නව වසරට රසට ගුණට කිරිබත්

 

සෑම නිවෙසකම නව වසරේ  පළමු දිනයේ දී  පිසෙන්නේ කිරිබතයි. එය සුබ කටයුත්තක් ලෙසින්  සිදු කරන චාරිත්‍රයකි.  විවධ රසට, විවිධ වර්ණවලට සාදා ගත හැකි රසයෙන් ගුණයෙන් අනූන කිරිබත් කිහිපයකි මේ, 

 

 

තල මිශ්‍ර කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් ග්‍රෑම් 500 ක්
තල ග්‍රෑම් 100 ක්
මිටි කිරි අඬු කෝප්ප 3 ක්
බත ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර
ලුණු තේ හැඳි 2 ක්


සාදන ක්‍රමය
තල හොඳින් සෝදා  විනාඩි 5 ක් පෙඟෙන්න තබන්න. කැකු`ළු හාල් සෝදා වතුර සහ ලුණු දමා එයට තල ද මිශ්‍රකර බත ඉදෙන තුරු තම්බන්න. එය කූරු ගා ලිපේ ගින්දර අඩුකර තබා  මිටිකිරි දමා හොඳින් කලවම් කර  විනාඩි 5 ක් පමණ ලිපේ තබන්න. කෙසෙල් කොළයකට  කිරි  ටිකක්  ඉස  කිරිබත් දමා තුනීකර  විනාඩි 10 කට පසු  අලුවා හැඩයට කෑලි කපන්න.


කොට්ට පොල් සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය 
ගාගත් ගුඩු පොල්  (ගෙඩිය සොලවන විට මදය හෙලවෙන පොල්)  ග්‍රෑම් 300 ක්
රතුලූනු ග්‍රෑම් 50 ක්
කෑලි මිරිස් මේස හැඳි 1 ක්
ගම්මිරිස්  තේ හැඳි 1/2 ක්
නයි කොච්චි ග්‍රෑම්  25 ක්
උම්බලකඩ ග්‍රෑම් 25 ක්
දෙහි ගෙඩියක  යුෂ
ලුණු රස අනුව


සාදන ක්‍රමය 
ගුඩු පොල් සහ දෙහි හැර අනිත් සියලු ද්‍රව්‍ය වංගෙඩියට දමා කොටන්න. එම මිශ්‍රණය තලපයක් ආකාරයට සකස් වූ පසු ගුඩු පොල් එකතු කර කොටා වංගෙඩියෙන් ඉවතට ගෙන  දෙහි යුෂ මිශ්‍ර කරන්න. 


 

ගොටුකොළ මිශ්‍ර කිරිබත

අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් ග්‍රෑම් 500 ක්
පොල් ගෙඩියක මිටි පොල් කිරි 
කෝප්ප 1 ක්   
සුදුලූනු බික් 1 ක්
ඉඟුරු කුඩා කැබලි 1 ක්  
ගොටුකොළ මිටි 2 ක් 


සාදන ක්‍රමය
කැකුළු හාල් සෝදා  බත ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර සහ ලුණු  දමා  බත පිසින්න.  ගොටුකොළවල ළපටි කොටස ගෙන සෝදා වතුර බේරෙන්න තබා කැබලි කපන්න.  දැන් මිටි කිරි,  ගොටුකොළ, සුදුලූනු, ඉඟුරු බ්ලෙන්ඩ් කරන්න.  මිශ්‍රණය පෙරා  අවසානයේ පිසගත් බතට එකතු කර  කූරු ගා මඳ ගින්දරේ තබා  කිරිබත පිසින්න. 


 

 

 

රම්පේ කිරිබත්
 අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් කෝප්ප 2 ක්
ලොකු රම්පේ කොළ 2 ක්
පොල් කෝප්පයක් 
ලුණු පදමට


සාදන ක්‍රමය 
කැකුළු හාල් හොඳින් සෝද  සාමාන්‍යයෙන් කිරිබත් පිසින ප්‍රමාණයට  වතුර දමා ලිප තබන්න. ඒ අතර රම්පේ කොළ කුඩාවට කපා  පොල් හා වතුර කෝප්ප 1 ක් දමා  හොඳින් බ්ලෙන්ඩ් කර පෙරන්න. රම්පේ කොළ නිසා ලස්සන පැහැයක් ගනී.  බත උතුරන්න පටන් ගත් විට රම්පේ සමග බ්ලෙන්ඩ් කර ගත් කිරි ටික බතට දමන්න. පදමට ලුණු දමා කිරි හිඳෙන තුරු කලවම් කරමින් අඩු ගින්දරේ කිරිබත පිසින්න.  කොච්චි දමා ගත් ලුණු මිරිසක් සමග රස විඳින්න.


දේශීය බඩ ඉරිඟු කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් කෝප්ප 2 ක්
ඇට වෙන්කර හොඳින් තම්බා ගත් බඩ ඉරිඟු ඇට කෝප්පයක්
(අවශ්‍ය නම් ඇට ටිකක් පොඩිකර ගැනීමට පුළුවනි.)
උකු පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට 
ලුණු පදමට  


සාදන ක්‍රමය
සුදු කැකුළු හාල් හොඳින් සෝද සාමාන්‍ය කිරිබත පිසින ප්‍රමාණයට  වතුර දමා ලිපේ තබන්න.  බත උතුරන්න පටන් ගත් විට  බඩ ඉරිඟු ඇට දමා මඳ ගින්දරේ  පිසින්න.  බත ඉදී වතුර හිඳෙන විට  පොල් කිරි හා පදමට ලුණු දමා කිරි ටික හිඳෙන තුරු  හැන්දෙන් කලවම් කරමින්  පිසින්න. අවශ්‍ය නම් සාමාන්‍ය කිරිබතක් ආකාරයට කෙසෙල් කොළයක හෝ පිඟානක තුනීකර  කෑලි කපා  ටිකක් නිවෙන්න තබන්න.  කෑලි කපන්නේ නැතිව සැර ලුණු මිරිසක් සමග කෑමට ගත හැකිය.  
 

වෙනස් විදියේ ලුණු මිරිසක්
 අමු ගම්මිරිස් (කොළ පාට) නයි මිරිස් රතුලූනු, ලුණු කුඩු වංගෙඩියේ දමා  හොදින් කොටා  අවසානයට දෙහි ඉස්ම එකතු කරන්න.  


 

කව්පි මිශ්‍ර කිරිබත්
 
අවශ්‍ය ද්‍රව්‍ය
සුදු කැකුළු හාල් ග්‍රෑම් 500 ක්
රතු කව්පි ග්‍රෑම් 250 ක්
පොල් ගෙඩියක මිටිකිරි කෝප්ප 1 1/2 ක්
දියකිරි කෝප්ප 2 ක්
පෙති කපාගත්  සුදුලූනු බික්  4 - 5 ක්
අඟලේ පමණ රම්පා කැබලි 3 -- 4 ක් 
සීනි තේ හැඳි 1 ක් 
ලුණු  රසයට


සාදන ක්‍රමය
 කව්පි පැය 3 ක් පමණ පෙඟෙන්න දමන්න.  ඉන්පසු වතුර දමා හොඳින් තම්බන්න.  වතුර පෙරන්නේ නැතිව  හාල් ද සෝදා එයට එකතු කර ඒ සමගම සුදුලූනු පෙති, රම්පා, දියකිරි එකතු කර බත ඉදීමට තවත් වතුර අවශ්‍ය නම් උණු වතුර ටිකක් එකතු කරන්න.  ලුණු සහ සීනි ද එකතු කරන්න.  වතුර හිදී බත තැම්බුණු පසු  මිටිකිරි එකතු කර හොඳින් හැඳි ගා වසා තබන්න.  

 

කොච්චි ලුණු මිරිස

අවශ්‍ය ද්‍රව්‍ය
හීනි කොච්චි කරල් 6 -- 7 ක්
රතු ලූනු ග්‍රෑම් 100 ක්
කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක් (අවශ්‍ය නම්)
උම්බලකඩ මේස හැඳි 1 ක් 
දෙහි රසයට  
ලුුණු රසයට 


සාදන ක්‍රමය
 දෙහි සහ තක්කාලි හැර අනෙක් සියල්ල දමා වංගෙඩියේ කොටා ඉවතට ගෙන දෙහි එකතු කර මිශ්‍රකර අවශ්‍ය නම් තක්කාලි ද එකතු කරන්න.



 පුෂ්පා රණවීර


 

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Previous

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Next

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

Realted Post

Leave a comment