සටන් කර නමක් දිනු ජාතික ශූරිය දිනූ

කලාව සැමවිටම සුන්දර විය යුතුයැයි පවතින මතය පසෙකලමි. සටන් කිරීම තුළද පවතින්නේ කලාවකි. මෙහිදී ප‍්‍රතිවාදියා බිඳහෙලීමට නොව තම ආත්මාරක්ෂාව උදෙසා සටන් කිරීමේ කලාවන් අතුරින් කරාතේ යනු වර්තමානයෙ දෙස් විදෙස් පතල සටන් කලාංගයකි. මෙම කරාතේ ක‍්‍රීඩාව ඔස්සේ ජාත්‍යන්තරය ජයගත් අති දක්ෂ ශ‍්‍රී ලාංකික කරාතේ ශූරියක වන දිනූ පෙරේරා සමඟයි අද කතාබහ. ඇය මේවන විට වසර දහයක් ශ‍්‍රී ලංකාවේ ජාතික ශූරිය බවට ද වසර හයක් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය ද දරා තිබෙනවා.

 

දිනූ පෙරේරා. ඔබ වෘතීය කරාතේ ක‍්‍රීඩිකාවක් දක්වා පැමිණි ගමන් මඟ ගැන කිව්වොත්..?

මම කරාතේ ක‍්‍රීඩාවේ ආරම්භ කරන්නේ මට වයස 06 දි පමණ. ප‍්‍රාථමික අධ්‍යයාපනය කඩවත බැප්ටිස් විද්‍යාලයෙන් සහ ද්විතීයික අධ්‍යාපනය කඩවත මධ්‍යය මහා විද්‍යාලයෙන් හැදෑරුවා. පාසල් තුළින් වගේම පවුල මඟින් ලැබුණු පන්නරය හා පුහුණුවීම් මත තමයි අද වනව්ට කරාතේ ක‍්‍රීඩාවෙන් මේ තරම් දුරක් එන්න ලැබුණේ. ලංකාව තුළ මගේ පළවෙනි පුහුණුකරු මාධවී සංකල්පනා දිසානායක. අනතුරුව.නිලන්නත වික‍්‍රම ගාල්ලගේ. ජාත්‍යානතර වශයෙන් ඉරානය, ඉතාලිය, මැලේසියාව ආදි රටවල් වල පුහුණුකරුවන් සමඟත් සම්බන්ධ වී මම පුහුණු කටයුතු සිදුකලා.

 

මේ ගමන වෙනුවෙන් ඔබ ට පවුල තුලින් ලැබෙන සහය මොනවගේද..?

ගැහැණු දරුවන් ම පස්දෙනෙක් ඉන්න පවුලක අම්මගෙන් සහා තාත්තගෙන් ඇත්තටම මට ලොකු සහ‍යක් ලැබුණා.පවුලේ මම තමයි දඟකාරීම චරිතය වුනේ. ගැහැනු දරුවෙක් විදිහට මේ ක‍්‍රීඩාවට යොමු වීමේ ආරම්භයේ දී නම් දෙමව්පියන් ලොකු කැමැත්තක් දැක්වුවේ නැහැ. නමුත් මම දැනගෙන හිටියා මේ ක‍්‍රීඩාවට අවශ්‍යය ශක්තිය මා තුළ තියෙන බව.ඉතින්, අද වන විට ලෝකේ ක‍්‍රීඩාවන් අතර කරාතේ වගේ සටන් කලාවකට විශාල ස්ථානයක් තියෙනවා.මගේ නංගි ජිම්නාස්ටික් හා ඇරොබික් ක‍්‍රීඩිකාවක් විදිහට ඩුබායි කණ්ඩායමේ ක‍්‍රීඩා කරනවා. මගේ අක්කා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ක‍්‍රීඩා කරනවා. ඉතින් පවුල තුළින්ම අපි එකිනෙකා අතර තම තමන්ගේ අංශවලින් ඉදිරියට යන්න තිබුණු තරඟයම ලොකු පිටිවහලක් වුනා.

 

මේ දක්වා ඔබ ලබා තිබෙන ජයග‍්‍රහණ පිළිබඳව සඳහන් කරනවා නම්?

මම ප‍්‍රථම වරට ජාත්‍යන්තර තරඟයක් සඳහා සහාභාගී වෙන්නේ 2002 වසරේ දී. අවුරුදු 8 ක් පමණ වයසෙදි. ඉන්දියාවේ පැවැත්වුනු කරාතේ අනුශුරතා තරඟාවලියක් සඳහා තමයි සහභාගී වුනේ. කරාතේ ක‍්‍රීඩාව තුළ වැඩි වශයෙන්ම දක්ෂතා දක්වන්නේ ආසියනු ක‍්‍රීඩකයන් නිසා ආසියානු ශේණිගත කිරීම් වල ඉහළට පැමිණීම ලෝකය දින්නා හා සමානයි.2015 ආසියානු ශ්‍රේණිගත කිරීම් වල 15 වැනි ස්ථානයට මම පැමිණීම නිසා 2016 අවුරුද්දේ 23 වන ලෝක ශූරතාවලිය සඳහා සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.ඔලිම්පික් ක‍්‍රීඩාවට පසු ලෝකය තුළ පිළිගැනීමට ලක්වන ක‍්‍රීඩා තරඟයකට ඉදිරිපත් වීමට ලැබීම ක‍්‍රීඩිකාවක් වශයෙන් මට අභිමානයක්.ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීම තුල 2015 වසරේ ජනාධිපති සම්මාන උළෙලේ වඩාත් කැපීපෙනෙන ක‍්‍රීඩිකාවට හිමි සම්මානය ලබාගන්නත් මට හැකි වුනා.

 

කාන්තාවකට කරාතේ ක‍්‍රීඩාව තුලින් ලැබෙන ප‍්‍රයෝජන මොනවාද ?

කරාතේ යන අර්ථය වෙන්නෙ නිදහස් අත. මෙහිදී අපි මොනතරම් පීඩාවක් සිදු වුනත් වෙනත් අයෙක්ව නොරිදවා ඉන්න,දරා ගන්න පුරුදු වෙනවා. ඉතින් පෞද්ගලික ජීවිතේදිත් කාන්තාවකට තමන්ට එන ගැටැලූ‍ විසඳා ගැනීමේ දි මුලින්ම තමන් ගැන සිතන්න, ආදරය වෙන්න මේ තුළින් පුරුදු කරනවා වගේම ඉවසීම පුරුදු කරනවා. ජපානයේ පාසල් අධ්‍යාපනය තුළ විනාඩි 45 ක් අනිවාර්යයෙන්ම දරුවන්ට කරාතේ පුරුදු කරනවා.ලංකාවේ පාසල් පද්ධතිය තුළත් මේ ආකාරයේ ක‍්‍රීඩාවක් දරුවන්ට පුහුණු කරවනවානම් පාසල් අධ්‍යාපනය අවසානයේ හොඳ දරුවෙක් ඒ තුළින් බිහිවෙන්න ඉඩ තියෙන ප‍්‍රවණතාවය වැඩි.

 

ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ විශේෂයෙන්ම කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර කිරීම් ගැන කතා කළොත්?

ලෝකයේ බොහෝ අවස්තාවලදි ඇතිවන ගැටළුවක් මේ. නමුත් ක‍්‍රීඩකයෙක් කියන්නේ කායිකව වගේම මානසිකවත් ශක්තිමත්භාවය ඉතාම වැදගත් පිරිසක්. එහිදී ඔවුන් ක‍්‍රීඩාවන්ට අඳින පළඳින ආකාර තුළදි වුනත් බාහිර සමාජය ඔවුන් දිහා වෙනස් විදිහට බලනවානම් ඒක අපහසුවක් වෙන්න පුළුවන්.මොකද ක‍්‍රීඩකයෙක් කියන්නේ තමන්ගේ රට ලෝකයට නියෝජනය කරන චරිතයක්.ඔවුන්ට සමාජය තුළිනුත් අදාළ සහයෝගය, ආශිර්වාදය ලැබෙනවා නම් ඒක ඔවුන්ගේ ගමනට ශක්තියක්.

 

කරාතේ ක‍්‍රීඩාව තුළ භාවිත වෙන විවිධ බෙල්ට් වර්ග පිළිබඳ හැඳින්වීමක් කලොත්?

අපි කරාතේ ක‍්‍රීඩාව අරම්භ කරන්නේ සුදු පටි මඟින්.ක‍්‍රීඩකයාගේ දක්ෂතා දැක්වීම් තුළ ලැබෙන ශ්‍රේණිගත කිරීම් මඟින් තමයි අනෙකුත් වර්ණ පටි ලැබීම සිද්ධ වෙන්නෙ.කහ ,කොළ, දුඹුරු,කළු වගේ වර්ණ අනුපිළිවලින් මේ පටි ලැබෙනවා.පරිවාස කාළ සීමාවකින් පස්සේ ශ‍්‍රී ලංකා කරාතේ සංගමය විසින් පවත්වන තරඟයකට මුහුණ දීලා තමයි ක‍්‍රීඩකයා කළු පටි ලබා ගැනීම සිද්ධ කරන්නේ.නමුත් ජාත්‍යයන්තර වශයෙන් තරඟයකට ඉදිරිපත් වෙන්වනම් ජාත්‍යයන්තර වශයෙන් පිළිගැනීමක් තියෙන බෙල්ට් වර්ගයක් ලබා තිබීම අවශ්‍යය වෙනවා.

 

ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව සඳහන් කරනවා නම්?

ආසියානු ක‍්‍රීඩා තරඟයේ කුමක් හෝ පදක්කමක් ශ‍්‍රී ලංකාවට රැුගෙන එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඔලිම්පික් තරඟවලියක් තුළ ශ‍්‍රී ලාංකික නියෝජනයක් විදිහට පෙනී සිටින්නත් ආසවක් තියෙනවා. වෘත්තීයමය වශයෙන් කරාතේ වගේම ඒ ඔස්සේ ගොඩනගා ගන්න ලැබුණු ප‍්‍රතිරූපය මත මම අදවන විට නිරූපණ ක්ෂේත‍්‍රයට යොමු වෙලා තියෙනවා .ආයතන දෙකක සන්නාම කළමණාකාරිණියක් වශයෙනුත් මම කටයුතු කරනවා. ඒ වගේම ලබන වසරේ සිට මම ජාත්‍යයන්තර පුහුණුකරුවෙක් විදිහට යන්නත් බලාපොරොත්තු වෙනවා.

 

සටහන :- ලෂිණි අතපත්තු

උපුටා ගැනීම :- සිරිකත  online හි පිටිය වැඩසටහනෙනි

වයසට යන්න බයවෙන්නෙපා Read Previous

වයසට යන්න බයවෙන්නෙපා

සා.පෙළට යන දරුවන්ට  සුබ නැකත් Read Next

සා.පෙළට යන දරුවන්ට සුබ නැකත්

Realted Post

Leave a comment