කොල, මල්, කරල් රස මවනා මුරුංගා

‘මුරුංගා කිරි හොද්ද’ කවුරුත් කැමති වෑංජනයකි. ගුණයෙන්ද ඉහළ මුරුංගා කරල් පමණක් නොව එහි මදය, මල් සහ කොළවලින්ද ඉතා රසවත් ආහාර පිළියෙල කළ හැකිය. මේවායේ ප්‍රධාන විශේෂත්වය වන්නේ  ගුණයෙන් ඉතා ඉහළ අගයක් ගැනීමයි. මේ දිනවල පවතින මස්, මාළු, බිත්තර වල මිල අධික වෙනුවට යකඩ සහ විටමින් වර්ග ලබා ගැනීමට මුරුංගා ආහාර ඉතා හොඳ ආහාරයක් වේ.

 

 

මුරුංගා බැදුම
 
අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා කරල් 10 ක මදය
ලොකුලූනු ගෙඩි 3 ක්
අමුමිරිස් කරල් 6 ක්
සුදුලූනු පොඩි ගෙඩි 3 ක්
උම්බලකඩ තේ හැඳි 2 ක්
තක්කාලි ගෙඩි 2 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
කහ තේ හැඳි  1/4 ක්
කෑලි මිරිස් තේ හැඳි 1 ක්
පොල් තෙල් මේස හැඳි 3 ක්
රම්පා, කරපිංචා ටිකක් 
ලුණු රසයට
සාදන ක්‍රමය
මුරුංගා කරල දෙකට පළන්න. එහි ඇට සමග මදය සූරන්න. තාච්චියක් ලිප තබා තෙල් දමා රත්වන විට සුදුලූනු එකතු කර එයට රම්පේ, කරපිංචා දමා කලවම් කරන්න. ලොකුලූනු, අමුමිරිස්, උම්බලකඩ එකතු කරන්න. ලූනු තැම්බුණු පසු තක්කාලි දමා කලවම් කරන්න. දැන් සූරාගත් මුරුංගා මදය එකතු කරන්න.  මඳ ගින්දරේ තබා  මූඩියෙන්  වසන්න.  නැවතත් පියන ඇර ලුණු, කහ සහ ගම්මිරිස් එකතු කර කලවම් කර  අවසානයට කෑලි මිරිස් එකතු කරන්න.  ටික වේලාවකින් ලිපෙන් ඉවතට ගන්න. 

 

මුරුංගා මද මැල්ලුම

 අවශ්‍ය ද්‍රව්‍ය 
මුරුංගා කරල් 10 ක්
කලටි පොල් බෑයක පොල්
කුඩා රතුලූනු ගෙඩි 7-8 ක්
අමුමිරිස් කරල් 6 ක් පමණ
කරපිංචා රම්පා  ටිකක්
කහ කුඩු ස්වල්පයක්
ලුණු රසයට
 සාදන ක්‍රමය
මුරුංගා මදය සූරන්න. අමුමිරිස් කරල්වලින් 2 ක් පසෙක තබන්න.  පොල්, රතුලූනු,  ඉතිරි අමුමිරිස්, කහ, ලුණු දමා ගලේ අඹරන්න. ගලේ අඹරා ගත් මිශ්‍රණය පසෙක තබා ගල සෝදා එම වතුර මැටි හට්ටියකට දමන්න. එයට සූරාගත් මුරුංගා මද දමන්න. එයට ලුණු ටිකක්, ඉතිරි අමුමිරිස් කරල් 2 කපා කරපිංචා රම්පා, කහ  එකතු කර තම්බන්න.  අඹරාගත් පොල් දමා  විනාඩි 2ක් මඳ ගින්දරේ  වසා තබන්න.  ඉන්පසු  මූඩිය  ඉවත් කර කූරුගා ලිපෙන් බාන්න. 

 


මුරුංගා මල් මැල්ලුම
 
අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා මල් ග්‍රෑම් 100 ක්
කළටි පොල් බෑයක්
රතුලූනු ගෙඩි 5-6 ක්
අමුමිරිස් කරල් 2-3 ක්
කරපිංචා ඉත්තක්
කහ කුඩු තේ හැඳි 1/4 ක්
ලුණු අවශ්‍ය තරමට
සාදන ක්‍රමය
මුරුංගා මල් සෝදා වතුර බේරෙන්න තබන්න.  රතුලූනු, පොල්, අමුමිරිස්, කහ, ලුණු සමග  පොල් දමා  ගලේ අඹරන්න. ගල සෝදා එම වතුර  මැටි හට්ටියකට  දමන්න. එයට පොල් මිශ්‍රණය දමා තම්බන්න. මඳ ගින්දරේ විනාඩි 2-3 ක් තබා පොල් මැලවුණු විට කරපිංචා කොළ ටිකක් දමා මුරුංගා  මල් ද එකතු කර කූරුගාන්න.



 

මුරුංගා කොළ සම්බෝලය
 
අවශ්‍ය ද්‍රව්‍ය
 මුරුංගා කොළ ග්‍රෑම් 150 ක්
 කුඩා රතුලූනු ගෙඩි 7- 10 ක්
 අමුමිරිස් කරල් 5-6 ක්
 උම්බලකඩ මේස හැඳි 1 ක්
 දෙහි බෑයක යුෂ
 ලුණු රසයට
 සාදන ක්‍රමය
මුරුංගා කොළ සෝදා වතු බේරෙන්න තබා සිහින්ව ලියන්න. රතුලූනු රවුමට ලියන්න. අමුමිරිස් සිහින්ව ලියන්න. දැන් රතුලූනු, අමුමිරිස්, උම්බලකඩ, ලුණු සහ පොල් එකට එකතු කර අතින් පොඩිකර අනන්න. එයට දෙහි දමා මිශ්‍රකර  අවසානයට මුරුංගා කොළ  දමා පොඩි නොවන ආකාරයට සොලවන්න. එහි උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉසින්න. 

 

 

මුරුංගා කොළ සමග රටකජු බැදුම
 
අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා කොළ ග්‍රෑම් 200 ක්
 අමු රට කජු ග්‍රෑම් 200 ක්
ලොකුලූනු ග්‍රෑම් 500 ක්
උම්බලකඩ මේස හැඳි 3 ක්
කෑලි මිරිස් මේස හැඳි 2 ක්
ලුණු කුඩු
බැදීමට අවශ්‍ය තෙල් 
සාදන ක්‍රමය
රට කජු ගැඹුරු තෙලේ බදින්න.  ලූනු ලියා ගැඹුරු තෙලේ බදින්න. උම්බලකඩ ද ගැඹුරු තෙලේ තරමක් බදින්න. මුරුංගා කොළ තෙලට දමා ගත් විගසම අව පැහැ නොවන ආකාරයට ඉවතට ගන්න. රස්නය තිබියදීම බැදගත් සියල්ල ලුණු සහ කෑලි මිරිස් සමග කලවම් කරන්න. 

 

 

මුරුංගා කොළ සමග වැලි කොස් ඇට

අවශ්‍ය ද්‍රව්‍ය
වැලි කොස් ඇට ග්‍රෑම් 500 ක්
මුරුංගා කොළ ග්‍රෑම් 200 ක් පමණ 
ලුණු රසයට  
සාදන ක්‍රමය 
වැලි කොස් ඇට පොත්ත ඉවත් කර පෙඟෙන්න දමා කුරුට්ට ටිකක් තිබෙන ආකාරයට සෝදන්න. පැයක් පමණ පෙඟුන පසු නැවත හොඳින් සෝදන්න. බඳුනකට කොස් ඇට දමා කොස් ඇට වැහෙන්න වතුර දමා බාගෙට තැම්බෙන විට ලුණු රසයට දමා හොඳින් තම්බා වතුර බේරා ලිප තබා මුරුංගා කොළ කොස් ඇටවලට කලවම් කර ටික වේලාවකින් ඉවතට ගන්න. 


 

මුරුංගා කිරිහොදි

 අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි මුරුංගා ග්‍රෑම් 500 ක්
අමුමිරිස් කරල් 5-6 ක්
රතුලූනු ගෙඩි 7-8 ක්
සූදුරු තේ හැඳි 1 1/2 ක්
රතු කැකු`ඵ හාල් තේ හැඳි 1ක්
පොල් මේස හැඳි 2 ක්
අබ තේ හැඳි 1/4 ක්
රම්පා, කරපිංචා ස්වල්පයක්
උළුහාල් තේ හැඳි 1/4 ක්
කහ කුඩු තේහැඳි 1/4 ක්
මිටිකිරි කෝප්ප 2 ක් 
කුරුඳු පොතු කැබැල්ලක්
ගොරකා ඉත්තක් හෝ දෙහි බෑයක්
ලුණු රසයට 
 සාදන ක්‍රමය
මුරුංගා සෝදා කැබලි කපන්න. එය මැටි ඇතිළියකට දමන්න. එයට රම්පා. කරපිංචා දමන්න. සූදුරු ගලේ අඹරා හට්ටියට දමා කුරුඳු, අමුමිරිස්, රතුලූනු, උළුහාල්, කහ, ලුණු, ගොරකා දමා වතුර එකතු කර ලිප තබන්න. මෙය හොඳින් තැම්බෙන්න හරින්න. තැම්බුණු පසු රතුහාල් ,පොල්, අබ ගලේ අඹරා මිටිකිරිවලට අඹරාගත් පොල් මිශ්‍රණය කලවම් කර මුරුංගාවලට එකතු කරන්න. හොද්ද කැටි නොගැසෙන ආකාරයට හැන්දෙන් කලවම් කරමින් උතුරන විට ලිපෙන් බාන්න. ගොරකා වෙනුවට දෙහි  ඇඹුල් ද ලිපෙන් බාගත් පසු එකතු කළ හැකිය. 

 

මුරුංගාවලින් කට්ලට් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා කරල් 10 ක මදය
අල ග්‍රෑම් 250 ක්
අලු කෙසෙල් ගෙඩි 2 ක්
රතුලූනු ග්‍රෑම්  100 ක්
අමුමිරිස් කරල් 6 - 7 ක්
ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික්  3, 4 ක්
සිහින්ව ලියාගත් කරපිංචා ඉති 2 ක්
උම්බලකඩ  මේස හැඳි 2 ක්
කහ කුඩු ටිකක්
ගම්මිරිස් කුඩු තේ හැඳි  2 ක්
තෙල් මේස හැඳි 2  1/2 ක් 
බිස්කට් කුඩු 
ලුණු රසයට
සාදන ක්‍රමය
මුරුංගා මදය සූරා ලුණු ස්වල්පයක් දමා වාෂ්පයෙන් තම්බන්න. අල සහ අලු කෙසෙල් එකට දමා ලුණු ටිකක් දමා තම්බන්න.  තම්බා ගත් පසු කෙසෙල් පොතු සහ අල පොතු ඉවත් කරන්න. අල සහ අලු කෙසෙල් පොඩි කරන්න. ඉඟුරු, සුදුලූනු සහ කරපිංචා ගලේ අඹරන්න. බඳුනකට තෙල් දමා රත්කර අඹරාගත් ඉඟුරු, සුදුලූනු මිශ්‍රණය එකතු කරන්න.  එය බැදී එනවිට අමුමිරිස් ලූනු, කහ කුඩු, උම්බලකඩ දමා මිශ්‍ර කරන්න. එයට පොඩි කරගත් අල හා අලු කෙසෙල් මිශ්‍රණය දමන්න. මුරුංගා මදය ද පොඩි නොකර එකතු කර අවසානයට ගම්මිරිස් කුඩු උඩින් දමා කලවම් කරන්න. දැන්  මිශ්‍රණය ස්වල්ප වේලාවකින් ලිපෙන් බා කට්ලට් ගුළි සාදන්න. දැන් ගුළි සියල්ල බිස්කට් කුඩුවල තවරන්න. බිත්තර කහ මද සහ සුදු මද ලුණු ස්වල්පයක් සමග එකට ගසන්න. බිස්කට් කුඩුවල තවරා ගත් ගුලි නැවතත් බිත්තර සාරුවල දවටා නැවතත් බිස්කට් කුඩුවල  දවටා ගැඹුරු තෙලේ බදින්න. 

 


- පුෂ්පා රණවීර -


 

මඤ්ඤොක්කා වෙනස් පදමකට Read Previous

මඤ්ඤොක්කා වෙනස් පදමකට

මඤ්ඤොක්කා වෙනස් පදමකට Read Next

මඤ්ඤොක්කා වෙනස් පදමකට

Realted Post

Leave a comment