කරවල රස වැඩිකරන වෑංජන

 

කරවල ප්‍රෝටීන් බහුල ආහාරයක්. කරවල බැදුම හෝ හොද්ද බත්පතට ගෙන එන්නේ ඉමිහිරි රසයක්. කරවල එකතු කිරීමෙන් තවත් වෑංජන රසවත් කරගත හැකියි. කරවල තනිකරම හදනවාට වඩා තවත් දේවල් එකතු කර සාදා ගැනීමටත් පුළුවනි. මේ එවැනි  රස මවන  කරවල වෑංජන කිහිපයක්.

 

කෙසෙල් මුහ මිශ්‍ර කරවල වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය 
කෙසෙල් මුහ ග්‍රෑම් 500 ක්
රතුලූනු ගෙඩි 6 ක්
කරවල ග්‍රෑම් 50/60 ක්
ලියාගත් ඉඟුරු තේ හැඳි 1 ක්
ලියාගත් සුදුලූනු තේ හැඳි 1 ක්
රම්පා, කරපිංචා ටිකක්
ලුණු, තේ හැඳි 1 1/2 ක්
ගම්මිරිස් තේ හැඳි 1 1/2 ක්
අමුමිරිස් කරල් 3 ක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
උළුහාල් තේ හැඳි 1/4 ක්
අඟලක කුරුඳු කැබලි 1 ක්
අබ ඇට තේ හැඳි 1 ක්
සියඹලා යුෂ ස්වල්පයක්
තුනපහ කුඩු මේස හැඳි 1/2 ක්
පොල් කිරි කෝප්ප 1 ක්
තෙල් මේස හැඳි 2 ක්
කැබලි මිරිස් තේ හැඳි 1/2 ක්


සාදන ක්‍රමය
පළමුව කෙසෙල් මුහයේ උඩ පොත්ත ගලවා සෝදා කපන්න. එයට කහ, ලුණු මිශ්‍ර වතුර දමා මිශ්‍ර කරන්න. ඔබ කැමති කරවල වර්ගයක් ගෙන සෝදා පිරිසුදු කර කහ ස්වල්පයක් දමා අතගා පසෙකින් තබන්න. මැටි ඇතිළියක් ළිප තබා අඩු ගින්දරේ තබා තෙල් දමා රත්වන විට අබ ඇට දමා පුපුරන විට කුරුඳු, රම්පා, කරපිංචා. උළුහාල්, සුදුලූනු, ඉඟුරු  දමා බදින්න. එයට කපාගත්, රතුලූනු, අමුමිරිස් දමා ලුණු යන්තමට ඉස  හොඳින් කලවම් කරන්න.  දැන් කපාගත් කෙසෙල් මුහ එකතු කර  තුනපහ කුඩු, ගම්මිරිස් කහ, මිරිස් සමග කැබලි මිරිස් ද මිශ්‍රකර වතුර කෝප්ප 1/2 ක් දමා මඳගින්දරේම පිසින්න. අවසානයේ සියඹලා යුෂ දමා පොල් කිරි එකතු කර හොද්ද හොඳින් උතුරන විට  ලිපෙන් ඉවතට ගන්න.


 

 


කරවල සමග වම්බටු

අවශ්‍ය ද්‍රව්‍ය 
ලොකුලූනු ගෙඩි 2 ක්
වම්බටු ගෙඩි 4 ක්
කරවල ග්‍රෑම් 60 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
තුනපහ කුඩු තේ හැඳි 1 ක් 
කහ කුඩු තේ හැඳි 1/4 ක් 
පොල් බෑයක මිටිකිරි සහ දෙවන කිරි
අමුමිරිස් කරල් 2/3 
ලුණු රසයට
කරපිංචා ටිකක්


සාදන ක්‍රමය
පළමුවෙන්ම වම්බටු අවශ්‍ය ප්‍රමාණයට  ලොකු කැබලිවලට කපා සෝදන්න. එයට කහ ස්වල්පයක් එකතු කොට පසෙකින් තබන්න.  පසුව කරවල ටික සෝදා  තුනපහ, මිරිස් කුඩු,  කරපිංචා, අමුමිරිස්, කහ දමා ලුණු රසයට පොල් කිරි එකතු කර  පසෙකින් තබාගත්  වම්බටු ටික  කරවල එකට මිශ්‍රකර  ලිප මත තබා පියනකින් වසා පිසින්න. විනාඩි 5කින් පසුව  පියන විවෘත කර වම්බටු එක හැන්දකින් පෙරලන්න. ඉන්පසු  නැවත පියනෙන් වසා  තැම්බෙන්න හරින්න. නැවත බඳුනක් ලිප තබා තෙල් මේස හැඳි 2 ක් දමා රත්වන විට  ලොකුලූනු,  සුදුලූනු,  රම්පා, කරපිංචා, දමා හොඳින් සුවඳ වන තෙක් බැදගන්න. ඉන්පසු එයට කැබලි මිරිස්, තේ හැඳි 1 ක් එකතු කර පිසගත් බම්බටු වෑංජනය දමා කලවම් කර  ලිපෙන් ඉවතට ගන්න.


 

 

කට්ටකරවල මිශ්‍ර නෙළුම් අල බැදුම

 
අවශ්‍ය ද්‍රව්‍ය
නෙළුම් අල කිහිපයක්
කුඩාවට කපාගත් කට්ට කරවල ග්‍රෑම් 50 ක්
කරපිංචා හෝ කතුරු මුරුංගා කොළ කිහිපයක්
සිහින්ව පෙති කපාගත් සුදුලූනු ගෙඩි 2 ක්
සිහින්ව පෙති කපාගත් ලොකුලූනු ගෙඩියක්
කෑලි මිරිස් තේහැදි 2 1/2
දෙහි ගෙඩියක යුෂ
ලුණු කුඩු ස්වල්පයක්
බැදීමට තෙල්


සාදන ක්‍රමය
නෙ`ඵම් අල පිහි තුඩකින් ශුද්ධ කර සිහින් පෙති කපා මඩ ඉවත් වීමට ලුණු වතුරේ විනාඩි 10 ක් පමණ පොඟවා ගන්න. එහි ඇති මඩ ඉවත් කිරීමට කිහිප වතාවක් සෝදන්න. මෙහි තෙත ඉවත් වීමට කිචන් ටවල් එකක් මත දමා තෙත මාත්තු කරන්න.  කරවල ද සෝදා දිය බේරෙන්න තබන්න.  කරපිංචා ද සෝදා දිය බේරෙන්න තබන්න. බඳුනක් ලිප තබා තෙල් දමා රත්වන විට  කරපිංචා ටික සහ  සිහින්ව කපාගත්  ලූනු සහ සුදුලූනු ටික දමා බදින්න. ඉන්පසු එය ඉවත් කොට  කුඩාවට කපාගත් කරවල දමා බදින්න. අවසානයට නෙ`ඵම් අල දමා බදින්න. තෙල් ඉවත් වීමට ටික වේලාවක් තබා  සියල්ල එකට එකතු කර ලුණු කුඩු කෑලි මිරිස් සහ දෙහි දමා බත් සමග හෝ කට ගැස්මක් ලෙස ආහාරයට ගන්න. 

පුෂ්පා රණවීර 



 

 

ලොව ළාබාලතම බිලියනපතිනිය Read Previous

ලොව ළාබාලතම බිලියනපතිනිය

අම්මයි  බබයි දෙන්න ම අවදානමේ  වැදෑමහේ ගැටලු Read Next

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

Realted Post

Leave a comment