කලිසමක් ඇන්දට මහත්තයෙක් වෙන්නේ නැහැ

පිරිමියෙක්ව ඉපද කාන්තාවක් ලෙස පෙරට අඩිය තිබ්බ දුලීගේ කතාව 

තමන්ම ලස්සන වෙනවාට වඩා තව කෙනෙක් ලස්සන කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ලොකු භාග්‍යයක්. ඇයත් එහෙම භාග්‍යයකට හිමිකම් කියන වෙනස්ම කෙනෙක් .සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි. ඇය නමින් රූපලාවණ්‍ය ශිල්පිනි අභිෂේකා දුලී.

 

කොහොමද දුලී ?

මේ දවස්වල රූපලාවණ්‍ය කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

 

දුලීගෙ හැඩ ගැන්වීම් හි රහස මොකක්ද?

මම කරන දේ හදවතින්ම කරනවා. මම ඒකට ගොඩක් ආදරෙයි වගේම ආසයි. ඒ ආසාව උනන්දුව කැපවීමත් එක්ක මම හැම වෙලාවෙම උත්සහ කරන්නෙ සේවාදායකයාගේ ස්වභාවික ලස්සන ඉස්මතු කරන්න.

 

පුංචි කාලේ ඉඳන්ම මේ  හැකියාව ඔබ තුළ තිබුණ ද?

පෙර පාසල් යන කාලේ ඉඳලම තමයි මම බෝනික්කන්ව  හැඩ ගන්වන්නේ. මම හිතන්නේ ඒ හැකියාව පුංචි කාලේ ඉඳලම මට ලැබුණ දෙයක් . මේ දැනුම මට ලැබුණු දේව හාස්කමක්.

 

ඔබ වෙනස් කෙනෙක්. ඒ වෙනස් කමට ගෙදරින් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

අනිත් අයට සාපේක්ෂව මට තියෙන්නෙ වෙනස් කතාවක්. මම පුංචි කාලේ ඉඳලම හොඳට ඉගෙනගත්ත කෙනෙක්. නිතරම උත්සාහ කළේ ගෙදරට කීර්තියක් ගේන්න. ඒක නිසා මට පවුලෙන් ගැටලුවක් ඇති වුණේ නැහැ.එයාලා මාව තේරුම් ගත්තා.

මම අවශ්‍ය වුණේ "මම වෙලා" මට අවශ්‍ය තැනට යන්න ඕන. මම දෙමව්පියන්ට කිවුවා මම මෙහෙම ද්විත්ව ලිංගික භාවයකට මුලපුරන්න උත්සහ කරනවා. ඔයාලගේ කැමැත්ත මොකද්ද යැයි මම විමසුවා. ඔයාලට ලැජ්ජා නම් මම ගෙදරින් අයින් වෙන්නම් කියලත් මම කිවුවා. අම්මා ඒ වෙලේ මට පැවසුවේ, "මට ඔයා වෙනස් නැහැ" කියලා. ඒක තමයි මගේ ජිවිතයට ලැබුණු ලොකුම ජයග්‍රහණය.

 

ලිංගික සුළුතර ප්‍රජාවට පවුලෙන් ලැබෙන පන්නරය හරි වැඳගත් නේද ?

අපිව වෙනස් කොට සලකන්නේ නැතුව, ආදරේ, මෛත්‍රිය දෙන්න පුලුවන් නම් අපිත් හොඳින් ජිවත් වෙනවා. ඒක ගෙදරින් ලැබෙනවා කියන්නේ ජිවිත සාර්ථක කර ගන්න පුලුවන්.

 

නමුත් බොහෝදෙනෙක් අද කරකියාගන්න දෙයක් නැතුව ලිංගික ශ්‍රමියකන් බවට පත් වෙලා තියෙනවා ?

ඒ තැනට පත් වෙන්නේ සමාජය තුලින්මයි. හොර්මොන්ස් ගන්න සල්ලි නැති වුණාම කරන්නේ පාරේ ගිහිං හිට ගන්නවා. හොඳ අනුග්‍රහයක්, මඟ පෙන්වීමක් ලබා දෙන්න පුලුවන් නම් මීට වඩා මොවුන්ගේ ජිවිත ලස්සන වෙනවා.

 

මෙහෙම වෙනස් වෙන්නේ මේ දේවල් කරන්නම ද කියලත් සමාජේ මතයක් තියෙනවා ?

නැහැ. අපි ඇතුලේ ඉන්නේ ගැහැණියක්. එහෙම වෙනස් වෙනකොට ඊට සමාජෙන් ගහනකොට, සමාජයෙන් වැරදි මතයක් දෙනකොට තමයි ලිංගික ශ්‍රමිකයෙක් බවට පත් වෙන්නේ. වෙනස්වීම් එක්ක ජොබ් එකක් හොයා ගන්න විදියක් නැහැ. ජොබ් දෙන්නේ නැහැ. අවශ්‍යතාවයන් සපුරා ගන්න විදියක් හොයන්න වෙනවා. මේක දුක්ඛිත තත්වයක්. එහෙම වෙනකොට ඉල්ලුමක් තියෙනවා කියන්නේ සමාජෙම මිනිස්සු හොර රහසේ ඔවුන් ළඟට යන නිසා නෙමෙයිද ? මම පිරිමියෙක් කියන හැඟීම තියෙන්නේ සෙක්ස් වලදී විතරද ? එහෙම ඉදලා ඇවිල්ලා පො.... කියලා කියනවා. ඇයි මානුෂිකව හිතන්න බැරි. කලිසම ඇඳ ගත්තට මහත්තයෙක් වෙන්නේ නැහැ.

 

මේ ප්‍රජාව විකුණගෙන කනවා මිසක් මොවුන්ට උදව් කරන පිරිස් හෝ ආයතන අඩුයි නේද ?

ඔව්. ඔයා LGBTIQ කියලා පහතට දානවා. හැමෝම  දාර්ශනිකයෝ වගේ නමුත් හිත් වල කාරුණික බවක් නැහැ. ඇහුවොත් පොෂ්. ඒත් තව මනුස්සයෙක්ට ගරුත්වයක් දෙන්න තරම් මනුස්සකම් නැහැ. තවම ජිවත් වෙන්නේ ගල් යුගයේ. වැඩිය ඕනනැහැ බලන්න, බලන්න ලංකාවේ පොදු වැසිකිළියකට අපි වගේ කෙනෙක්ට යන්න පුලුවන් ද  කියලා.

 

ඔබේ වෙනස් වීම් ගැන ඔබ අද පසුතැවෙනවා ද?

මම කවදාවත් මගේ ජීවිතේ ගැන දුක් වෙලා නැහැ. හැමදෙයක්ම මම සතුටින් භාරගන්නවා. මට අවශ්‍ය තැනට මම ගියා. මගේ වටා බොහෝ පිරිසක් ඉන්නවා. මම මගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. තමන්ගේ අනන්‍යතාවය සහ පෞරුෂය ගොඩනගා ගත්තොත් අපිට අනාගතයක් තියෙනවා. අපි දිහා බලනවා තමයි. ඒ අපි වෙනස් නිසා. එහෙම හිතන්න ඕන. ඒ නිසා අපි විසින් අපිවම විනාශ කර ගන්නේ නැතුව ඉදිරියට යන්න අවශ්‍යයි. මම හැමෝගෙන්ම වැඳලා ඉල්ලනවා පවුලේ අපි වගේ කෙනෙක් හිටියොත් ඒ කෙනාට අසාධාරණයක් කරන්න එපා. එහෙම වුණොත් එයාලගේ මුලු ජීවිතේම අඳුරේ.


සටහන - නෙත්මි තෂාරා (කතාව විත් අශ් වැඩසටහනෙන්)


 

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Next

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

Realted Post

Leave a comment