හිතේ දුකට ක්ෂණික බෙහෙත සිනහව බෝ කරගන්න තරමට සතුට ලැබෙනවා

 

මවුපියෝ අලුත උපන් තම දරුවා හඬන ආකාරය අනුව ඊට හේතුව කුමක්දැයි ඉක්මනින් වටහා ගනිති. කුසගිනි දැනුණු විට හඬන ආකාරය සහ අවධානය ලබා ගැනීමට හඬන ආකාරයේ වෙනස ඔවුන්ට හඳුනාගත හැකියි. එහෙත් තම දරුවාගේ සිනහවෙන් හැඟවෙන්නේ කුමක්දැයි ඔවුන්ට එතරම් අවබෝධයක් නැත.


සැබවින්ම සිනහවේ ඇති වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කරන්නේ අප අතරින් ඉතා සු`ඵ කොටසක් පමණි. 

 

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල

සිනහවේ විවිධ ආකාර මෙන්ම සිනාසීිමට හේතු වූ විවිධ කරුණු ද ඇත. එහෙත් බොහෝ විට සිනාසීමට හේතුව කෙනෙකු කළ විහිළුවක් නොවේ. 


ළමා කාලයේදී අප දිනකට බොහෝ වාරයක් සිනාසීමට පුරුදුව සිටියත් වැඩිහිටියන් බවට පත් වූ පසු ජීවිතයේ බරපතළකම් දැනීම නිසා අප සිනාසෙන්නේද අඩුවෙනි. 


අප සැවොම සිනාසෙන්නේ තමන්ට අනන්‍ය වූ ආකාරයකට ය. සිනාසෙන හඬින්, සිනාසෙන ආකාරයට අපට යම් කෙනෙකු හඳුනාගත හැකි වන්නේ ඒ නිසාය. එසේම සිනහවේ ද විවිධ හැඩතල පවතී. 


* අන් අය හා සුහදව සිටීමේ අරමුණු ඇතිව ආචාරශීලීව සිනාසීම
* අප තුළ ඇතිවෙන ආතතිය අඩු කිරීමේ අරමුණින් නොදැනුවත්වම අපෙන් පිටවන නොසන්සුන්කාරී ලෙස සිනාසීම
* අව්‍යාජ සිනහව ලෙස හඳුන්වන බඩ අල්ලාගෙන කරන සිනහාව
* පිරිසක් සමග වැඩ කරන අවස්ථාවන්හිදී ඇති වෙන නිහඬ සිනහාව
* තවත් කෙනෙකුගේ අපහසුකාරී අවස්ථාවකදී ඇතිවෙන කුරිරු සිනහව
* නිහඬව සිනාසීමට ඕනෑකමින් උත්සාහ ගැනීමේදී යම් ශබ්දයක් සහිතව එළියට එන ගොරවන ආකාරයේ සිනහව
* බෝවෙන සිනහව ආදී වශයෙන් සිනාසීම වර්ග කළ හැකියි. 


‘සිනහාව හොඳම බෙහෙතයි’ යන කියමන ඔබ අසා  තිබෙනවාද?. එසේ කියනුයේ මන්දැයි ඔබ මොහොතකටවත් සිතුවාද? සිනහව තරම් මනස සහ සිරුර ඉතා ඉක්මනින් යථා තත්ත්වයට ගෙන ඒමට හැකි වෙනත් දෙයක් නොමැති තරම්ය.


සිනහා වීමෙන් ලබා ගත හැකි ප්‍රයෝජන රාශියකි. සිනහව මගින් මානසිකව, ශාරීරිකව හා සමාජයීය වශයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන රාශියකි.


සිනහව මගින් ඔබගේ මුළු සිරුරම ඉහිල් කරයි මස්පිඬුවල තද ගතිය අඩුකර මසුපිඬු ඉහිල් කිරීම මෙන්ම ආතති හෝමෝන ශ්‍රාවය අඩු කිරීම මගින් මානසික ආතතිය අඩුකර මනසද ඉහිල් කරයි.

 


රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා
* සතුටු හෝමෝන ශ්‍රාවය වැඩි කර එයින් අප සැහැල්ලුවෙන් හා සතුටින් තබයි.
* වේදනා දැනීම අඩු කරයි
* හදවත සුවපත්ව තබයි. සිනහා වීමේදීි රුධිර ගමනාගමනය වැඩි කරන නිසා හොඳින් ඔන්සිජන් ලැබී හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් ලෙස වැඩි කරයි.
* තරහව කළමනාකරණය කරයි. අප සිනාසෙන විට අපට නොසන්සුන්කම තරහාව හෝ දුක නොදැනීමට පටන් ගනී.
* සිනහව දුෂ්කර අවස්ථාවන්හිදී ඔබේ දරා ගැනීමේ හැකියාව වැඩි කරයි.
* යහපත් සබඳතා ඇති කරයි. සබඳතා තවත් ශක්තිමත් කරයි.
* රෝග සුවපත්වීමට උදව් දෙයි. සිනහසෙන විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මගින්ද, සතුටු හෝමෝන ශ්‍රාවය වැඩි කිරීම මගින් රෝගවලින් සුවවීමට උදව් දෙයි.

 


සිනහාව අප ජීවිතයේ ස්වාභාවිකවම ඇති වූ කොටසකි. අලුත උපන් දරුවන් ඉපදී සති කීපයකින් සිනාසීමට පටන් ගන්නා අතර මාස ගණනක් ගත වන විට ශබ්ද නගා සිනාසීමට පෙලඹේ. එසේ කිරීමට කිසිවෙකු ඔවුන්ට ඉගැන්වූයේ නැත. සමහරු ස්වභාවයෙන්ම සිනහවට වැඩි නැඹුරුවක් දැක්වුවත්, තවත් සමහරු තුළ එය අඩුවෙන් දක්නට ලැබේ. එහෙත් අපට සිනාසීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අපේ ජීවිතයේ කවර අවදියකදී වුවද පුළුවන.

 


හමුවෙන මිනිසුන් සමග සිනාසෙන්න 
ඔබට සු`ඵ වශයෙන් හෝ සතුටක් ගෙන දෙන දෙයක් සිදු වූ විට සිනාසීමට පුරුදු වන්න. ඔබට හමුවෙන අය සමග සිනාසෙන්න. සමහරු විශේෂයෙන් රාජකාරී ස්ථානවලදී, මුහුණට හමු වී තමන් සමග සිනාසුණත් සිනාසෙන්නට මැළි වෙයි. ඔබගේ සිනහව අන් අය තුළ ධනාත්මක බලපැම් ඇති කරන බව අමතක නොකරන්න. ඔබට ලැබී ඇති හොඳ දේ ගැන සිතන්න. සෘණාත්මක සිතුවිලි සිතට එන සෑම මොහොතකම ඔබට ලැබී ඇති යහපත් දේ ගැන සිතන්න. එවිට ඔබව සිනහාවෙන් ඈත් කරන සිතුවිලිවලට බාධා කිරීමට ඔබට හැකියාවක් ලැබේ.

 


සිනහව ඇති තැනට ඇදෙන්න 
සිනහව ඇති තැනට ඇදෙන්න. නිවසේදී හෝ රැකියා ස්ථානයේදී අනෙක් අය සිනාසෙනු ඇසේ නම් ඔබත් එයට එකතු වෙන්න. නිතර සිනාසෙන පුද්ගලයින් ඇසුරු කරන්න. ඔබ යම් ආතතිකාරී අවස්ථාවක සිටියත් එයින් මිදීමට ඔබට පිටුවහලක් ලැබේ. ඒවාගේම ඔබගේ එදිනෙදා කතාබහට සිනහව උපදවන යමක් එකතු කරගන්න.


සිනහව උපදවන පණිවිඩ, කතා කියවීම, එවැනි චිත්‍රපට නැරඹීම, ජීවිතයේ වෙහෙසකාරී අවස්ථාවන්වලදී ඔබේ මුවට සිනහාවක් එක් කර ගන්න.

 


බැඳීම් ශක්තිමත් කරනවා 
සිනහව යනු ඉතා වැදගත් ‘සමාජ මෙවලමකි’. එය එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කරයි. අපට නොමිලේ ලැබී ඇති මෙම අපූරු දායාදය භාවිතා කිරීමට මැළි නොවෙන්න. ඔබ ඔබේ ජීවිතයට සිනහාව ළං කරගන්නා තරමට ඔබත් ඔබ වටා සිටින අයත් සතුටින් සිටිනු ඇති. 

 

සුබෝධිනී පෙරේරා


 

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Next

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

Realted Post

Leave a comment