උඳු පිටි රස දෙන හැටි

උඳු ප්‍රෝටීන් බහුල ආහාරයක්. බෝනොවන රෝගවලින් පෙළෙන බොහෝ දෙනෙකුට  ගුණ ලබාදෙන විශේෂ ආහාරයක්. මෙවර සූදානම්වන්නේ උඳුවලින් හදන ආහාර පෙළක්ම රස බලන්නයි.  

 


ඉට්ලි

අවශ්‍ය ද්‍රව්‍ය
උඳු ග්‍රෑම් 250 ක්
රුලං ග්‍රෑම් 500 ක්
සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 7--8 ක්
උළුහාල් ඇට තේ හැඳි 1 ක්
ලියාගත් රම්පේ කරපිංචා කොළ ස්වල්පයක් 
අබ ඇට තේ හැඳි 1/2 ක් 
තෙල් මේස හැඳි 3 ක්
ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය
උඳු පැය 1-2 ක් වතුර දමා පොඟවන්න. එය ඉවතට ගෙන  වතුර ස්වල්පය බැගින් දමා බ්ලෙන්ඩරයෙන් අඹරන්න. රුලං ටික තරමක් කබලේ බදින්න. අඹරාගත් උඳු එකට බැදගත් රුලං, වතුර ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එකතු කර මිශ්‍රණය වැක්කෙරෙන ප්‍රමාණයට මිශ්‍ර කරන්න. දැන් සාස්පානකට තෙල් දමා තෙල් රත්වන විට රම්පේ, කරපිංචා, ලූනු, අබ, උළුහාල් එකතු කර තෙම්පරාදු කර උඳු මිශ්‍රණයට එකතු කර පැය 1 1/2 ක් තබා  ඉට්ලි තම්බන තැටියට දමා  තම්බන්න.

 

 

උළුඳු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය
උඳු ග්‍රෑම් 500 ක්
ලියාගත් රතුලූනු ග්‍රෑම් 100 ක්
වියළි මිරිස් කරල් 5----6 ක් (කුඩාවට ලියන්න)
රම්පේ කරපිංචා  මේස හැඳි 2 ක්  (කුඩාවට ලියන්න) 
 ලුණු තේ හැඳි 1 ක්
 බැදීමට තෙල්

 සාදන ක්‍රමය
උඳු ඇට පැය 3 ක් පමණ පෙඟෙන්න තබන්න. හොඳින් පෙඟුණු පසු වතුර ඉවත් කර  ගනවට ගුළියක් ආකාරයට අඹරන්න. මෙය අඹරන විට ගල් වංගෙඩියක් ඇත්නම් ගල් වංගෙඩියට දමා මිරිස් ගලේ අත් ගලෙන් කරකවමින් අඹරන්න. අඹරාගත් මිශ්‍රණය ඉවතට ගෙන වතුර ටිකක් දමා කලවම් කර අනන්න. ලියාගත් ලූනු, රම්පා, කරපිංචා, වියළි මිරිස් කරල් දමා මිශ්‍රකර පැය 4 ක් පිපෙන්න තබන්න. කෙසෙල් කොළයක් ගෙන තෙල් ටිකක් ගා උඳු මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා කෙසෙල් කොළයේ තබා අතින් තදකර එහි මැද සිදුරක් සාදා සාමාන්‍ය ගින්දරේ ස්වල්ප වේලාවක් තැම්බෙන්න හැර ලිපෙන් ඉවතට ගන්න. නැවතත් බැදගත් උළුදු වඩේ නැවත වරක් රත් වූ තෙලට දමා රන්වන් පාටට බදින්න. 

 

 

උඳු වළලු

අවශ්‍ය ද්‍රව්‍ය
 සුදු කැකුළු හාල් කොටා කෝප්ප 2 ක්
 උඳු කෝප්ප 1 ක්
 පැණි බෝතල් 1 ක් 

 සාදන ක්‍රමය
උඳු ඇට පැය 2 ක් පමණ වතුර දමා පෙඟෙන්න හැර වතුර ඉවත් කර බ්ලෙන්ඩරයට දමා  උකුවට අඹරන්න. අඹරාගත් මිශ්‍රණය ඉවතට ගෙන හාල් පිටි එකතු කරන්න. මෙය ගනකම් දියරයක් ආකාරයට සකස් කර පැයක් පමණ තබන්න. පැණි ටික තරමක් රත් කරන්න. උඳු වළලු සාදා ගැනීම සඳහා රෙදි කැබැල්ලක බොත්තම් කාසයක් මසන්න. නැතිනම් අයිසින් ගොටුවකට ඉරි සහිත නොසලයක් දමා සකස් කරගන්න. පැතලි බඳුනක් ගෙන එයට තෙල් දමා ලිප තබා සාමාන්‍ය ගින්දරේ තබා රත්වන විට උඳු මිශ්‍රණය  සිදුරු සහිත රෙද්දට  දමා හෝ  නොසලය සහිත ගොටුවට දමා රත් වූ තෙලට රවුමට වත් කරන්න. එය තරමක් බැදී එනවිට උණු කර ගත් පැණිවලට දමන්න. මේ ආකාරයට  සාදා ගත් පැණි වළලු ටික පැණියේ දමා රැයක් තබා ඉවතට ගත් විට පැණි හොඳින් වළලුවලට අල්ලයි. 

පුෂ්පා රණවීර


 

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

එයාලා නැති වුණාම අපි විදවනවා. වැඩිම කාලයක් ජීවත් වන බව්වන් කවුද බලමු Read Next

එයාලා නැති වුණාම අපි විදවනවා. වැඩිම කාලයක් ජීවත් වන බව්වන් කවුද බලමු

Realted Post

Leave a comment