ප්‍රහාර අතිශය අමානුෂිකයි – නිලධාරීන් නිරායුධව යැවීම ගැටලුවක්

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදවාචකයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සිරුරුවල දක්නට ලැබෙන තුවාල අතිශය අමානුෂික ප්‍රහාරවල ප්‍රතිඵල බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් පරීක්ෂණ සිදුකරන අධිකරණ වෛද්‍ය නිලධාරීන් පවා දැඩි කම්පනයට පත්ව ඇති බව වාර්තා වන අතර, මරණවල බරපතළත්වය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.

මේ වන විට මෘතදේහ 24ක් ඥාතීන් වෙත භාරදී ඇති අතර, ඉතිරි මෘතදේහ 4 සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තවදුරටත් සිදුකෙරේ.

ජූලි 5 සහ 6 යන දෙදින තුළ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සිරුරු මීගමුව මහ රෝහලේ තැන්පත් කර තිබිණි.

මූලික වෛද්‍ය නිරීක්ෂණ අනුව පුද්ගලයන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් මියගොස් ඇති අතර, තවත් 9 දෙනෙකු අමානුෂික ලෙස පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. බොහෝ දෙනාගේ මරණයට හේතුව වී ඇත්තේ හිසට එල්ල වූ බරපතළ හා දරුණු ප්‍රහාර බව ද වාර්තා වේ.

මෙම මහා ඛේදවාචකය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ මෙහෙයවීම සඳහා වෛද්‍ය සුජීව වික්‍රමනායකගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ. එම කණ්ඩායමට වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, වෛද්‍ය සමන්ත විජේරත්න, වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ වෛද්‍ය රමේෂ් අග්ගියාවන්න යන මහත්වරුද ඇතුළත් වෙති.

සිද්ධියෙන් සිදුවූ බරපතළ හානිය හේතුවෙන් මීගමුව බන්ධනාගාර පරිශ්‍රය නිල වශයෙන් "අපරාධ ස්ථානයක්" (Crime Scene) ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි තවදුරටත් රැඳවියන් රඳවා තැබීම සුදුසු නොවන බව බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව බෝගම්බර බන්ධනාගාරය නැවත භාවිතයට ගැනීමේ කටයුතු ද ආරම්භ කර ඇත.

විමර්ශනවලට අනුව මෙම ගැටුම බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට ලබාදුන් බවට සැක කෙරෙන රැඳවියෙකුට අනෙක් කණ්ඩායම පහරදී ඇති අතර, ඔහුද පහර කෑමට ලක් වීමෙන් පසුව මිය ගොයේය.

ජූලි 5 දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වූ බව සඳහන් වුවද, පසුදින උදෑසන බන්ධනාගාරයට ගිය නිලධාරීන් ඉදිරියේ කල්ලි දෙක අතර ගැටුම යළි උත්සන්න වී තිබේ.

එම අවස්ථාවේදී ගැටුම මැඩපැවැත්වීමට මැදිහත් වූ ජේලර්වරයෙකුට රැඳවියන් පහරදී ඇති අතර, ඔහු බේරාගැනීමට පැමිණි අනෙකුත් බන්ධනාගාර නිලධාරීන්ටද අමානුෂික ලෙස පහරදී ඇතැයි වාර්තා වේ. එමෙන්ම රැඳවියන් බන්ධනාගාර ඖෂධ ගබඩාව කඩා එහි තිබූ මත්වන ඖෂධ භාවිත කළ බවටද තොරතුරු අනාවරණය වී ඇත. සියල්ල පිළිබඳව ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මකය.

මේ අතර, ජූලි 5 දින බරපතළ කලහකාරී තත්ත්වයක් ඇති වූ බව දැන සිටි පසුබිමක ඊට පසුදින බන්ධනාගාර නිලධාරීන් ප්‍රමාණවත් ආරක්ෂක උපකරණ නොමැතිව රාජකාරියට යොමු කිරීම සම්බන්ධයෙන්ද බරපතළ ප්‍රශ්න මතුව තිබේ. අවම වශයෙන් බැට්න් පොලු වැනි ආරක්ෂක උපකරණ හෝ අණ දෙන නිලධාරියා ලබා නොදුන්නේ මන්ද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමු කළ යුතුය.

මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් සිපිරි ජීවිතයේ අත්දැකීම් ඇති ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් 80%ක්ම අමානුෂික බවයි.එමෙන්ම බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ව්‍යුහාත්මක ගැටලු පිළිබඳ පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවයි.සිරකරුවන් සුරැකීමේ කමිටුද  නිලධාරීන් සහ රැඳවියන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් ද, විවිධ අදහස් පළ කරන පසුබිමක, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ නිලධාරීන්ට මෙන්ම රැඳවියන්ටද සාධාරණ යුක්තිය ඉටු කරන බවයි.

මෙම ඛේදවාචකයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද, එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව මේ වන විට රටේම අවධානය යොමුව තිබේ.

 අශන්ති වරුණසූරිය

මේක ගැන අහිංසක සතුටක් තියෙනවා. Read Previous

මේක ගැන අහිංසක සතුටක් තියෙනවා.

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය Read Next

මනාලියක් වෙන්න ඉන්න ඔබට ස්වභාවික ගොල්ඩ් පේෂල් සත්කාරය

Realted Post

Leave a comment