මන්දෝදරී ප්‍රසංගය

මාතලේ සංගීත ක්ෂේත්‍රයට අභිමානයක් එක් කළ සම්මානනීය සංගීත නිර්මාණකරුවෙකු වන උදය තිලකරත්න මහතා සිය නිර්මාණාත්මක සංගීත දිවියේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ‘මන්දෝදරී’ නමින් නොමිලේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

ඔහුගේම පද රචනයක් වන ‘මන්දෝදරී’ ගීතය මෙම ප්‍රසංගයට නම ලබාදී තිබේ. ගීත රචනය, සංගීත නිර්මාණය, නාට්‍ය සංගීතය සහ ළමා ගීත නිර්මාණය ඔස්සේ සිය අනන්‍යතාව ගොඩනඟාගෙන ඇති උදය තිලකරත්න මහතා දශක ගණනාවක් පුරා මෙරට කලා ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබේ.

ඔහුගේ සංගීත නිර්මාණ කුසලතාව ඇගයීමට ලක්ව ඇති අවස්ථා අතර 2003 සහ 2015 වර්ෂවල පැවැති රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ විවෘත අංශයෙන් හොඳම සංගීතයට හිමි සම්මාන දිනාගැනීම කැපී පෙනේ. එමෙන්ම 2012, 2014 සහ 2015 වර්ෂවලදී මධ්‍යම පළාත් රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ හොඳම සංගීත නිර්මාණයට හිමි සම්මාන ද ඔහු විසින් දිනාගෙන තිබේ.

ළමා පරපුර වෙනුවෙන් ගීත නිර්මාණය කිරීමට ද විශේෂ අවධානයක් යොමු කර ඇති ඔහු 2009 වර්ෂයේදී ‘සඳවට කර’ නමින් ළමා ගීත සංයුක්ත තැටියක් නිර්මාණය කළේය.

මීට පෙර 2012 සහ 2016 වර්ෂවලදී ‘සත්සරණි’ නමින් ඒක පුද්ගල සංගීත ප්‍රසංග දෙකක් ඉදිරිපත් කර ඇති උදය තිලකරත්න මහතා, 2019 වර්ෂයේදී පණ්ඩිත් අමරදේවයන්ගේ ගුණ සැමරීම වෙනුවෙන් ‘අමර ගුරු හරසර’ නමින් ප්‍රසංගයක් ද සංවිධානය කළේය.

‘මන්දෝදරී’, ‘පාර්වතී’, ‘වසන්තයක්’, ‘උදෑසනක් සේ’, ‘සොයුරිය’ සහ ‘පූ තම්බී’ ඇතුළු නිර්මාණ රැසක් ඔහුගේ සංගීත නිර්මාණ අතර වේ.

එමෙන්ම සමන් ලෙනින් ගායනා කරන ‘රත්නවල්ලියේ’ ගීතය සඳහා ද උදය තිලකරත්න මහතාගේ සංගීත නිර්මාණ දායකත්වය හිමිව තිබීම විශේෂත්වයකි. චනත් ගුණරත්න විසින් පද රචනා කරන ලද එම ගීතය, 2024 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී විශිෂ්ටතම ජන ගී ආශ්‍රිත නව නිර්මාණය සඳහා වන රාජ්‍ය සම්මානයට නිර්දේශ වී තිබේ.

තවද, ඔහුගේ ‘හන්තාන ගීතය’ මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන Music Chart Show වැඩසටහනට ඇතුළත් වී තිබීම ද ඔහුගේ නිර්මාණ පිළිබඳව අවධානය යොමුවීමට හේතුවක් වී ඇත.

සම්මානනීය සංගීත නිර්මාණ, නාට්‍ය සංගීතය සහ ළමා ගීත ඔස්සේ දිගු ගමනක නිරතව සිටින උදය තිලකරත්න මහතාගේ ‘මන්දෝදරී’ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ඔහුගේ නිර්මාණාත්මක හැකියාවන් සහ සංගීත අත්දැකීම් රසිකයන් වෙත සමීප කරන තවත් වැදගත් කලා අවස්ථාවක් වනු ඇත.

මාතලේ මහේෂ් කිර්තිරත්න

නරක් වූණ බිත්තර හදුනාගන්නේ විදි Read Previous

නරක් වූණ බිත්තර හදුනාගන්නේ විදි

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment