කොළඹත් මහනුවරත් මහ වැස්සට යටවෙයි
සෙනසුරාදා පස්වරුවේ මහනුවර නගරයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ බිම් මහලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. මහනුවර දුම්රිය ස්ථානය ඇතුළු නගරයේ ස්ථාන කිහිපයකට ද ජලගැලීම් තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇත.
අධික වර්ෂාවත් සමඟ රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක ජලය එක්රැස් වීම හේතුවෙන් රෝගීන්ට මෙන්ම රෝහල වෙත පැමිණි මහජනතාවට ද දැඩි අපහසුතාවලට මුහුණදීමට සිදුවිය.
මෙම හදිසි ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා මහනුවර ජාතික රෝහල වෙත ගොස් තිබේ.
එහිදී රෝහල් පරිශ්‍රයේ ජලය එක්රැස් වූ ස්ථාන නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා, මෙවැනි තත්ත්වයක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස රෝහල් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙම අවස්ථාවට මහනුවර ජාතික රෝහලේ පරිපාලන බලධාරීන් වන වෛද්‍ය රවීන්ද්‍ර වැලිවිට, වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මේ අතර, මීට පෙර ඇති වූ අධික වර්ෂාපතනයකදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකට ද ජලගැලීම් තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ අතර, කොළඹ ජාතික රෝහලේ ඇතැම් ස්ථාන ද ජලයෙන් යටවී තිබිණි.
කෙටි කාලයක් තුළ ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් නගර ආශ්රිත රෝහල්, දුම්රිය ස්ථාන සහ ප්‍රධාන මාර්ගවලට මෙලෙස බලපෑම් එල්ල වීමත් සමඟ, වැසි ජලය බැස යාමේ පද්ධතිවල ධාරිතාව සහ ජලගැලීම් අවම කිරීම සඳහා ගත යුතු දිගුකාලීන පියවර පිළිබඳව ද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.
ජේ. ඒ. එල්. ජයසිංහ

Leave a comment