2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන්

මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මාතලේ, කොටුවෙගෙදර සහනෝදය ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන සඳහා රුපියල් මිලියන 77ක වියදමින් ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  (21) සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවති මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, 2050 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25%ක් පමණ වයස අවුරුදු 60 සහ ඊට වැඩි වැඩිහිටියන්ගෙන් සමන්විත වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවයි.

මෙම ජනගහන වෙනසත් සමඟ අනාගතයේදී මතුවිය හැකි සමාජීය හා රැකවරණ අවශ්‍යතා සඳහා මුහුණ දීමට මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බව පැවසූ ආණ්ඩුකාරවරයා, වැඩිහිටියන් සඳහා අවශ්‍ය පහසුකම් සහිත මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීම එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට වැදගත් වන බව අවධාරණය කළේය.

2024 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 77ක මුදලක් වැය කර තිබේ. මේ වන විට සහනෝදය ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහනේ වැඩිහිටියන් 22 දෙනකු රැකවරණය ලබන අතර, නව ගොඩනැගිල්ල තවත් වැඩිහිටියන් 20 දෙනකු සඳහා අවශ්‍ය පහසුකම් සහිතව ඉදිකර ඇත.

වයස අවුරුදු 60 ඉක්මවූ, පවුලේ හෝ වෙනත් රැකවරණයක් නොමැති වැඩිහිටියන්ට ආරක්ෂාව, රැකවරණය සහ අවශ්‍ය පහසුකම් සැලසීම මෙම නිවහන පවත්වාගෙන යාමේ ප්‍රධාන අරමුණ වේ.

මෙහිදී ආණ්ඩුකාරවරයා නිවහනේ පැරණි ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට ද එක්වූ අතර, වැඩිහිටි රැකවරණ සේවා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව සමාජ සුභසාධන වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක විය. ඒ අනුව, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා පුද්ගලයන් සඳහා අධ්‍යාපනික සහ වෛද්‍ය ආධාර ලබාදීම, අවශ්‍ය පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි ලබාදීම සහ අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා උපකරණ හා ආධාර ලබාදීම සිදු කෙරිණි.

එමෙන්ම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දෙමාපියන්ට ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම ද මෙහිදී සිදු වූ අතර, අවස්ථාව සිහිපත් කරමින් රුක් රෝපණය කිරීමක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මාතලේ මහ නගර සභාවේ නගරාධිපති අශෝක කොට්ටච්චි මහතා, මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. කේ. එස්. බී. ජයරත්න මහතා, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මිය, නියෝජ්‍ය කොමසාරිස් ආලෝකා සමරදිවාකර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආධාරලාභීන් සහ නිවහනේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසින් පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන් Read Previous

2050 වන විට ලංකාවෙ ජනගහනයෙන් 26%ක් වැඩිහිටියන්

හෘද රෝග අවදානම අඩු කරන දෙයක්  ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු Read Next

හෘද රෝග අවදානම අඩු කරන දෙයක් ගැන අලුත් පර්යේෂණවලින් හෙළිවූ කරුණු

Realted Post

Leave a comment