CHUTNEY

‘චට්නි‘ ආසියාතික රටවල ඉතා ප්‍රසිද්ධ ආහාරයක්. මෙය  බත්, පාන්, රොටී, ඉඳිආප්ප ආදිය සමග ආහාරයට ගැනීමට පුළුවන්. මෙවර අප ගෙන එන්නේ ගෙවත්තේ හැදෙන පලතුරුවලින් සාදාගත හැකි චට්නි වර්ග කිහිපයක්.

පිලිස්සූ අඹ චට්නි 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හොඳින් පැසුණු අඹ ගෙඩි 03 ක්
  • බීලූනු ගෙඩි 02 ක්
  • වියළි මිරිස් කරල් 4-5 ක් 
  • සුදු ලූනු ගෙඩි 01 ක්
  • සීනි ග්‍රෑම්  50 ක්
  • ලුණු කුඩු තේ හැඳි  01 ක්
  • ගම්මිරිස් මේස හැන්දක් 

සාදාගන්නා ආකාරය 

අඹ ගෙඩි පොතු සමග ගින්දරට දමා විනාඩි 10ක් පමණ  පුලුස්සා ගන්න.  අඹගෙඩි  නිවුණු පසු පොතු සහ ඇට ඉවත් කර හොඳින් පොඩිකර ගන්න. බීලූනු, සුදුලූනු, මිරිස් කරල්  ඒ ආකාරයෙන්ම විනාඩි පහක් විතර පුලුස්සාගෙන පොතු හැරගන්න. දැන් ඒවා වංගෙඩියකින් හෝ බ්ලෙන්ඩර් එකකින් හොඳින් අඹරා ගන්න. පෑන් එකට තෙල් ස්වල්පයක් දමා රත් කර එයට සාදාගත් ලූනු, සුදුලූනු මිරිස්  මිශ්‍රණය දමා මඳ වේලාවක් රත් කර එයට සීනි, ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. එයට පොඩි කරගත් අඹ එකතු කර විනාඩි පහක් විතර පිසගන්න. හොඳින් පිරිසුදු කර ගත්  වියළි බෝතලයක දමා  ශීතකරණයේ  තබන්න. 

බිලිං චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අමු බිලිං ග්‍රෑම් 500 ක්
  • මිරිස් කුඩු  මේස හැඳි 2 ක් 
  • සීනි මේස හැදි 4-5 ක්
  • ලුණු කුඩු  තේ හැඳි 1 ක්
  • බීලූනු ගෙඩි 1 ක්
  • සුදුලූනු බික් 3 ක්

සාදාගන්නා ආකාරය 

බිලිං ගෙඩි කුඩාවට කපාගන්න. බීලූනු, සුදුලූනු හොදින් බ්ලෙන්ඩ් කරගන්න.  තෙල් ස්වල්පයක් දමා රත්කරගත් පෑන් එකකට ඉහත මිශ්‍රණය දමා රත් කර එයට බිලිං  සීනි, මිරිස් කුඩු, ලුණු එක්කර හොඳට කවලම් කරන්න. එම මිශ්‍රණය වැසෙන තරමට වතුර දමා තම්බාගන්න. හැන්දකින් බිලිං හොඳින් පොඩි කරන්න. මිශ්‍රණය ක්‍රීම් එකක් ආකාරයට හොදින් තැම්බුණු පසු ලිපෙන් බාගන්න

කාමරංකා චට්නි 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හොඳින් පැසුණු කාමරංකා ගෙඩි 04 ක්
  • සූදුරු තේ හැඳි  1 ක්
  • අබ ඇට තේ හැඳි 1 ක් 
  • බැදපු තුනපහ තේ හැඳි 2 ක්
  • හොඳින් තළාගත් ඉඟුරු කෑල්ලක් 
  • සීනි මේස හැඳි  2 ක් 
  • ලුණු තේ හැඳි 1 ක්
  • ගම්මිරිස් මේස හැඳි 1 ක්

සාදාගන්නා ආකාරය 

කාමරංකා ගෙඩිවල දාරය සහ ඇට ඉවත් කර සාමාන්‍ය ප්‍රමාණයේ කැබලිවලට කපා ගන්න.පෑන් එකක් ලිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් දමා රත්වන විට එයට සූදුරු, අබ ඇට දමා රත්වෙන්න හැර එයට කාමරංකා දමාගන්න. එයට අනෙකුත් ද්‍රව්‍යද දමා හොඳින් කවලම් කර වතුර ස්වල්පයක් දමා පියනකින් වසා අඩු ගින්දරේ තම්බාගන්න.
විනාඩි 45ක් පමණ විටින් විට කවලම් කරමින් පැසෙන්නට හරින්න. ලිපෙන් ඉවතට ගෙන නිවුණු පසු ජීවාණුහරණය කරගත් බෝතලයකට දමා හොඳින් වසා තබන්න.

ඇඹුල් අඹ චට්නි 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කුඩා තීරු වලට කපාගත් අඹ ග්‍රෑම් 300ක්
  • විනාකිරි මේස හැඳි 4 ක්
  • සීනි මේස හැඳි 2 ක් 
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • ඉඟුරු කුඩා කැබැල්ලක් 
  • ලුණු තේ හැඳි 1 ක්
  • මිරිස් කුඩු ග්‍රෑම්  25 ක්
  • ගම්මිරිස් මේස හැඳි 01 ක්

සාදාගන්නා ආකාරය 

මුලින්ම අඹ ටික මැටි භාජනයකට දමා එයට සීනි හැර විනාකිරි ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය දමා හොඳින් කවලම් කරන්න. එම මිශ්‍රණය විනාඩි 15ක් පමණ ලිපෙන් තබා මඳගින්නේ රත් කරන්න. විනාඩි දහයකට වරක් පියන ඇර හොඳින් කවලම් කරගන්න. අඹ කැබලි හොඳින් තැම්බී දියවෙන තෙක් වරින් වර කවලම් කරමින් තම්බා ගන්න. ඉන්පසු එයට සීනි එක්කර හොඳින් සීනි දියවුණු පසු ලිපෙන් බාන්න. මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත් බෝතලයකට දමා හොඳින් වසා තබන්න.  සීනි මුලින් එකතු කළොත් චට්නිවල රසයේ මෙන්ම පැහැයේද වෙනසක් වේ. චට්නි වර්ග සෑදීමට මැටි වළඳක් භාවිත කරන්න. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Previous

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක් Read Next

උත්තරීතර නායකයාගේ මරණයට පළිගැනීමක්

Realted Post

Leave a comment