ඕෂධීගෙ ක්‍රිකට් රහස්

ආසියානු තරඟාවලියත් එක්ක ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන නැවතත්  බොහෝ අයගේ අවධානය යොමු වුණා. එහි උපනායිකා ඕෂධී රණසිංහ සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

 

මේ දවස් වල වැඩ කටයුතු කොහොමද?
මේ  දවස්වල ලෝක කුසලාන තරඟාවලිය  අවසන් වෙලා ෆිට්නස් එකටත් මූලික තැන දෙන ගමන් පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා.

 

ලෝක කුසලාන  තරඟාවලියේ අවසානයට මොකද වුණේ?
අපි තරඟාවලිය තුළ හොඳ ආරම්භයක් දුන්නත් අවසන්  තරඟ දෙක හිතුව තරම් පහසු වුණේ නැහැ. තරඟය ගැන ඊට වඩා හොඳ අවධානයක් දුන්න නම් ඒ තරඟ දෙකත් අපට ජයග්‍රහණය කරන්න තිබුණා. අත්දැකීම් අඩුකමත් සමහර විට එහෙම වෙන්න බලපාන්න ඇති කියලා හිතෙනවා.

 

යොවුන් ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතාවය මොනවගේ ද?
වර්තමානය වෙනකොට පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු මට්ටමක පවතිනවා. ඒ හරහා අත්දැකීම්වලින් පරිපූර්ණ ක්‍රීඩිකාවන්  බිහිවෙන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒක නිසාවෙන්  ක්‍රීඩිකාවන් තුළ බොහෝ දක්ෂතාවන් දකින්න පුළුවන් වෙලා තියෙනවා. වැඩමුළු හරහා හොඳ ක්‍රීඩිකාවන් සංචිතයට බඳවා ගන්න හැකිවෙලා තියෙන්නෙත් එහි ප්‍රතිඵලයක් විදියට.

 

ඕෂධී රණසිංහ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ  කොහොමද?
පාසල තුළදී ක්‍රීඩාවට ගොඩක් ලැදී වුණත් මම  ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කරන්න යොමු වෙන්නේ පවුල් පරිසරයත් එක්ක. වෘත්තිය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ  උසස් පෙළින් පස්සේ  ක්‍රීඩා  සමාජයකට සම්බන්ධවීම හරහා.

 

පළවෙනි තරඟයේ දී ඔබට දැනුණේ මොනවගේ හැඟීමක් ද?
මගේ පළවෙනි  තරඟයේ දී ප්‍රතිපිළ විදියට තරඟ කළේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම. ඒ තරඟය තුළදී පන්දුයවන්නියක් විදියට ගොඩක් ඉදිරියෙන් ඉන්න මට හැකි වුණා. විස්තර කරන්න වචන නැහැ ඒ වෙලාවේ දැනුණ හැඟීම. ඇත්තටම ලොකු සතුටක් දැනුණා.

 

ඔබ හිතන්නේ ඔබ වඩාත් දක්ෂතා දක්වන්නෙ 20/20 තරග වලටද එක්දින තරඟ වලට ද?
එක්දින තරග සංචාරයේ යෙදුණත් තරඟ කරන්න අවස්ථාව ලැබිලා නැහැ. මම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් විදියට දක්වන දක්ෂතා හේතුවෙන් 20/20  තරඟ සඳහා දායකත්වය ලබා දෙන්න මට පුළුවන් වුණා. ඒක නිසා මම හිතනවා 20 /20 තරවල දී මම ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා.

 

නිමා වූ ආසියානු ක්‍රිකට් තරඟාවලිය ගැන යමක් කිව්වොත්?
අපි ආසියානු  තරඟාවලියට මුහුණ දුන්නෙ හොඳ පුහුණුවීමක් එක්ක.  ඒක හේතුවක් වෙන්න ඇති අපේ කණ්ඩායම ආසියානු ක්‍රිකට් තරඟාවලියේ අනුසූරීයන් බවට පත්වෙන්න. අපේ පුහුණුකරුවන් ඒ සඳහා අපිට ලොකු සහයෝගයක් දැක්වූවා. පිතිකරණයෙන් වගේම පන්දයැවීම අතිනුත් අපි ගොඩක් ඉදිරියෙන් හිටියා.

 

ඉදිරි  තරඟ සඳහා  කණ්ඩායමේ සූදානම මොනවගේද?
බංගලාදේශය වගේම නවසීලන්ත කණ්ඩායම් ඉදිරියේදී  තරඟ සංචාර සඳහා ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ තරඟවලට ගැළපෙන විදියට මේ වෙනකොට පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.

 

පවුලෙන් ලැබුණු සහයෝගය ගැන මතක් කළොත් ?
මට ක්‍රිකට් ක්‍රීඩාවට ආසාව ඇති වෙන්නේ මගේ තාත්තා නිසා. තාත්තා ගොඩක් ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි කෙනෙක්. මගේ අම්මා තමයි  සුදුසු තැනක් බලලා ක්‍රිකට් ක්‍රීඩාවට  යොමුකළේ. අද මේ ඉන්න තැනට එන්න මගේ සහෝදරයන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා.

 

ඕෂධී පුහුණුකාරියනියක් හෝ උපදේශිකාවක් විදියට ඉදිරියේදී දකින්න ලැබුණොත්?
පූර්ණ කාලීන ක්‍රීඩිකාවක් විදියට පිටිය දැකලා පුහුණුකාරිනියක් විදියට  පිටිය දකින්න අපහසු වෙයි කියලා හිතෙනවා. ඒ ගැන ලොකුවට හිතලා නැහැ වගේම  ලොකු ආසාවක් නම් නැහැ.

සටහන - නෙත්මි තෂාරා
(ලංකාදීප online පිටිය වැඩසටහන ඇසුරෙන්)

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Previous

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

දඟකාරියන්ට කදිම ගවුමක් Read Next

දඟකාරියන්ට කදිම ගවුමක්

Realted Post

Leave a comment