තේ බොන්න කෙටි කෑම

පේස්ටි්‍ර, රෝල්ස් වගේම බන් වර්ගත් දරුවන් බොහොම ප්‍රිය කරන ආහාරයි. මෙහි දැක්වෙන්නේ නිවෙසේදී සාදා ගත හැකි කෙටි කෑම වර්ග කිහිපයක්. තේ බොන්න කෙටි කෑම කදිමයි.

 

ෂෝට් ක්‍රස්ට් පෘට් ටාට් 

අවශ්‍ය ද්‍රව්‍ය
අයිසින් සීනි ග්‍රෑම් 250 ක් මාගරීන් ග්‍රෑම් 500ක් බිත්තර සුදු මද 2 ක් වැනිලා තේ හැඳි 2 ක් පාන් පිටි ග්‍රෑම් 750 ක් චොක්ලට් ග්‍රෑම් 150 ක් විපින් ක්‍රීම් හෝ විපින් ක්‍රීම් කුඩු ග්‍රෑම් 350 ක් එළකිරි ග්‍රෑම් මිලි ලීටර් 350 ක් පලතුරු වර්ග අන්නාසි, ස්ට්‍රෝබෙරි, ස්ට්‍රෝබෙරි හෝ බ්ලූ බෙරි ටොෆින් සාදන ක්‍රමය අයිසින් සීනි, මාගරීන්, බිත්තර සුදු මද බඳුනකට දමා හොඳින් කලවම් කරන්න. ඉන්පසු පාන් පිටි, වැනිලා එකතු කර මෝලියක් සාදන්න. එය අඟල් 1/4 ක් පමණ ගනකමට තුනීකර කප් කේක් තැටිවල ඇතුළට දමා ගැනීමට සුදුසු කුඩා රවුම් කපා තැටිවල ඇතුළට දමා සෙන්ටිග්‍රේඩ් 180 උෂ්ණත්වයට විනාඩි 15- 20 ක් බේක් කරන්න. මෙසේ සකස් කර ගත් ටාට් අවන් එකෙන් එළියට ගත් පසු හොඳින් නිවෙන්න තබන්න. චොක්ලට් ඩබල් බොයිල් ආකාරයට උණු කරන්න. උණු කරගත් චොක්ලට් බේක් කර ගත් ටාට් වටේට ආලේප කරන්න. විපින් ක්‍රීම් පමණක් බීට් කර ගත හැකියි. නැතිනම් විපින් ක්‍රීම් කුඩුවලට එළකිරි එකතු කර බීට් කර ගත හැකියි. මේ දෙකෙන් එකක් ගෙන ටාට් එකේ ඇතුළට දමන්න. එයට උඩින් කපාගත් පලතුරු සහ ටොෆින් දමා අනිවාර්යයෙන්ම ශීතකරණයේ තබන්න. පිළිගැන්වීමට විනාඩි 5කට කලින් ඉවතට ගන්න.


 

බේක් පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි ග්‍රෑම් 250 ක් සීනි තේ හැඳි 1/2 ක් ලුණු තේ හැඳි 1/2 ක් බිත්තර 1 ක් බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක් අයිස් වතුර මිලි ලීටර් 100 ක් පෆ් පේස්ටි්‍ර මාගරීන් ග්‍රෑම් 40 ක්
 

පිරවුම අවශ්‍ය ද්‍රව්‍ය
අල ග්‍රෑම් 500 ක් සැමන් ටින් 1 ක් හෝ තම්බා ගත් මාළු ග්‍රෑම් 250 ක් සුදුලූනු තේ හැඳි 1 ක් ලූනු ගෙඩි 1/2 ක් අමුමිරිස් කරල් 6 ක් රම්පේ, කරපිංචා ස්වල්පයක් තෙල් මේස හැඳි 1 ක් ලුණු තේ හැඳි 1/2 ක් කෑලි මිරිස් තේ හැඳි 3 ක් ගම්මිරිස් තේ හැඳි 2 ක් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

සාදන ක්‍රමය
බඳුනකට පාන් පිටි, සීනි, ලුණු, බිත්තර, බේකින් පවුඩර් දමා අයිස් වතුර ටික ටික එකතු කරමින් අනන්න. ඉන්පසු එයට පෆ් පේස්ටි්‍ර, මාගරීන් ද ටික ටික දමා අතේ නොඇලෙන පදමට අනන්න. එය ශීතකරණයේ මිනිත්තු 20 ක් පමණ තබන්න. ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන පැටිස් මෝලිය තුනී කරන්න. ඒ මතට පාන් පිටි ටිකක් ඉස තුනී කරන්න. රවුම් කටරයක් ගෙන රවුම් කපන්න. එහි මැදට පිරවුමෙන් ටිකක් තබා බිත්තර කහමද පැටිස් එක වටේට ආලේප කර එක් පැත්තකින් වසන්න. ගෑරුප්පුවක් ගෙන වටේට තබා තද කරන්න. මේ ආකාරයට පැටිස් සියල්ල සකස් කරගන්න. ඉන්පසු සෙන්ටි්‍රගේඩ් 180 උෂ්ණත්වයට විනාඩි 10 ක් රත් කර පැටිස් තැටිය තබා එම උෂ්ණත්වයේම විනාඩි 15- 18 ක් බේක් කරන්න.

 

පිරවුම සාදන ආකාරය
සාස්පානක් ලිප තබා තෙල් ටිකක් දමා රත්වන විට සිහින්ව ලියාගත් සුදුලූනු, අමුමිරිස්, ඉඟුරු, රම්පේ, කරපිංචා සහ ලොකුලූනු දමා හොඳින් බැදගන්න. තම්බා ගත් අල කෑලි හැපෙන ආකාරයට එකතු කර සැමන් හෝ තම්බා ගත් මා`ඵ පොඩි කර දමන්න. හොඳින් කලවම් කරන්න. කෑලි මිරිස් සහ ගම්මිරිස්, ලුණු ද එකතු කර අවසානයට ලිපෙන් ඉවතට ගෙන කොත්තමල්ලි කොළ කුඩාවට කපා එකතු කරන්න.

 


 

චිකන් බන්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 500 ක් යීස්ට් ග්‍රෑම් 9 ක් ලුණු තේ හැඳි 1 ක් සීනි තේ හැඳි 3 ක් බටර් ග්‍රෑම් 65 ක් වතුර මිලි ලීටර් 250 ක් සාදන ක්‍රමය බඳුනකට පිටි, යීස්ට්, ලුණු, සීනි දමා වතුර මිශ්‍ර කරමින් පිටි හොඳින් අනන්න. එයට බටර්වලින් ටිකක් දමා අතේ නොඇලෙන පදමට අනන්න. දැන් පිටි මෝලිය තෙත රෙදි කැබැල්ලකින් වසන්න. විනාඩි 10 ක් පිපෙන්න තබන්න. විනාඩි 10කින් පසු කුඩා බෝල සාදා විනාඩි 25ක් හෝ 30 ක් පිපෙන්න තබන්න. දැන් පිටි මෝලිය අඟලෙන් දශමයක ප්‍රමාණයට තුනී කරන්න. එහි මැදට සාදා ගත් පිරවුමෙන් ටිකක් තබා බිත්තර කහමදය ගසා වටේට ආලේප කරන්න. එය කොටුවක් ආකාරයට නවන්න. නැවතත් එහි උඩින් බිත්තර සාරු ආලේප කරන්න. සාදාගත් චිකන් බන් තැටියක තබා සෙන්ටිග්‍රේඩ් 180 උෂ්ණත්වයෙන් විනාඩි 15-18 ක් බේක් කරන්න.

පිරවුම අවශ්‍ය ද්‍රව්‍ය
කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 300 ක් පොල් තෙල් මේස හැඳි 2 ක් සූදුරු තේ හැඳි 1 ක් තළාගත් ඉඟුරු, සුදුලූනු තේ හැඳි 2 ක් පාන් පිටි මේස හැඳි 2 ක් එළකිරි කෝප්ප 1 ක් ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් ගරම් මසාල තේ හැඳි 1/2 ක් මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් ලුණු තේ හැඳි 1/2 ක් සෝයා සෝස් තේ හැඳි 1 ක් විනාකිරි තේ හැඳි 1 ක් තක්කාලි සෝස් මේස හැඳි 1 ක්

 

සාදන ක්‍රමය
බඳුනක් ලිප තබා තෙල් දමා රත්කර සූදුරු, ඉඟුරු, සුදුලූනු ලියාගත් ලූනු දමා හොඳින් බදින්න. කටු රහිත කුඩාවට කපාගත් කුකුළු මස් දමා විනාඩි 5 ක් පමණ මඳගින්දරේ පිස පාන් පිටි එකතු කර මිනිත්තු 2 ක් පමණ හොඳින් කලවම් කරන්න. එළකිරි කෝප්පය එකතු කරන්න. ලුණු, ගම්මිරිස්, ගරම් මසාල සහ අමුතුනපහ එකතු කර හොඳින් කලවම් කර විනාකිරි, තක්කාලි සෝස්, සෝයා සෝස් දමා කුකුළු මස් එකට එකතු වන ආකාරයට පිස ලිපෙන් ඉවතට ගන්න.


 

සමෝසා පිටි මෝලිය

 

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 2 ක් තෙල් මේස හැඳි 5 ක් ලුණු ස්වල්පයක් වතුර කෝප්ප 1/2 ක් සාදන ක්‍රමය බඳුනකට පාන්පිටි, තෙල් සහ ලුණු එකතු කරමින් මිශ්‍රකර වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට මෘදු පිටි මෝලියක් සාදන්න. එය තෙත රෙදි කැබැල්ලකින් ආවරණය කර විනාඩි 30 ක් පමණ වසා තබන්න. එය ඉවතට ගෙන කොටස් 8 ක් පමණ කඩන්න. එය රවුම් කර නැවතත් එම බඳුනේම තබා නැවත වසා තබන්න. එයින් එක් බෝලයක් ගෙන තුනීකර ගොටුවක් ආකාරයට ගසා පිරවුම දමා විවෘතව ඇති කොටස අනෙක් පැත්තට වසන්න. මේ ආකාරයට සකස් කර ගත් සමෝසා ගැඹුරු තෙලේ රන්වන් ආකාරයට බදින්න.

 

පිරවුම අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු අල ගෙඩි 2 ක් ටින් මාළු ලොකු ටින් 1 ක් කරාබු නැටි 4 ක් එනසාල් කරල් 5 ක් අඟලක පමණ කුරුඳු කැබැල්ලක් ගම්මිරිස් රස අනුව ගරම් මසාල තේ හැඳි 1/2 ක් අමුමිරිස් කරල් 6 ක් සුදුලූනු බික් 10 ක් ඉඟුරු කැබැල්ලක් කරපිංචා ටිකක් බැදීමට තෙල් රස අනුව ලුණු

 

සාදන ක්‍රමය
පළමුව ඉඟුරු, සුදුලූනු හොඳින් තළන්න. අල තම්බා කුඩාවට කැබලි සිටින ආකාරයට පොඩි කරන්න. ටින් මාළු ද පොඩි කරන්න. ලොකුලූනු, අමුමිරිස් කුඩාවට කපන්න. සාස්පානකට තෙල් දමා රත්කර එයට ඉඟුරු, සුදුලූනු, කරපිංචා දමා හොඳින් බැද තළාගත් කරදමුංගු, කරාබු නැටි, කුරුඳු දමා බැද අමුමිරිස් එකතු කර බැදෙන විට ටින් මාළු එකතු කරන්න. ගරම් මසාල කුඩු ගම්මිරිස්, ලුණු එකතු කර කලවම් කර අල දමා මිනිත්තු 5 ක් පමණ පිසින්න.

 



 

කොහිල සොසේජස්
 

අවශ්‍ය ද්‍රව්‍ය
කොහිල ග්‍රෑම් 400 ක් තළාගත් අමුමිරිස් තේ හැඳි 1 ක් තළාගත් සුදුලූනු තේ හැඳි 1 ක් තළාගත් ඉඟුරු තේ හැඳි 1 ක් ලියාගත් කරපිංචා තේ හැඳි 1 ක් ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක් කෑලි මිරිස් තේ හැඳි 2 ක් කඩල පිටි ග්‍රෑම් 150 ක් ලුණු රස අනුව

 

සාදන ක්‍රමය
පළමුව කොහිල අල පොතු හැර කපා පොඩිවන තරමට තම්බන්න. ඉන්පසු බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කරන්න. (තලපයක් ආකාරයට) එයට අමුමිරිස්, කරපිංචා, සුදුලූනු, ඉඟුරු සහ කඩල පිටි කලවම් කර හොඳින් අනන්න. එයට ගම්මිරිස්, කෑලි මිරිස්, ලුණු එකතු කර නැවතත් අනන්න. ලන්ච් ෂීට් එකක් ගෙන එයට සාදා ගත් කොහිල මිශ්‍රණය මේස හැඳි 2 ක් තබා සොසේජස් හැඩයට සාදන්න. එහි දෙපැත්ත නූලකින් ගැට ගසන්න. මේ ආකාරයට සාදා ගත් කොහිල සොසේජස් ටික ස්ටීමරයක ආධාරයෙන් මිනිත්තු 20 ක් තම්බන්න. තම්බා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න හැර පැයක පමණ කාලයක් අධිශීතකරණයේ තබන්න. අවසානයට ලන්ච් ෂීට් එක ඉවත් කර ගැඹුරු තෙලේ බැද ආහාරයට ගන්න.

 


 

කොහිල වඩේ

 

අවශ්‍ය ද්‍රව්‍ය
කොහිල අල ග්‍රෑම් 100 ක් පරිප්පු ග්‍රෑම් 250 ක් කෑලි මිරිස් මේස හැඳි 2 ක් උම්බලකඩ ග්‍රෑම් 10 ක් රතුලූනු ගෙඩි 5 ක් අමු මිරිස් කරල් 3 ක් ගම්මිරිස් මේස හැඳි 1 ක් කරපිංචා ස්වල්පයක් ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය පළමුව
කොහිල අලවල පොත්ත රැස සිහින් කුඩා කොටු ආකාරයට කපන්න. එයට ලුණු ස්වල්පයක් දමා කලවම් කර පසෙකින් තබන්න. පරිප්පු පැය 3 ක පමණ කාලයක් පෙඟෙන්න තබන්න. පෙඟුණු පසු වතුර ඉවත් කර වංගෙඩියට දමා හෝ ග්‍රයින්ඩරයට දමා කොටන්න. අමුමිරිස්, කරපිංචා, රතුලූනු, කුඩාවට කපන්න. ලුණු මිශ්‍ර කොහිලවලට කෑලි මිරිස්, උම්බලකඩ, රතුලූනු දමා හොඳින් කලවම් කර කරපිංචා, අමුමිරිස් දමා කලවම් කර ගම්මිරිස්, රසයට ලුණු එකතු කර හොඳින් කලවම් කරන්න. කොටාගත් පරිප්පු දමා නැවතත් කලවම් කර කුඩා බෝල සාදා රවුමට තුනීකර ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බදින්න.

 


 

රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි ග්‍රැම් 250 ක් බිත්තර 1 ක් ලුණු තේ හැඳි 1 ක් බිස්කට් කුඩු ග්‍රෑම් 250 ක් (දැවටීමට) බැදිමට තෙල්

සාදන ක්‍රමය
පළමුවෙන් පාන් පිටි, බිත්තර, ලුණු දමා තරමක ගනකම් බැටරයක් සාදන්න. සාස්පානක් ලිප තබා අඩු ගින්දරේ තබා පොල් තෙල් ස්වල්පයක් තවරා මිශ්‍රණයෙන් ටිකක් දමා පෑන් කේක් ආකාරයට එක් පැත්තක් පුච්චන්න. මේ ආකාරයට පෑන් කේක් සියල්ල සකස් කර ගත් පසු එක බැගින් ගෙන එහි මැදට කලින් සඳහන් කල පැටිස් පිරවුමෙන් ටිකක් තබන්න. නැතිනම් තමන්ට කැමති පිරවුමක් සාදා තබා දෙපැත්ත නමා අනිත් පැති ද රෝලක් ආකාරයට නමා බැටරයේ දමා බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ බදින්න.

 


පුෂ්පා රණවීර


 

Office යන්න මෙහෙම අඳින්න Read Previous

Office යන්න මෙහෙම අඳින්න

මඤ්ඤොක්කා වෙනස් පදමකට Read Next

මඤ්ඤොක්කා වෙනස් පදමකට

Realted Post

Leave a comment