කටට රහට උදේ කෑම

 

 

වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග විදුලිය, ගෑස් පිරිමහ ගන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් උදෑසන ආහාරයක් තමයි සම්බෝලයි බතුයි. ඒත් ඉතින් හැමදාම එහෙම කන්නත් බෑනේ. ගෙදර පොඩි දරුවො ඉන්නවා නම් ටිකක් වෙනස් විදියට වෙනස් රසවලට කෑම හදලා දුන්නොත් තමයි එයාලටත් කෑම කවාගන්න පහසු වෙන්නේ. රටේ තියෙන තත්ත්වෙත් එක්ක වෙනදා වගේ සුපිරි විදියට කටට රසට කන්න බොන්න බැරිවුණාට අපේ පෝෂණය ගැන කිසිම වෙලාවක ගණන් නොගෙන සිටීම නම් යහපත් නැහැ. හරි හමන් පෝෂණයක් නොලැබුණොත් ඉක්මනට ලෙඩ වෙන්න වගේම දරුවන්ට පෝෂණ ඌනතා ඇතිවෙන්නත් එය බලපානවා.

මේ දිනවල පහසුවෙන් රසට හදාග න්න පුළුවන් කෑම අතර පෝෂණ ගුණය අතින් ඉහළ, ලේසියෙන් හදාග න්න පුළුවන් හීල් බත් ධාන්‍ය සලාදය කදිම කෑමක්. මේක හදාගන්න කලින් දවසේ රෑ පහුවදා උදේටත් එක්ක බත් ටිකක් ලිපේ තියාගත්ත නම්, එහෙම නැතිනම් කලින් දවසේ රෑ ඉතිරිවුණු බත් මේකට ගත්ත නම් ගෑස්, විදුලිය ඉතිරි කරගන්නත් පුළුවන්. රතු බත් ගන්න පුළුවන් නම් පෝෂණ ගුණය තවත් වැඩියි.

 

හීල් බත් ධාන්‍ය සලාදය

උපදෙස් සහ 
ඡායාරූප සූප පර්යේෂිකා පංචමී හේවාවිසෙන්ති

අවශ්‍ය ද්‍රව්‍ය
රතු බත් කෝප්පයක්
තම්බාගත් කඩල කෝප්ප 1/4 ක්
තම්බාගත් මුංඇට කෝප්ප 1/4 ක්
තම්බාගත් ඉරිඟු කෝප්ප 1/ 4 ක්
රතු ලූනු ගෙඩි 4 ක්
අමුමිරිස් කරලක් හෝ දෙකක්
ගම්මිරිස් කුඩුතේ හැඳි 1/4 ක් 
තක්කාලි ගෙඩියක්
බෙල් පෙපර්
ඔලිව් ගෙඩි කිහිපයක්
සුදු ලූනු බික් 2 ක්
මාළු මිරිස් කරලක්
කැරට් අලයක්
පිපිඤ්ඤා ගෙඩියකින් 1/4 ක් පමණ
කොත්තමල්ලි කොළ කිහිපයක්
ඔලිව් තෙල් තේ හැන්දක්
මාගරින් තේ හැන්දක්
දෙහි යුෂ
ලුණු

 

 

හදන හැටි
පෙරදා රාත්‍රියේ මුංඇට, කඩල සහ ඉරිඟු ඇට වතුරේ දමා පසු දා උදේ එකම භාජනයකට දමා තම්බා ගන්න. ප්‍රෙෂර් කුකරයකින් තම්බා ගන්නේ නම් ගෑස් ඉතිරි කරගන්න පුළුවන්. පෝසිලේන් හෝ මැටි භාජනයකට ඔලිව් තෙල් සහ මාගරින් එක්කර ගන්න. එයටම දෙහි මිරිකා ගන්න. ගම්මිරිස් කුඩු සහ ලුණු ද එක්කර ගෑරුප්පුවකින් හොඳින් කලවම් කරගන්න. සුදු ලූනු සිහින්ව තළාගෙන එම මිශ්‍රණයටම එක්කර ගන්න. ඉන්පසු ලූනු, තක්කාලි, පිපිඤ්ඤා, මාළු මිරිස්, බෙල් පෙපර්, කැරට්, ඔලිව් ගෙඩි සහ කොත්තමල්ලි කොළ සිහින්ව කපාගෙන එයටම එක් කරගන්න. මෙය හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු හීල්බත්, තම්බාගත් ධාන්‍ය එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. රස පමණ ලුණු ඇඹුල් සහ මිරිස් අඩු වැඩි කරගන්න.


 

බ්‍රවුන් බ්‍රෙඩ් ඔම්ලට්

ඉතා කෙටි කාලයකින් සකසා ගත හැකි රසවත් වගේම සෞඛ්‍යයට හිතකර පෝෂණය කැටිවුණු උදෑසන ආහාරයක් ලෙස බ්‍රවුන් බ්‍රෙඩ් ඔම්ලට් හඳුන්වන්න පුළුවන්. විදුලිය, ගෑස් පිරිමහගන්න ගමන් කටට රසට ගුණදායක කෑම වේලක් හදා ගැනීම මේ කාලෙ හැටියට ඉතාම වැදගත්. පොඩි දරුවන් වගේම වැඩිහිටියනුත් ඉතාම ආසාවෙන් රස බලන කෑමක් තමයි බ්‍රවුන් බ්‍රෙඩ් ඔම්ලට් කියන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 2 ක්
බ්‍රවුන් බ්‍රෙඩ් පෙති 2 - 3 ක්
තක්කාලි ගෙඩි 1/2 ක්
අමුමිරිස් කරලක්
ලූනු බෑයක්
මිරිස් කුඩු ස්වල්පයක්
කහ කුඩු ඉතා ස්වල්පයක්
තුනපහ කුඩු ස්වල්පයක්
කොත්තමල්ලි කොළ හෝ නිවිති 
කොළ
ලුණු රස පමණට
බටර්, මාගරින් හෝ තෙල් තේ හැඳි 2 ක්

 

හදන හැටි
බිත්තර දෙක කඩා භාජනයකට දමාග න්න. එයට ලුණු, කහ කුඩු, තුනපහ කුඩු සහ මිරිස් කුඩු එක්කර ගෑරුප්පුවක් භාවිතයෙන් හොඳින් ගසාගන්න. ලූනු, අමුමිරිස්, තක්කාලි සහ කොත්තමල්ලි කොළ (හෝ නිවිති කොළ 2 ක් පමණ) සිහින්ව කපාගෙන ගසාගත් බිත්තර මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න. දැන් මෙම මිශ්‍රණය පැතලි පිඟානකට දමන්න. භාජනයක් (නොන්ස්ටික් පෑන් එකක් නම් වඩා සුදුසුයි) ලිපේ තබා තෙල්, මාගරින් හෝ බටර්වලින් කොටසක් (තේ හැන්දක පමණ ප්‍රමාණයක්) එක්කර රත් කරගන්න.

පාන් පෙත්තක් ගෙන බිත්තර මිශ්‍රණයේ හොඳින් පොඟවා ගන්න. හැන්දකින් හෝ ගෑරුප්පුවකින් බිත්තර මිශ්‍රණයේ ඇති එළවළු පාන් කෑල්ල මත තවරා ගන්න. තෙල් රත්වුණු පසු බිත්තර මිශ්‍රණය තවරාගත් පාන් කෑල්ල පෑන් එකට දමා දෙපසම මාරුවෙන් මාරුවට දමා බැදග න්න. පාන් කෑල්ලේ යට පැත්තට තෙල් හොඳින් වැදී තිබෙන නිසා උඩ පැත්ත යටට හැරවූ පසු තාච්චියේ තෙල් නැති නිසා කරවෙන්න පුළුවන්. ඒ නිසා හරවන්න කලින් මාගරින් ටිකක් පාන් පෙත්තේ උඩ පැත්තෙත් තවරාගෙන අවශ්‍ය ප්‍රමාණයට බැදග න්න.

බිත්තර ඉක්මනින් කරවෙන්න බලන නිසා මඳගින්නේ බ්‍රෙඩ් ඔම්ලට් සකසා ගන්න. බිත්තර කරවෙන්න කලින් පාන් කෑල්ල පිටතට ගන්න. පිපිඤ්ඤා සහ තක්කාලි පෙති කිහිපයක් සමග උණු උණුවේම පිළිග න්වන්න.

නයනා උදයංගනී

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න Read Previous

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න

අපි නිදහස්ද Read Next

අපි නිදහස්ද

Realted Post

Leave a comment