නරක් වූණ බිත්තර හදුනාගන්නේ විදි

බිත්තර යනු ප්‍රෝටීන් ඇතුළු පෝෂක රැසක් අඩංගු ජනප්‍රිය පෝෂ්‍යදායී ආහාරයකි. එහෙත් වෙළෙඳසැලෙන් මිලදී ගන්නා විට හෝ නිවසට රැගෙන එන අතරතුර බිත්තරයක කටුව කැඩී තිබුණොත් එය ආහාරයට ගැනීම සුදුසුද? එසේත් නැතිනම් එය ඉවත දැමිය යුතුද?

ආහාර සුරක්ෂිතතා විශේෂඥයන් පෙන්වා දෙන්නේ බිත්තරයක කටුව කැඩී තිබූ පමණින් එය අනිවාර්යයෙන්ම ආහාරයට නුසුදුසු නොවන බවයි. එහෙත් කටුව කැඩුණු අවස්ථාව, බිත්තරයේ අභ්‍යන්තරය පිටතට කාන්දු වී තිබේද යන්න සහ එය ගබඩා කර තිබූ ආකාරය අනුව එහි ආරක්ෂිතභාවය තීරණය වනවා.

මිලදී ගන්නා විටම කටුව කැඩී තිබුණොත්?

වෙළෙඳසැලකින් බිත්තර මිලදී ගන්නා විටම එහි කටුව කැඩී තිබෙන බව දුටුවහොත් එය ආහාරයට නොගෙන ඉවත දැමීම වඩාත් සුදුසුයි. ආහාර සුරක්ෂිතතා විශේෂඥවරියක සහ Alliance to Stop Foodborne Illness සංවිධානයේ අධ්‍යක්ෂවරියක වන වැනේසා කොෆ්මන් පෙන්වා දෙන්නේ කටුවට හානි සිදුවීම නිසා සැල්මොනෙල්ලා වැනි හානිකර බැක්ටීරියා බිත්තරය තුළට ඇතුළු වීමට ඉඩ ඇති බවයි.

සැල්මොනෙල්ලා ආසාදනය ආහාර මගින් ඇතිවන රෝගී තත්ත්වයක්. විශේෂයෙන් කුඩා දරුවන්, වැඩිහිටියන්, ගර්භණී කාන්තාවන් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන්ට මෙයින් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි.

නිවසේදී බිත්තරයක් කැඩුණොත් කළ යුත්තේ කුමක්ද?

බිත්තරයක් නිවසේදී රැගෙන යන අතරතුර හෝ ආහාර පිළියෙල කරන විට අහම්බෙන් කැඩුණොත් එය සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ තත්ත්වය අනුවයි. කටුව කැඩී බිත්තරයේ අභ්‍යන්තරය පිටතට කාන්දු වන්නේ නම් එය ඉවත දැමීම වඩාත් ආරක්ෂිතයි. එහෙත් කටුව පමණක් කැඩී ඇතුළත පටලයට හානි සිදුවී නොමැති නම්, බිත්තරය පිරිසිදු භාජනයකට දමා වහාම ශීතකරණයේ තබා ගත හැකියි. එවැනි බිත්තරයක් හැකි ඉක්මනින් භාවිත කළ යුතු අතර උපරිම දින දෙකක් ඇතුළත හොඳින් පිස ආහාරයට ගැනීම සුදුසුයි.

තම්බන අතරතුර බිත්තරය කැඩුණොත්?

බිත්තරයක් තම්බන අතරතුර කටුව කැඩී ගියහොත් එය අනිවාර්යයෙන්ම ඉවත දැමිය යුතු නැහැ. බිත්තරය නැවුම්ව තිබී හොඳින් තම්බා ඇත්නම් සාමාන්‍යයෙන් ආහාරයට ගැනීමට සුදුසු විය හැකියි. ආහාර සුරක්ෂිතතා නිර්දේශ අනුව බිත්තරයේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 71ක් පමණ වන තෙක් රත් කිරීම වැදගත්.

නමුත් බිත්තරය අඩක් පමණක් තම්බා හෝ මෘදු ලෙස තම්බා ගන්නේ නම් බැක්ටීරියා විනාශ කිරීමට අවශ්‍ය තරම් උෂ්ණත්වයක් නොලැබීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවල පැස්චරීකරණය කළ බිත්තර භාවිත කිරීම වඩාත් ආරක්ෂිතයි.

බිත්තරයක් නරක් වී ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද?

බිත්තරයක් නරක් වී ඇත්දැයි හඳුනාගැනීමේදී කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

1. ගන්ධය පරීක්ෂා කිරීම

නරක් වූ බිත්තරයකින් සාමාන්‍යයෙන් දැඩි අප්‍රසන්න ගන්ධයක් පිටවනවා. බිත්තරය කඩා බැලූ විට එවැනි දුර්ගන්ධයක් දැනේ නම් එය ආහාරයට නොගත යුතුයි.

2. වර්ණය හා පෙනුම නිරීක්ෂණය කිරීම

නැවුම් බිත්තරයක සුදු මදය සාමාන්‍යයෙන් පැහැදිලි ස්වභාවයක් ගන්නා අතර කහ මදය කහ පැහැයෙන් යුක්ත වනවා. අසාමාන්‍ය වර්ණ වෙනස්කම් හෝ දුර්වර්ණ වීම් දක්නට ලැබේ නම් එය නරක් වීමේ ලක්ෂණයක් විය හැකියි.

කෙසේ වෙතත් සුදු මදය දියාරු වීම හෝ කහ මදය පැතලි වීම පමණක් බිත්තරය නරක් වී ඇති බවට සාක්ෂියක් නොවෙයි. එය බිත්තරය පැරණි වීම නිසා ද සිදුවිය හැකියි.

3. වතුරේ පාවෙන පරීක්ෂාව

බිත්තරයක් වතුර භාජනයකට දැමූ විට එය පතුලේ රැඳෙනවාද, නැතිනම් ඉහළට පාවෙනවාද යන්න පරීක්ෂා කිරීම බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රමයක්.

මෙම ක්‍රමය මගින් බිත්තරයක පැරණි බව පිළිබඳ යම් අදහසක් ලබාගත හැකි වුවත් එය ආහාරයට ආරක්ෂිතද යන්න තීරණය කිරීමට විශ්වාසදායක ක්‍රමයක් නොවෙයි. බිත්තරයේ කටුවේ ස්වභාවය සහ ගබඩා කළ උෂ්ණත්වය වැනි කරුණු ද එහි පාවීම කෙරෙහි බලපානවා.

බිත්තර ආහාරයට ගැනීමේදී මතක තබාගත යුතු කරුණු

බිත්තරයක් මිලදී ගැනීමේදී එහි කටුව කැඩී ඇත්දැයි පරීක්ෂා කරන්න. නිවසට රැගෙන එන විට හානි නොවන ලෙස ප්‍රවාහනය කරන්න. කටුව කැඩුණු බිත්තර දිගු වේලාවක් පිටත තබා නොගන්න. විශේෂයෙන්ම බිත්තරයක් නරක් වී ඇත්දැයි සැකයක් ඇති වුවහොත් එය ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි.

අශන්ති වරුණසූරිය 

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

නව රජයක් පිහිටුවන්න ඊශ්‍රායල විපක්ෂය සූදානම් Read Next

නව රජයක් පිහිටුවන්න ඊශ්‍රායල විපක්ෂය සූදානම්

Realted Post

Leave a comment