Liquid Foundation ගැන හරියටම දන්නවද?

මේකප් එකක් ලස්සන වෙන්නේ තමන්ගේ ස්වාභාවික පෙනුමට හානියන් නොවෙන විදියට ඒ මේකඅප් එක කරගන්න පුළුවන් නම් පමණි. දැන් නව විලාසිතාව බවට පත්වී ඇත්තේ ද එයයි. සමේ පවතින වර්ණයම දීප්තිමත් ලෙස වැඩි කරගෙන ඉතා චාමි මේක්අප් එකකින් ප්‍රියමනාප පෙනුමක් එකතු කරගන්න පුළුවන් නම් එයින් ඔබේ පෞරුෂත්වයට හානියක් වන්නේ ද නැත. එහිදී වඩාත් සැලකිළිමත් විය යුත්තේ තමන්ගේ මුහුණට යොදා ගන්නා ෆවුන්ඩේෂන් වර්ගය ගැනයි. දිනපතා මුහුණ මේක්අප් කරන සුන්දර යුවතියකට වැඩි පුරම ගැළපෙන්නේ ලික්විඩ් වර්ගයේ ෆවුන්ඩේෂන් ආලේපනයකි.


ගැළපෙනම තෝරා ගැනීම මොකක්ද?

තෙල් සහිත සම, වියළි සම, මිශ්‍ර සම සහ කුරුලෑ සහිත ලෙස සම වර්ග වෙන නිසා සමට ගැළපෙනම ලික්විඩ් ෆවුන්ඩේෂන් වර්ගය තෝරාගත යුතු වේ. ඒ සඳහා ඔබට දැනුම්වත් වීමක් නැති නම් ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගේ සහය ලබා ගැනීම වඩාත් වැදගත් වේ. ලික්විඩ් එකක් තෝරා ගැනීමේදී මුහුණේ පැහැය සහ සමේ වර්ගය ගැන ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතුය. එම ආලේපනය සමේ ගැල්වීමෙන් පමණක් තෝරා ගැනීම කළ නොහැකිය. විශේෂයෙන් කුණු දුහුවිලි බැඳුණු සමක සහ හොඳින් පිරිසුදු කරගත් සමේ වර්ණය වර්ණ දෙකකි. එම නිසා ඔබ වෙළඳ පොළට ගොස් මෙම ආලේපනය මිලදී ගැනීමේදී පිරිසුදු සමේ ආලේප කර බැලීමට අමතක නොකළ යුතුය.

ලික්විඩ් ෆවුන්ඩේෂන් වර්ග

ඔබ එළිමහනේ මෙන්ම නිතර තාක්ෂණික උපකරණ සමග වැඩ කරන කෙනෙක් නම්, SPF අඩංගු ලික්විඩ් ආලේපනයක් තෝරා ගත යුතු අතර එය SPF අගය 30ක්වත් පවතින ෆවුන්ඩේෂන් එකක් විය යුතුය. මෙම ආලේපනය ඔයිල් බේස් සහ වෝටර් බේස් වර්ග දෙකකින් මිලදීගත හැකිය. ඒ අතර හිරු එළියෙන් සම රකින සන් ප්‍රොටෙක්ෂන් ෆවුන්ඩේෂන් වර්ගද තිබේ. එය තමන් නිරතවන රාජකාරිය සහ අවස්ථාවට අනුකූලව තෝරා ගැනීමට හැකිය. එයින් ඔබේ මුහුණට හොඳ පෙනුමක් වගේම සම ආරක්ෂා කර ගැනීමටද පහසු වේ.

ඔබට ලැබෙන වාසි

ලික්විඩ් ෆවුන්ඩේෂනේ සාමාන්‍ය අවස්ථාවක් සඳහාත් වඩාත් උචිත වන අතර පහසුවෙන් භාවිත කළ හැකිය. ඒ වගේම රැකබලා නොගත් සමකට වුවද ගැල්විය හැකි අතර පහසුවෙන්ම ඉවත්කර ගැනීමේ හැකියාව පවතින නිසා මේ වන විට බොහෝ යුවතියන් අතර ලික්විඩ් ෆවුන්ඩේෂන් ආලේපනවලට ඉහළ ප්‍රසාදයක් හිමි වී තිබේ.

ආලේපනයට පෙර

දිගු වෙලාවක් මේක්අප් මුහුණේ රඳවා ගැනීමට අවශ්‍ය නම් ප්‍රයිමර් එකක් භාවිත කර පසුව ලික්විඩ් ෆවුන්ඩේෂන් එක භාවිතකළ හැකිය. ආලේපනය ගැල්වීමට පෙර එයින් වඩාත් හොඳ පෙනුමක් එක්කර ගැනීමට නම්, හොඳ ෆේස් වොස් එකකින් මුහුණ සෝදා පිරිසුදු කර ටෝන ගල්වාගෙන යුතු වේ. මිනිත්තු කිහිපයකට පසුව ටිෂු එකක් ආධාරයෙන් තෙත මාත්තු කර ලික්විඩ් ෆවුන්ඩේෂන් එක ආලේප කළ යුතුය. ෆවුන්ඩේෂන් එක ආලේප කර තත්පර කිහිපයකට පසුව ඊට සමාන වර්ණයේ පවුඩර් එකක් මුහුණ පුරා ගැල්වීම කළ යුතුය. එය ආලේප කළ යුත්තේ පිස දමන ආකාරයට නොව තට්ටු කිරීමෙන් පමණි. එයින් මෙක්අප් එක වැඩි වේලාවක් මුහුණේ තබාගත හැකිය.

ආලේපනය ඉවත් කරන්නෙ කෙහොමද?

මෙම ආලේපන සමෙන් නිසි පරිදි ඉවත් නොවුණහොත් ඒවා කාලයක් පුරා රෝම කූප තුළ රැඳී තිබීමෙන් සමෙන් සිදුවන බහිස්‍රාවය කාර්ය නිසි පරිදි සිදුනොවීම නිසා පිළිකා තත්ත්වයන් ද ඇති විය හැකිය. ඒ නිසාම විශේෂයෙන් නිතර මේක්අප් ආලේපන ගල්වන කෙනෙක් නම් හොඳින් සම මතු පිටින් ඒවා ‍ඉවත් කරගෙන සම පිරිසුදු කරගැනීම ඉතා වැදගත් වේ. ආලේපනය පැය 10 කට වඩා තබා ගැනීම නොකළ යුතුය. ඉවත්කර ගැනීම සඳහා ෆේස් වොෂ් එකක් ප්‍රමාණවත් වුවද සමේ නිරෝගීකම සහ පෝෂණය උදෙසා ඩීප් ක්ලෙන්සර් එකක් සහ ටෝනර් එකක් භාවිත කිරීම වැදගත් වේ.

සටහන: නයනා උදයංගනී

උපදෙස්: ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී චාන්දනී බණ්ඩාර

හැඩට වැඩට අඳින්න කැමති ඔබට Read Previous

හැඩට වැඩට අඳින්න කැමති ඔබට

සිරි සම්බුදු පෙරහර Read Next

සිරි සම්බුදු පෙරහර

Realted Post

Leave a comment