කොහිලවලින් රස කෑම

මලබද්ධයට ඉතා ගුණදායී කොහිල ඕනෑම  නිවෙසක වවා ගත හැකි පහසු එළවළු වර්ගයකි. කොහිල දලු, කොහිල කැඳ අර්ශස් රෝගීන්ට ඉතා ගුණදායී බීමකි. කෑම වේලටත් රුචියක් අති කරන කොහිලවලින්  සාදා ගත හැකි රසවත් කෑම වර්ග කිහිපයකි මේ.

 

 

කොහිල අල ඇඹරුම් වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය
නැවුම් කොහිල අල 2 ක් 
(කුඩා කොටු කපන්න)
සාමාන්‍ය උකු පොල් කිරි කෝප්පයක්
තළාගත් සුදුලූනු බික් 4 ක්
ලියාගත් රතුලූනු බික් 5 ක්
අබ ස්වල්පයක් 
කරපිංචා ඉත්තක්
අමුමිරිස් කරල් 3 ක්
රම්පා කැබැල්ලක්
කහ ස්වල්පයක්
අමුතුනපහ කුඩු තේ හැඳි 1/2 ක්  
මිරිස් කුඩු තේ හැඳි 1 ක් 
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2 ක් 
කුරුඳු කැබැල්ලක්
කැබලි කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්
කඩල පිටි මේස හැඳි 2 ක්
රස අනුව ලුණු
බැදීමට තෙල්


සාදන ක්‍රමය
පළමුව කොටු කපාගත් කොහිල අල ටික වැසෙන ප්‍රමාණයට වතුර දමා ලිප තබා තම්බන්න. (මෙය අතින් ඇල්ලූ විට කෑලි පොඩිවන ආකාරයට  තම්බන්න.  තම්බා ගත් කොහිල කැබලිවලට වතුර පෙරා  එයට තළාගත් සුදුලූනු, ලුණු ස්වල්පයක් එකතු කර වංගෙඩියක දමා හොඳින් කැබලි පොඩි වී  තලපයක් වන ලෙස කොටන්න. මෙහි කෙඳි ගතිය නිසා ග්‍රයින්ඩරයෙන් කෙටීම අපහසුයි. දැන් තලපයක් වන කොහිල අල මිශ්‍රණයට කඩල පිටි එකතු කරන්න. එවිට මිශ්‍රණය ටිකක් ගනකම් වේ. මේ මිශ්‍රණයෙන් ටිකක් අතට ගෙන කුඩා බෝල සාදා රත්කර ගත් තෙලේ බදින්න. මේ කොහිල බෝල ක්‍රිස්පි ගතියෙන් යුක්තයි. දැන් මැටි බඳුනකට කොහිල බෝල දමා එයට රම්පා, කරපිංචා, ලූනු අමුමිරිස්, තුනපහ වර්ග, කහ, අබ, කුරුඳු කැබැල්ල තක්කාලි සහ පොල්කිරි එකතු කර පදමට ලුණු දමා මඳ ගින්දරේ හොද්ද මඳක් උතුරනතුරු පිසින්න.


 

 

බැටර් ෆ්‍රයිඩ් කොහිල අල තීරු

 අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි කොහිල අලයක් 
බැදීමට තෙල් 
පාන්පිටි මේස හැඳි 2 ක් රුලං හෝ කෝන්ෆ්ලවර් මේස හැඳි 1 ක් (මෙය අත්‍යවශ්‍යම නැත. එකතු කර ගත් විට ක්‍රිස්පි ගතිය වැඩිය)
ලූණු රසයට 
ගම්මිරිස් කුඩු රසයට
බිත්තරයක්


සාදන ක්‍රමය
 කොහිල අල පෙති හෝ තීරු කපා ලුණු වතුරේ දමා විනාඩි 10 ක් පමණ තබා වතුර මිරිකන්න. බැටරය සඳහා පාන් පිටි, රුලං හෝ කෝන්ෆ්ලවර්, ලුණු, ගම්මිරිස් හා බිත්තරය එකතු කර මිශ්‍රණය තරමක් ගනකමට හදන්න. දැන් පරිස්සමින් කොහිල තීරු හෝ පෙති පාන් පිටි බැටරයේ තවරා ගැඹුරු තෙලේ  අඩු  ගින්දරේ බදින්න. උණුවෙන් රස විඳින්න. 

 

කොහිල කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය 
ළපටි කොහිල අලයක්
රතු හාල් මිටක් පමණ
ගාගත් පොල් කෝප්පයක්
ලුණු රස අනුව
තළාගත් සුදුලූනු බික් 2 ක්

සාදන ක්‍රමය
හාල්වලට වැඩිපුර වතුර එකතු කර තළාගත් සුදුලූනු සහ ලුණු දමා බෙරි ආකාරයට පිසින්න. කොහිල අලයේ පොත්ත ශුද්ධ කර  කුඩා කැබලි වලට කපන්න.  දැන් පොල්ටික, කොහිල කැබලි,  ටික හා වතුර  දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.  කොහිල මිරිකා යුෂ මිරිකා පෙරන්න.  බ්ලෙන්ඩ් කර ගත් කොහිල අල යුෂ හා බෙරිවෙන්න පිසගත් බත් සමග නැවතත් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. දැන් සුදුසු බඳුනකට දමා  පදමට ලුණු එකතු කර  හැඳි ගාමින් ටික වේලාවක්  මඳගින්දරේ පිසින්න. උකු ගතිය වැඩි නම්  තව පොල් කිරි හෝ වතුර එකතු කරගන්න පු`ඵවනි. ලිපෙන් ඉවතට ගෙන උණුවෙන්ම රස විඳින්න.
 

 

කොහිල දලු වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි දඬු සහිත නැවුම් කොහිල දලු මිටියක්

උපදෙස් 
ප්‍රවීණ සූපවේදිනී 
තිලානි විතානගේ 


සාමාන්‍ය උකු පොල් කිරි කෝප්ප 1/2 ක්
තළාගත් සුදුලූනු  බික් 2 ක්
ලියාගත් රතුලූනු ගෙඩි 5 ක්
අමුමිරිස් කරල් 1 ක්
කහ ස්වල්පයක්
අබ ස්වල්පයක්
අමුතුනපහ කුඩු තේ හැදි 1/2 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2 ක්
සියඹලා යුෂ තේ හැඳි 1 ක්
කැබලි කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්
රස අනුව ලුණු 

 


සාදන ක්‍රමය
කොහිල දලුවල කටු ඇත්නම් පිහියකින් සූරා එහි කෙඳි ඉවත් කර දඬු ටිකක් තළා අතින් කැබලිවලට කඩන්න. පිහියකින් කපනවාට වඩා අතින් කඩා ගත් විට රස වැඩි බව පැරැන්නන්ගේ මතයිය. මැටි බඳුනක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා අබ දමා පුපුරවන්න. එයට රම්පා. කරපිංචා, ලියාගත් රතුලූනු, සුදුලූනු අමුමිරිස්  දමා තෙම්පරාදු කර තක්කාලි කැබලි ද දමා හැන්දකින් පොඩි කරන්න. එයට නැවතත් කහ, මිරිස් සහ තුනපහ වර්ග, සියඹලා, පොල්කිරි එකතු කරන්න. දැන් රස අනුව ලුණු දමා මඳ ගින්දරේ කොහිල ටික තැම්බී හිඳෙනතුරු පිසින්න. තෙම්පරාදු නොකර පොල් කිරි දමා හින්දවා  වුවත්  කෑමට ගත හැකියි. 

පුෂ්පා රණවීර  


ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Previous

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Next

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

Realted Post

Leave a comment