අලි ඇතුන් 17ක් අවදානමේ

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් මත සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙරට වන අලි ගහනය ආරක්‍ෂා කිරීමට සහ මිනිස් හා වන අලි  ගැටුම් අවම කිරීමට ක්‍රියාත්මක වන ජාතික ‘හස්ති සේනා’ මෙහෙයුම සඳහා යුද්ධ හමුදාව සිය දායකත්වය ලබාදී ඇත.

මෙම වැඩපිළිවෙළේ කොටසක් ලෙස, පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව ත්‍රිවිධ හමුදාවේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට සහ අධීක්‍ෂණය කිරීමට යුද්ධ හමුදාව විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර එමගින් වනජීවීන්ට එල්ල වන තර්ජන හමුවේ ක්‍රමානුකූල සහ සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයන් දැක්වීම සිදුකරනු ලබයි.

ඒ අනුව, වනජීවී නිලධාරීන් සමඟ එක්ව කැකිරාව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ උගුල් සොයා ගැනීමටත්, කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් යුද්ධ හමුදා සාමාජිකයින්ට හැකි විය.

මෙම ජාතික වැඩසටහනට සහාය වීමක් ලෙස යුද්ධ හමුදාව විසින් වනජීවී නිලධාරීන් සහ ගුවන් හමුදා පශු වෛද්‍ය නිලධාරියෙකු සමඟ මීකිරියාව සහ නීගිනියාව යන ප්‍රදේශවල ඒකාබද්ධ මෙහෙයුම් දියත් කරන ලදී. වනජීවීන් ආරක්‍ෂා කිරීම සහ වන සතුන්ට හානි කිරීම සඳහා යොදා ගන්නා නීතිවිරෝධී ගිනි අවි හා උපකරණ ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් සිදු කෙරිණි. එහිදී, සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, නීතිවිරෝධී ගිනි අවියක්, උගුල් තුවක්කු, පතරොම්, ඊයම් බෝල, මුවන්ගේ අං, මුවන්ගේ අංවලින් සාදන ලද පිහි සහ තවත් ද්‍රව්‍ය රැසක් ද සොයා ගැනීමට හැකි විය.

මේ අතර, පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ දීප ව්‍යාප්ත මෙහෙයුම නොවැම්බර් මස 02 දින ගල්ගමුව ප්‍රදේශයෙන් ආරම්භ විය.  එහිදී, අවදානමට ලක්ව ඇති බවට හඳුනාගෙන ඇති අලි ඇතුන් 17 දෙනෙකු කෙරෙහි අවධානය යොමු කරමින් යුද්ධ හමුදාව විසින් කණ්ඩායම් 6ක් යටතේ 60 දෙනෙකු මෙම මෙහෙයුමේ මූලික අදියර සඳහා සහය දැක්වීමට යොදවා ඇත. මෙම මෙහෙයුම විද්‍යාත්මක හා ක්‍රමානුකූල ප්‍රවේශයකින් ක්‍රියාත්මක වන අතර, අලි ඇතුන් වාසය කරන හඳුනාගත් කැලෑ ප්‍රදේශවලින් සියයට 80 ක් පමණ එමඟින් ආවරණය වනු ඇත.

මෙම වැඩසටහන මගින්, අලි ඇතුන්ට එල්ල වන තර්ජන (නීතිවිරෝධී ගිනි අවි, හක්ක පටස්, අනවසර විදුලි වැටවල් සහ උගුල් ඇතුළුව) මැඩපැවැත්වීම සඳහා අවධානය යොමු කරයි. ඒ සඳහා සම්බන්ධීකරණය කළ නිරීක්‍ෂණ කටයුතු, බුද්ධි තොරතුරු හුවමාරුව, ක්ෂේත්‍ර මෙහෙයුම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ පියවර යොදා ගනු ලබයි.

ලස්සන වෙන්න ආස අයට සැවැන්දරා Read Previous

ලස්සන වෙන්න ආස අයට සැවැන්දරා

කඳු මුදුන් අතරින් මතුවන රන්වන් හිරු උදාව විඳින්න Read Next

කඳු මුදුන් අතරින් මතුවන රන්වන් හිරු උදාව විඳින්න

Realted Post

Leave a comment