දළ තිබිම වරදක්ද ? අග්බෝ වගේම අන් අලි ඇත් සම්පතත් රැකගනිමු
අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, අග්බෝ ඇතා සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව මේ වන විට වාර්තා වේ.
අග්බෝ සිටින ස්ථානය හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි. වන අලි සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් අදාළ රාජ්ය ආයතනවල සහයෝගයෙන් ඔහු සොයා ගැනීමට අවශ්ය කටයුතු සිදු කෙරෙමින් පවතී.
අග්බෝ වී කන්නයේදී ගම්වදින බවත්, ඇතැම් නිවාසවලට හානි කරන බවත් කියැවේ. ඒ නිසා ගම්වාසීන්ට මැසිවිලි තිබෙනවා. ගැටලු තිබෙනවා. ඒ සියල්ල අපට නොසලකා හරිය නොහැක. මිනිසුන්ගේ ජීවිත, නිවාස සහ වගාවන් ආරක්ෂා විය යුතුයි. ඒ සියල්ල අතරේ අමතක නොකළ යුතු තවත් කතාවක් තිබෙනවා. ඒ අග්බෝටත් මෙන්ම අනෙක් අලි ඇතුන්ටත් මේ මහපොළොවේ ජීවත් වීමට ඇති අයිතියයි.
අග්බෝ ගැන කතා කිරීමේදී අග්බෝ ගම්වාසීන් සමඟ ගැටුම් ඇති කරගත් අවස්ථා තිබිණි.එහෙත් කාලයත් සමඟ ඔහුත් ගම්මුත් අතර හිතවත් වූ ඔහු පසුව ගමට පැමිණෙන විටදී ආහාර ලබා දීමටත් ගම්මු කටයුතු කෙළේය වන්නම්මඩුව වැවේ දිය නෑමට බෙහෙවින්ම ප්රිය කළ අග්බෝ අද වන විට මිනිස්සුන්ට බෙහෙවින්ම ලෙංගතු චරිතයකි.
අග්බෝ යනු අපේ රටට තවමත් ඉතිරිව සිටින අභිමානවත් දළ ඇතුන්ගෙන් එක් අයෙකි. මීට සති දෙකකට පමණ පෙර තිරප්පනේදී අග්බෝව දකින අවස්ථාවේදී දණහිසේ තිබූ තුවාලය මේ වන විට සුව වෙමින් පවතින බව තිරප්පනේ වනජීවී නිලධාරී කාර්යාලයෙන් අපට දැනගන්නට ලැබුණි. ඒ පිළිබඳව නිලධාරීන් අවධානයෙන් පසුවන බවත් දැනගන්නට ලැබීම සතුටට කරුණකි.
වී කන්නයේදී ගම්වදින අග්බෝ ගැන ඇතැම් ගම්වාසීන් මැසිවිලි නැඟුවත්, තිරප්පනේ ඇතැම් මිනිසුන්ගේ හදවත්වල ඔහුට විශේෂ තැනක් හිමිව තිබේ.ඔවුන් අග්බෝට ආදරය කරති. අලි මිනිස් ගැටුමට මැදිවන සතුන් දෙසත් ආදරයෙන්, සංවේදීව බලන්න පුළුවන් මිනිසුන් තවමත් අප අතර සිටීම සතුටට කරුණකි.
කාවන්තිස්සගේ දරාගත නොහැකි වියෝවෙන් ඇති වූ වේදනාවත් සමඟ මතකයට නැගුණ අග්බෝ ගැන අප කතා කළ යුත්තේ වසරින් වසර අපේ රටේ අභිමානවත් දළ ඇතුන් අපට අහිමි වෙමින් තිබෙන නිසාය. අග්බෝගේ සිරුරේ වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල තිබෙන බවත්, යකඩ කැබලි ඔහුගේ සිරුර තුළ රැඳී ඇති බවත් නොයෙක් වර අපට වාර්තා විය.
මොහොතකට සිතන්න. ඒ වේදනාව කොතරම් දරුණු විය හැකිද? තමන්ට දැනෙන වේදනාව වචනයෙන් කියාගත නොහැකි මේ අහිංසක සත්වයා කොපමණ කාලයක් එම වේදනාව දරාගෙන සිටින්නට ඇත්ද? දළ දෙකක් තිබීම වරදක්ද? අභිමානවත් ලෙස මේ මහපොළොවේ ජීවත් වීම වරදක්ද? තමන්ට හිමි විය යුතු නිදහස තුළ ජීවත් වීම නිසා මරණයේ සෙවණැල්ලට යටවීමට ඔහුට සිදුවිය යුතුද?
මේ රටට අභිමානයක් ගෙනෙන වන අලි අපේ සංස්කෘතියේ කොටසක් පමණක් නොවෙයි. ඔවුන් මේ පරිසරයේ ජීවත් වන, වේදනාව දැනෙන, තුවාලවලින් පීඩා විඳින ජීවීන්. ඔවුන්ටත් ජීවිතයක් තිබේ. ඔවුන්ටත් නිදහසේ ජීවත් වීමට අවශ්ය පරිසරයක් තිබිය යුතුයි. දළදා වහන්සේ වැඩමවන ඇතුන්ට ගෞරව කරන අපි, ගණ දෙවියන් වන්දනා කරන අපි, වනාන්තරවල ජීවත් වන සෙසු ඇතුන්ගේ ජීවිතවලටත් ඒ හා සමාන වටිනාකමක් ලබා දිය යුතු නැද්ද?
අලි ඇතුන් යනු අපේ රටේ සම්පතකි. සංචාරක ආකර්ෂණයක් ලෙසින් විදේශ විනිමය උපයා දෙන, ආර්ථික වටිනාකමක් ඇති, අපේ සංස්කෘතික අභිමානය විදහාපාන ජීවීන් පිරිසකි. එහෙත් ඔවුන්ගේ වටිනාකම එතැනින් අවසන් වන්නේ නැහැ. ඔවුන්ටත් මේ මහපොළොවේ නිදහසේ හුස්ම ගැනීමට, ජීවත් වීමට සහ තම වර්ගයා සමඟ ජීවිතය ගත කිරීමට අයිතියක් තිබේ.
මිනිසාගේ මෙන්ම අලියාගේ ජීවිතයත් ආරක්ෂා විය යුතුයි. ඒ දෙකෙන් එකක් තෝරාගැනීමට අපේ සමාජයට සිදුවිය යුතු නැහැ. මිනිසුන්ටත් වන සතුන්ටත් ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බලධාරීන්ගේ වගකීමකි. අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම් සෙවීම අද තවදුරටත් කල් දැමිය නොහැකි අවශ්යතාවකි. ගම්වාසීන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කරන අතරම වන අලින්ගේ ජීවිතත් රැකගත හැකි ක්රමවේද ශක්තිමත් කළ යුතුයි. ගැටුම් ඇති වූ පසු පියවර ගැනීම වෙනුවට, එවැනි ගැටුම් ඇතිවීම වළක්වා ගැනීමට දිගුකාලීන සැලසුම් අවශ්යයි.
ඒ වගේම අහිංසක සතුන්ට හිතාමතා හිංසා කරන, වෙඩි තබන සහ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළන පුද්ගලයන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්රියාත්මක විය යුතුයි. වනජීවී අපරාධවලට එරෙහි නීති ක්රියාත්මක කිරීමත්, එවැනි අපරාධ නැවත සිදු නොවන පරිදි වැළැක්වීමත් අත්යවශ්යයි.
ලස්සන දළ දෙකක් හිමිවීම නිසාම මරණයේ අවදානමට මුහුණ දීමට සිදුවන ඇතුන්ගේ ඉරණම වෙනස් කළ යුතු කාලය දැන්වත් පැමිණ තිබෙනවා. කාවන්තිස්සගේ මරණය තවත් එක් පුවතක් බවට පත් කර අමතක කළ යුතු නැහැ. එය අපේ වනජීවී සම්පත රැකගැනීම පිළිබඳව නැවතත් ගැඹුරින් සිතීමට අප පොළඹවන අනතුරු ඇඟවීමක් විය යුතුයි.
අග්බෝ… නුඹ තවමත් අප අතර සිටි. කාවන්තිස්සගේ වියෝවෙන් ඇති වූ වේදනාව තවත් එක් ජීවිතයක් අහිමි වීමට පෙර අපේ හදවත්වලට දැනෙන්න ඕනෑ. නම් නොදැන, කතා නොකර, නිහඬවම මරණයට පත්වූ තවත් අලි ඇතුන් කීදෙනෙක් මේ මහපොළොවෙන් සමුගෙන ඇත්ද?
නුඹටත් මේ මහපොළොවේ ජීවත් වීමට අයිතියක් තිබෙනවා. ඒ අයිතිය ආරක්ෂා කර දීම අපේ වගකීමයි. දළ ඇතුන්ගේ අභිමානය රැක ගනිමු. ඔවුන්ගේ ජීවිතත් රැකගනිමු.
අශන්ති වරුණසූරිය

Leave a comment