අවුරුදු කෑම මේසය

සිංහල  කහ බත

අවශ්‍ය ද්‍රව්‍ය
සම්බා හෝ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1 ක්
පොල් කිරි අඬුකෝප්ප 1 ක්
කහ කුඩු තේ හැඳි  1  ක්
සුදු ලූනු ටිකක්
සිහින්ව කපාගත් බීලූනු ගෙඩි  2 ක්
රම්පේ කැබලි 2 - 3 ක්
කුරුඳු පොතු කැබැල්ලක්
කරාබු නැටි 5 - 6 ක්
බටර් ග්‍රෑම්  50 ක්
පොල්තෙල් මේස හැන්දක්
සාදාගන්නා ආකාරය
සහල් සෝදාගන්න. ඉන්පසු බත පිස ගන්නා භාජනයට බටර් ටික දමා හොඳින් රත් කරගෙන එයට තෙල් එකතු කරන්න. දැන් එයට කපාගත් බීලූනු එකතුකර රන්වන් පැහැය එනතුරු බැදගන්න. දැන් එයට සුදුලූනු, කහකුඩු එකතුකර හොඳින් කවලම් කරගන්න. කරාබුනැටි හොඳින් කුඩුකර එයට එකතුකර ගන්න. දැන් එයට සෝදාගත් සහල් එකතු කර කවලම් කර පොල්කිරි එකතු කර විනාඩි පහක් පමණ තම්බා ගන්න. ඉන්පසු අවශ්‍ය  ප්‍රමාණයට වතුර, රම්පේ කැබලි, ලුණු එකතු කර මඳගින්නෙන් බත පිසගන්න.

 

මසාලා රස එළවළු බත්

අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හෝ කීරි සම්බා බත් ග්‍රෑම් 350 ක්
සිහින්ව කපාගත් බීලූනු ගෙඩි 1 ක්
කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 1 ක්
කොටු හැඩට කපාගත් අල ගෙඩියක්
කැරට් අලයක්
බෝංචි කරල් 5 -  6 ක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 ක්
සූදුරු කුඩු තේ හැඳි 1 ක්
කහකුඩු තේ හැඳි 2 ක්  
ගරම් මසාලා කුඩු තේ හැඳි 2 ක්  
බටර් මේස හැඳි 3 ක්
සාදාගන්නා ආකාරය
බටර් ටික පෑන් එකකට දමා එයට බීලූනු එක් කර කවලම් කරගන්න. දැන් එයට ඉඟුරු, සුදු ලූනු, පේස්ට් මේස හැන්දක් එක් කරගන්න. පසුව එයට සූදුරු කුඩු, කොත්තමල්ලි කුඩු,  කහකුඩු, ගරම් මසාලා කුඩු සහ කහකුඩු එකතු කරගෙන හොඳට කවලම් කරන්න, ඉන්පසු තක්කාලි ටික එකතු කරන්න, එයට කපාගත් එළවළු කවලම් කර වතුර ස්වල්පයක් එක් කර විනාඩි පහක් පමණ වසා තම්බාගන්න. පසුව එයට බත් ටික එකතු කර හොඳට කවලම් කර තිබෙනවා නම් කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ ටිකක් එක්කරන්න.

කුකුළු මස් මිශ්‍ර ගීම බත් 

අවශ්‍ය ද්‍රව්‍ය 
කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 300 ක් 
කීරි සම්බා හාල්  කිලෝ 1 ක් 
ගී මේස හැඳි 2 ක් 
බීලූනු ගෙඩියක් 
ලුණු අවශ්‍ය පමණ
පොල් කිරි අඬු කෝප්පයක්
වතුර අවශ්‍ය ප්‍රමාණයට 
මීකිරි මේස හැඳි  3 ක්
සූදුරු කුඩු තේ හැන්දක් 
කහකුඩු තේ හැඳි 2 ක්  \
සාදාගන්නා ආකාරය 
මුලින්ම කපාගත් චිකන් ටිකට මීකිරි, ලුණු කුඩු, කහ කුඩු, සූදුරු කුඩු  එක්කර හොඳින් කවලම් කර විනාඩි 15ක් වසා තබාගන්න. දැන් බත සාදාගන්නා භාජනයට තෙල් ටිකක් දමා චිකන් ටික රන්වන් පැහැයට එනතුරු බැදගන්න. පසුව එම ටික ඉවත්කර එම තෙල් ටිකටම බීලූනු දමා රන්වන් පැහැය එනතුරු මඳගින්නේ බැදගන්න. දැන් එයට සෝදාගත් හාල් එක් කර හොඳින් කවලම් කර පොල් කිරි ටික එක් කර අප කලින් බැදගත් චිකන් ටික උඩින් දමාගෙන විනාඩි පහක් පමණ තම්බාගන්න. දැන් වතුර අවශ්‍ය ප්‍රමාණයට එක්කර බත පිසෙන තුරු මඳගින්නෙන් තම්බාගන්න. බත පිසෙන විට ගී එකතු කරගන්න. හොඳින් බත තැම්බුණු පසු ලිපෙන් බාගෙන ඊට උඩින් බැදගත් කරපිංචා ටිකක් එකතු කරන්න.

මිශ්‍ර මොංගෝලියන් රයිස් 

අවශ්‍ය ද්‍රව්‍ය 
පිසගත් බාස්මතී හෝ කීරි සම්බා බත් ග්‍රෑම් 300 ක් 
සෝයා සෝස් මේස හැඳි 3 ක් 
ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක් 
කටු ඉවත්කරගත් චිකන් හෝ මාළු
කොටු කපාගත් බීලූනු ගෙඩියක් 
කපාගත් තක්කාලි ගෙඩියක් 
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම්  80 ක් 
කුඩාවට කපාගත් ලූනු කොළ හෝ ලීක්ස් ටිකක් 
ඉඟුරු, සුදුලූනු පේස්ට් මේස හැන්දක් 
සාදාගන්නා ආකාරය 
මස් සහ මාළුවලට ලුණු, දෙහි, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් මේස හැන්දක් වතුර දමා අතගාගෙන වෙන වෙනම බැදගන්න. දැන් නොඇලෙන භාජනයකට තෙල් ටිකක් දමා එයට ඉඟුරු සුදුලූනු පේස්ට් එක දමන්න. එයට කැරට් ටික එකතුකර බත් ටිකත් එක් කර ඇට වෙන්වෙන විදිහට කවලම් කරගන්න. දැන් එයට බැදගත් මස් සහ මාළු එකතු කර ඉතිරි සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් ටික එකතු කරන්න. හොඳින් කවලම් කරගන්නා අතරේ කපාගත් බී ලූනු, තක්කාලි එකතු කරගන්න. ලූනු කොළ ටික එකතු කර ඉක්මනින් ලිපෙන් බාගන්න. 

          

 

 

MY STYLE with   ටනාෂා Read Previous

MY STYLE with ටනාෂා

MY STYLE with   ටනාෂා Read Next

MY STYLE with ටනාෂා

Realted Post

Leave a comment