අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ජනතාවට රු.ල.25ක රක්ෂණ ආවරණයක් ලබාදිය යුතුයි – වනවාසී රාහුල හිමි

අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ජනතාවට සහ ගොවිබිම්වලට සිදුවන හානි වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක වත් රක්ෂණ ආවරණයක් ලබාදෙන විධිමත් වැඩපිළිවෙළක් රජය මැදිහත්වී ක්‍රියාත්මක කළ යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා සතුන් මෙන්ම පීඩාවට පත්වන ජනතාවද ආරක්ෂා වන රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දෙති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරයාගේ සහ පරිසර අමාත්‍යාංශයේ දායකත්වයෙන් යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මෙවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයට ස්තූතිවන්ත වන බවයි.

එම වැඩසටහනේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඉදිරියේදී ඇගයිය යුතු වුවද, අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා රජය මැදිහත්වී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සාධනීය පියවරක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

අලි මිනිස් ගැටුම හේතුවෙන් ගොවීන්ගේ වගාබිම් සහ නිවාසවලට සිදුවන හානි වෙනුවෙන් දැනට ලබාදෙන වන්දි ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් රාහුල හිමියෝ, අලියෙකු නිවසකට හානි කළ විට රුපියල් 5,000ක පමණ වන්දියක් ලබාදීමෙන් ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බව පැවසූහ.

ඒ වෙනුවට ගොවිතැනට, නිවාසවලට සහ ජීවිතවලට සිදුවන හානි ආවරණය වන රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදිය යුතු බවත්, ඒ සඳහා ජනතාවට දරාගත හැකි රක්ෂණ වාරික ක්‍රමයක් සකස් කළ හැකි බවත් උන්වහන්සේ යෝජනා කළහ.

 අශන්ති වරුණසූරිය 

මන්දෝදරී ප්‍රසංගය Read Previous

මන්දෝදරී ප්‍රසංගය

විපක්ෂයට බලය ට්‍රම්ප් පසුබසී Read Next

විපක්ෂයට බලය ට්‍රම්ප් පසුබසී

Realted Post

Leave a comment