වයසට යෑම නෙවෙයි, ජීවිතය විඳීමයි වැදගත්

"අපේ ඉලක්කය වෙන්න ඕන වයස අවුරුදු 40 දීත් 25 ක කෙල්ලෙක් වගේ පේන්න උත්සාහ කරන එක නෙවෙයි. 
අපේ ඉලක්කය වෙන්න ඕන, වයස 20 ගණන්වල ඉන්න තරුණ දියණියන්ට, 'අවුරුදු 40 කියන්නේ බය වෙන්න ඕන කාලයක් නෙවෙයි, ඒක ඇත්තටම ආසාවෙන් බලාගෙන ඉන්න වටින සුන්දර කාලයක්' කියලා අපේ ජීවිතය හරහා පෙන්වා දෙන එකයි." 

ළඟදී දවසක සමාජ මාධ්‍යයේ තිබිලා දැකපු මේ ලස්සන අදහස මගේ හිතට තදින්ම වැදුණා. 

ඇයි අපි වයස 40 ට බය වෙන්නේ? 

අපේ සමාජයේ පොඩි කාලේ ඉඳන්ම කාන්තාවකට කියා දෙන්නේ "තරුණකම" විතරයි ලස්සන කියලා. වයස අවුරුදු 30, 40 පහු වෙද්දී අපිට ඇහෙන්න ගන්නේ "දැන් ඉතින් වයසයිනේ", "දැන් ඉතින් ළමයිනුත් ඉන්නවානේ" වගේ කතා. මේ නිසාම බොහෝ අම්මලා තමන්ගේ තරුණකම ගිලිහී යනවාට අනියත බියක් ඇති කරගන්නවා.

හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. වයස අවුරුදු 40 කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ "ස්වර්ණමය යුගය" කිව්වොත් මං නිවැරදියි.

අවුරුදු 40 කියන්නේ මොන වගේ කාලයක්ද? 

 පරිණත බව සහ ආත්ම විශ්වාසය: වයස 20 දී අපිට තිබුණේ නොමේරූ අදහස්. හැබැයි 40 වෙද්දී ජීවිතයේ හැලහැප්පීම්, අත්දැකීම් එක්ක අපි මීට වඩා ශක්තිමත්. තීරණ ගන්න බය නැහැ.
 
තමන් කවුද කියලා හඳුනා ගැනීම: අනුන්ව සතුටු කරන්න දඟලපු කාලය ඉවරයි. තමන්ට ගැලපෙන දේ, තමන්ට ආස දේ තෝරාගන්න තරම් අපි දැන් බුද්ධිමත්.

 සැබෑ සුන්දරත්වය: හම රැලි වැටීම හෝ කෙස් ගසක් පැසීම නෙවෙයි වයසට යෑම කියන්නේ. ඒ හැම රැල්ලක් පිටුපසම දරාගැනීමේ, ආදරය කිරීමේ සහ ජීවිතයට මුහුණ දීමේ ලස්සන කතාවක් හැංගිලා තියෙනවා.

අම්මා කෙනෙක් විදිහට අපේ වගකීම 

අපි අම්මලා විදිහට හැමවෙලේම උත්සාහ කරන්නේ අපේ දරුවන්ට හොඳම දේ දෙන්න. ඉතින් හිතන්න, අපිට ඉන්නේ දූවරු නම්, අපි වයසට යෑම ගැන දුක් වෙවී, කන්නාඩිය ඉස්සරහට වෙලා සුසුම්ලනවා දකිද්දී ඒ දරුවනුත් වයසට යන්න බය වෙනවා.

නමුත්, වයස අවුරුදු 40 දීත් අපි සතුටින්, ක්‍රියාශීලීව, තමන්ගේ පෙනුම ගැන ආඩම්බරයෙන් ඉන්නවා දකිද්දී, අපේ දූලා ඉගෙන ගන්නේ ජීවිතයට ආදරය කරන්නයි. "මගේ අම්මා වගේ මමත් ලස්සනට, ශක්තිමත්ව වයසට යනවා" කියන ආත්ම විශ්වාසය අපි ඔවුන්ට දිය යුතුමයි.

ඉතින්, අපි මොකද කරන්න ඕන?

1 ශරීර සෞඛ්‍යය ගැන හිතන්න: ජිම් යන්නම ඕන නැහැ. හැබැයි පෝෂ්‍යදායී කෑමක් කන්න, සතුටින් ඇවිදින්න, වතුර බොන්න අමතක කරන්න එපා.

2 හිත සතුටින් තියාගන්න: දරුවෝ, මහත්තයා, ගෙදරදොර වැඩ අස්සේ ඔයා ආස කරන පොඩි හෝ විනෝදාංශයකට වෙලාව වෙන් කරගන්න.

3 වයස කියන්නේ අංකයක් විතරයි: ඔයාට ලස්සනට අඳින්න පලඳින්න වයස බාධාවක් කරගන්න එපා. ඔයාට ගැලපෙන, ඔයාට පහසු ඕනෑම විලාසිතාවක් ආත්ම විශ්වාසයෙන් යුතුව කරන්න.

වයස අවුරුදු 25 වගේ පේන්න දඟලන එක නවත්වමු. 25 ට වඩා 40 ලස්සනයි, නිදහස්, වටිනවා කියලා ලෝකයටම පෙන්වමු! 

✍️ කවිතා සෙල්වරාජ් |

පාසල් රග්බි පිටියේ ත්‍රිත්ව සිංහයෝ අපරාජිතව ඉදිරියටම Read Previous

පාසල් රග්බි පිටියේ ත්‍රිත්ව සිංහයෝ අපරාජිතව ඉදිරියටම

වයසට යෑම නෙවෙයි, ජීවිතය විඳීමයි වැදගත් Read Next

වයසට යෑම නෙවෙයි, ජීවිතය විඳීමයි වැදගත්

Realted Post

Leave a comment