ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරියකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවිශේෂී අගැයීමක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරියකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවිශේෂී අගැයීමක් හිමිව තිබේ. 

ඒ, ලුතිනන් කමාන්ඩර් පියුමි කත්‍රිආරච්චි වෙත ය.

ඇය කැලිෆෝනියාවේ මොන්ටෙරේහි පිහිටි එක්සත් ජනපද නාවික හමුදා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයෙන් (NPS) සිය කණ්ඩායමේ ඉහළ ම දක්ෂතා දැක්වූ සිසුන් අතරට එක්වෙමින් ඇයගේ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන තිබේ.

'ස්වෝර්ඩ් ඔෆ් ඔනර්' සම්මානයේ සිට විශිෂ්ටතම විදේශීය ශිෂ්‍යාව දක්වා
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ලුතිනන් කමාන්ඩර් පියුමි කත්‍රිආරච්චි, 2013 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'Sword of Honour' සම්මානය හිමි කර ගැනීමට සමත්ව තිබේ.

එම කීර්තිමත් සම්මානය හිමි කර ගත් පළමු කාන්තා මිඩ්ෂිප්මන්වරිය බවට පත්වෙමින් ඇය වාර්තාවක් පිහිටුවා ඇත.

ඇය ආරක්ෂක සැපයුම් කළමනාකරණ පශ්චාත් උපාධිය විශිෂ්ට සාමාර්ථ සහිතව සම්පූර්ණ කර ඇති අතර, 3.98ක ශ්‍රේණි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. එය පරිපූර්ණ ලකුණු මට්ටමට ආසන්න ජයග්‍රහණයකි.

ඇය NPS විශිෂ්ට නිබන්ධනයට හිමි සම්මානය (NPS Outstanding Thesis Award) මෙන් ම, මොන්ටෙරේහි කිවානිස් සමාජය (Kiwanis Club of Monterey) විසින් සෑම වසරක ම NPSහි ජාත්‍යන්තර සිසුන් දෙදෙනෙකුට පමණක් පිරිනමනු ලබන 'විශිෂ්ට ජාත්‍යන්තර ශිෂ්‍ය සම්මානය' ද හිමි කර ගත්තා ය.

හමුදා හා ආරක්ෂක ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නායකත්ව භූමිකා සඳහා සූදානම් කිරීම මෙම පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අරමුණ යි.

මානසික සුවයට අලුත් ජීවන රටාවක් Read Previous

මානසික සුවයට අලුත් ජීවන රටාවක්

ලස්සන රැකගන්න මනසත් රැකගන්න Read Next

ලස්සන රැකගන්න මනසත් රැකගන්න

Realted Post

Leave a comment