’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ සැබෑ සර්වඥ ධාතූන් වහන්සේලා"දේව්නිමෝරි ධාතූන් වහන්සේලා" ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම පසුගිය 5වන දා සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ වුණා. මෙම  සර්වඥ ධාතූන් වහන්සේලාගේ ඉතිහාස කතාව සම්බන්දයෙන් තොරතුරු කිහිපයකි මේ.

1957 අවුරුද්දෙදි එම ප්‍රදේශය හරහා ඉදිවූ වේල්ලක් හේතුවෙන් ​මේ ගම්මානය ජලයෙන් යටවීමට නියමිතව තිබුණා, මහාචාර්ය එස්.එන්. චෞද්‍රි ඇතුළු බරෝඩා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාල​යේ ( The Maharaja Sayajirao University of Baroda)  පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එහි තිබූ පැරණි නටඹුන් හා පස්කන්ද විහාර සංකීර්ණයක් යැයි කළ නිවැරදි අනුමානයක් මත සිදු කළ කැණීම් හමුවේ මෙම  සර්වඥ ධාතූන් වහන්සේලා හමු වී ඇති බව සඳහන්. 

මෙම කැණීම් හමුවේ අඩි ගණනාවක් පොළොවට යටවී තිබූ  අවරුදු 1700 ක් පමණ පැරණි මහා ස්තූපයක් සහ විහාර සංකීර්ණයක් මතු කරගනිමින්, ජලයෙන් යටවී සදහටම වැළලී යාමට තිබූ මෙම මහා බෞද්ධ උරුමය බේරා ගැනීමට ඔවුන්ට හැකිවීම තිබෙනවා.

ඉතිං මේ කැණීමෙහි සුවිශේෂීම අවස්ථාව සනිටුහන් වු​ණේ 1963 වසරේ ජනවාරි 14 වනදාය. එදා එම මහා ස්තූපයේ පාදමේ සිට අඩි 24ක් උසින් තිබී අද අපි දකි​න ධාතු කරඩුව හමු වී තිබෙනවා.  මෙම ​ශෛලම​ය කරඬුවෙහි කොටා තිබූ ශිලා ලිපිය ලෝකයම පුදුමයට පත් කරවන්නක් වූ අතර කොළ පැහැති 'ෂිස්ට්' (Green Schist) නම් ගලින් නිමවූ එම කරඬුවේ ක්ෂත්‍රප යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් අන්තර්ගත වූ මූලික පාඨය මෙලෙස සදහන් කර තිබෙනවා.

"දශබල ශරීර නිලයඃ ප්‍රශස්ත රම්‍යෝ මහා ස්තූපඃ. සංවත්සරේ සප්තවිංශත්‍යධිකේ ශතේ 127 කථිකානාං රාජ්ඤි ශ්‍රී රුද්‍රසේනේ..." 

මේ කරඩු ලිපිය කියවපු විද්වතුන්​ට තහවුරු වූයේ  දශබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා නිදන් මෙහි නිදන් කරලා තියෙනවා කියන කාරණා මෙලෙස අක්‍ෂර කර ඇති බවයි. 

මේ  කරඩු ලිපියට අනුව එම ස්තූපය කරවා ඇත්තේ  (Kathika) රජවරුන්ගේ පාලන සමයේ 127 වන වර්ෂයේදී, එනම් ශ්‍රී රුද්‍රසේන රජු පාලනය කළ සමයේය. භාද්‍රපද මාසයේ පස්වන දින මෙහි වැඩ අවසන් කර ඇති බව ද පැවසෙනවා.

කැණීම් වලදී එම කරඬුව තුළ තිබී හමුවූ බටහිර ක්ෂත්‍රප (Western Satraps) පාලකයින්ට අයත් කාසි අතර ක්‍රි.ව. 305-313 කාලයට අයත් රුද්‍රසිංහ II රජුගේ කාසිද හමුවීම නිසා, මෙම ස්තූපය අවසාන වශයෙන් ක්‍රි.ව. 4 වන සියවසේදී (ක්‍රි.ව. 375 පමණ) නැවත ප්‍රතිසංස්කරණය කර ඇති බවට එරට පුරාවිද්‍යාඥයෝ පවසනවා.

කෙසේවෙතත් මේ වන විට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සැදැහැවතුන්ට වන්දනා කිරීමට ලැබෙණ  පූජනීය වස්තූන් ත්‍රිත්වය ගැන සැකවින් විස්තර කළොත්, 

ගල් කරඬුව - ඉහත ශිලා ලිපිය සහිත ප්‍රධාන 'ෂිස්ට්' ගල් කරඬුව. (පාදම අඟල් 6.8, උස අඟල් 2.9).

තඹ පෙට්ටි​ය - ගල් කරඬුව තුළ තිබූ රන් ආලේපිත රිදී-තඹ බෝතලය සහිත තඹ පෙට්ටිය. ඒ තඹ පෙට්ටිය තුළ තමයි ධාතූන් සහි​ත ඉතා කුඩා සිලින්ඩරකාර රිදී තඹ බෝතලය තිබිල තියෙන්​නේ

වීදුරු බෝතලය - අතිශය සියුම් ධාතූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් වර්තමානයේදී,  එ​ම ධාතූන් සහ අර කුඩා රිදී සිලින්ඩරාකාර බෝතල​ය  තැන්පත් කරලා තියෙ​න සුළං නොවදින (Airtight) වීදුරු මංජුසාව.

එහි ඇතුළත තඹ පෙට්ටියක්, සේද රෙදි, මුතු සහ පූජනීය භෂ්ම මෙන්ම කුඩා රන් ආලේපිත බෝතලයක් ද තිබූ බව මේ සම්බන්දයෙන් අප සමග අදහස් දක්වමින් ගංගාරාම විහාරවාසී කොණ්ඩඤ්ඤ හිමියෝ පැවසූහ.

අපට දැන් පෙණෙන පරිදි මේවන විට ධාතූන් වහන්සේලා සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව තැබීම සඳහා වාතය ඇතුළු නොවන වීදුරු පෙට්ටිවල තැන්පත් කර තිබෙන්නේ විද්‍යාත්මක එසේ නොවුණහොත් උෂ්ණත්වය මත ධාතුන් වහන්සේලා වාෂ්ප වී යා හැකි බැවිනි. 

වසර 2000කට වඩා පැරණි මෙම ධාතූන් වහන්සේලා ඉන්දියාවේ වොඩෝදරා කෞතුකාගාරයේ අතිශය ආරක්ෂිතව තැන්පත් කර තිබේ. මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ ඉන්දියාවෙන් පිටතට වෙනත් රටකට මෙම ධාතූන් වහන්සේලා වැඩම කරවූ ලොව පළමු සහ එකම අවස්ථාව මෙය වීමය. එය අප රටට ලැබුණු මහත් ගෞරවයකි.

  • මේඝා චින්තාමණි

මාතලේ නිදහස් උළෙල අභිමානවත්ව සමරයි... Read Previous

මාතලේ නිදහස් උළෙල අභිමානවත්ව සමරයි...

Deodorant  නිවැරදිව භාවිත කරමු Read Next

Deodorant නිවැරදිව භාවිත කරමු

Realted Post

Leave a comment