන්නා
ගව් දිග මඟක සවි අත්වැල වී උන්නා 
 
උර මත දරන් පැතුමන් ගිරි හිස සිඹිනා
බර කර සදන් සැනසුම මුදු නිති සොඳිනා
පර මල් සිඹින බිම්කඩ මත ගී කියනා
මුර ගල නුඹයි පාදම හිඳ අප රකිනා 
 
දිලිහෙන නුවන් කඳුළක තෙත නොදත් නියා
ගිලිහෙන සුසුම් තවරමි උණුහුමක වියා
ඉහිරෙන මතක ළඟ මල්වර කවිය ලියා
වැගිරෙන සෙනේ පුදනෙමි පාමුලින් තියා
  • ජීවන් දේශප්‍රිය  

 

 

 

 

 

ණය

කරුමෙට පිරවුණු ණය පොත ඉරලා
පොඩි උන් වවුලන් උඩ ඇරලා  
ඔරුවට මොරගෙඩි වැහි හෙණ වැටිලා
හිස් පිටු අඬ අඬ බිම ඇලිලා ......

නොලැබුණු කුසලෙට අකුලට වැටිලා
දරු පෙම ළඟ දහිරිය බිඳිලා 
වරුවට දාහක් නොලැබුණු පියවරු
දියවුණු කුලියට හද මැරිලා.......

ළය නැගි ගින්නෙන් ලිප මොළවාගෙන
පිරි ළැම කිරි අකලට වරලා
තුන් යම දිය බී කුස පිරු මව්වරු 
පැරදුණු දිවියෙහි මග මැරිලා......
 

  • ස්වර්ණ කුමාර 

 

 

 

 

 

හන්තාන මතක 

අඳුර ගලා සෙංකඩගල පුර හවස
හන්තානේ සැඟවෙයි මීදුම් අතර
වැහි ළිහිණියන් දුකසේ පියඹා හඬන
අහසක් ලෙසම වැලපෙයි සිත නුඹ ළඟම....

දහසක් නෙතු අතර මගතොට මා දකින
නුඹෙ නෙත් සොයමි යළි නොඑනා බව දැනම
හන්තානෙට සඳ පිපෙනා හැම රැයම
නුඹ ගැන මතක අවදිව එයි හිත දවන....

මල් පලසින් වැසෙනා සරසවි බිමම
පියමැන නුඹ සොයමි පටු මාවත් අතර
රිදවන දුක් කඳුළු ගුළිකර හිත තුළම
මහවැලියට විසි නොකරමි නුඹෙ මතක... 

  • රෝහණ අගලකුඹුර

ලංකාව දකුණු ආසියාවේ  ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වූ ප්‍රථම රට Read Previous

ලංකාව දකුණු ආසියාවේ ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වූ ප්‍රථම රට

ආදරයට ආදරය බෙදන්න Read Next

ආදරයට ආදරය බෙදන්න

Realted Post

Leave a comment