ගෝල් ටයිටන්ස්ට විශිෂ්ට ජයක්

මෙවර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කරමින් ඊයේ (15දා) රාත්‍රියේ පැවැති තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ 20 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ස්ට්‍රයිකර්ස් වෙතින් හිමි වූ ලකුණු 75ක පහසු ඉලක්කය තරගයේ 09(8.3) වැනි පන්දුවාරයේදී පසුකර යාමට ගෝල් ටයිටන්ස් සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නම් ඔවුන් මෙම ඉලක්කය පන්දුවාර 11.1කදී සම්පූර්ණ කරගත යුතුව තිබුණි.

පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් ඉනිම ලකුණු 74කට සීමා වූ අතර, එය මෙවර තරගවාරයේ කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරටද එක්විය.

ටයිටන්ස් ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන්ට හැකිවිය. ඒ අනුව ඔවුන්ට පළමු සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කිරීමටද අවස්ථාව උදාවිය. එම තරගය ප්‍රසාද ලකුණු සටහනේ අංක එක හිමිකරගෙන සිටින දඹුල්ල ඕරා අතර හෙට (17දා) පැවැත්වෙයි.

කලම්බු ස්ට්‍රයිකර්ස් ලැබූ මෙම පරාජය හේතුවෙන් ඔවුන්ට 05 වැනි ස්ථානයේම රැඳී සිටීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. මේ සමග මෙවර තරගාවලියෙන් ඉවත්වීමේ අවධානමක සිට ජැෆ්නා කිංග්ස්ට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට හැකිවිය.

ටයිටන්ස් වෙනුවෙන් පන්දුවාර 04 තුළදී ලකුණු 20කට කඩුලු 04ක් දවාලූ ටබ්‍රේස් ෂම්සි තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

සටහන -  වාසල

ඡායාරූප - ශ්‍රී  ලංකා ක්‍රිකට්

අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි Read Previous

අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය Read Next

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය

Realted Post

Leave a comment