පවුලේ කෑම මේසයට තායි අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

 

අන්නාසි තරමක් උෂ්ණ නිසා තවත් උෂ්ණ කෑමක් වන ඉස්සන් මෙයට එකතු කරනවා. එයින් විසෙන් විස නැසෙනවා කියලයි විශ්වාසය.

අලුත් අවුරුද්දට ලහි ලහියේ සූදානම් වෙන කවුරුත් අලුත් ඇඳුම් මිලදී ගන්න වගේම අලුත් සහ වෙනස් රසවලට කෑම වර්ග හදන්නත් අමතක කරන්නෙ නෑ. කොවුල් නාදයත් එක්ක ගම් දනව් පුරා පැතිරෙන කැවුම්, කොකිස්, ආස්මී බැදෙන තෙල් සුවඳත් එක්ක කටට රහට අලුත් විදියේ ෆ්‍රයිඩ් රයිස් එකකුත් තිබුණොත් කොහොමද? මේ කාලෙට වැඩිපුර තෙල් කෑම වර්ග කැවෙන නිසා ඒ තෙල් ගතිය ටිකක් විතර අඩු කරගන්න උදව් වෙන ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මේ. තායිලන්තයේ ඉතා ජනප්‍රිය තායි අන්නාසි ෆ්‍රයිඩ් රයිස් එකක් මේ අවුරුදු සමයේ පවුලේ හැමෝම එක්ක රස බලන්න. බක් මහේ හැම ගහකම මල් වගේම පලතුරුත් පිරිලා. ගෙවත්තේ අන්නාසි පැළයක් දෙකක් හිටවලා තියෙනවා නම් ඔන්න මේ කාලෙට සුවඳ විහිදෙන අන්නාසි ගෙඩියක් දෙකක් හැදිලා ඇති. එයින් වෙනස් විදියක කෑමක් හදලා රස බලන්නයි මේ ලෑස්තිය. ගෙවත්තේ අන්නාසි නැතිනම් වෙළෙඳපොළෙන් අන්නාසි ගෙඩියක් මිලදී ගන්න.

 

 

උපදෙස් 
දේශීය සූපශාස්ත්‍ර සහ  ස්වාභාවික  රූ සත්කාරක 
පර්යේෂිකා 
පංචමී හේවාවිසෙන්ති

අන්නාසි ෆ්‍රයිඩ් රයිස් හදන්න ගන්න අන්නාසි ගෙඩිය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. හොඳට ඉදුණු අන්නාසි මේ සඳහා ගන්නේ නෑ. අමු අන්නාසිත් ගැළපෙන්නෙ නැහැ. සම්පූර්ණයෙන්ම පිට පොත්ත තැඹිලි පැහැ නොවණු, තරමක් කොළ පාටට තියෙන අන්නාසි ගෙඩියක්  තෝරාගන්න පුළුවන් නම් වඩා හොඳයි. 


මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න අලුතෙන් බතක් ලිපේ තියන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඉතිරි වුණු බත් මෙයට භාවිතා කරන්න පුළුවන්. අරපිරිමැස්ම ගැන හැමෝම මේ කාලෙ සැලකිලිමත් වෙන නිසා පුළුවන් තරම් කෑම නාස්තිය අවම කරගන්න මේ වගේ කෑම වර්ග හදන එක තමයි හොඳ. මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න වැඩිපුර ගෑස් අවශ්‍ය වෙන්නෙත් නෑ. 


අන්නාසි ෆ්‍රයිඩ් රයිස් එක පිස ගත්තට පස්සේ එයට ආකර්ෂණීයබවක් එක්කරන්න අන්නාසි ගෙඩියේ කුහරය ඇතුළටම අන්නාසි ෆ්‍රයිඩ් රයිස් එක දාලා පිළිගන්වන්න පුළුවන්. ඒ නිසා අන්නාසි ගෙඩිය කපාගන්නා විට පිට පොත්ත ඉවත් නොකර ප්‍රවේසමෙන් අන්නාසි ගෙඩිය දික් අතට දෙකට කපාගෙන හොඳට කැපෙන පිහියකින් මැද මදය කොටස කපා ඉවත් කරගන්න ඕනෑ. පිහියෙන් කපාගන්න බැරි කොටස් මුවහත් පිත්තල හැන්දකින් සූරලා ඉවත් කරගන්න පු`ඵවන්.


අන්නාසි තරමක් උෂ්ණ ගතියෙන් යුක්ත නිසා තවත් උෂ්ණ කෑමක් වන ඉස්සන් මේකට එකතු කරනවා. උෂ්ණ ආහාර වර්ග දෙකක්ම එක්කරන නිසා විසෙන් විස නැසෙනවා කියලයි විශ්වාසය.


අවශ්‍ය ද්‍රව්‍ය
කලින් පිසගත් හෝ ඉතිරි වූ බත් කෝප්ප 2 ක්  
බිත්තරයක්
කොටු හැඩයට කපාගත් අන්නාසි කැබැලි 
කෝප්ප 1 1/2 ක්
ලූනු කොළ කිහිපයක්
තක්කාලි ගෙඩියකින් බාගයක්
කෑලි කපාගත් රතු බෙල් පෙපර් බාගයක් 
පොල් තෙල් මේස හැඳි 3 ක්  
අමු මිරිස් කරල් 2 ක්
සුදු ලූනු පේස්ට් තේ හැන්දක්
කජු මද කිහිපයක්
සෝයා සෝස් තේ හැන්දක්
තම්බාගත් ග්‍රීන් පීස්
ඉස්සන් කෝප්ප බාගයක්
ලුණු අවශ්‍ය පමණට 
හීනියට ලියාගත් කොත්තමල්ලි කොළ (සැරසීමට) 

 

 


සකසා ගන්නා ආකාරය
තරමක ලොකු තාච්චියකට තෙල් ටිකක් එකතු කර රත් වූ පසු බිත්තරය කඩලා ස්ක්‍රැම්බල් කරගන්න. (හැන්දකින් හැඳිගාමින් කැබලි සිටින සේ බැදගන්න) බැදගත් බිත්තර කැබලි වෙනත් භාජනයකට දමාගන්න. තාච්චිය ටිෂූ පේපර් එකකින් පිසදා තව තෙල් ටිකක් එකතු කර රත් වූ පසු පිරිසුදු කරගත් ඉස්සන් එකතු කර විනාඩි කිහිපයක් බැදගන්න. ඉස්සන් වැඩි වෙලාවක් බැදගත් විට රබර් වැනි ස්වභාවයක් ගන්නා නිසා ඉස්සන් අවශ්‍ය පමණට බැදුණු පසු හැන්දකින් ඉවත් කර වෙනත් භාජනයකට දමාගන්න. 


ඒ තෙල් ටිකටම කජු මද ටික දමා අවශ්‍ය පමණට බැදගන්න. බැදගත් කජු මද ටිකත් වෙනත් භාජනයකට දමාගන්න. 

 


ඉන්පසු සුදු ලූනු පේස්ට් එකතු කර විනාඩියක් පමණ බැදගන්න. කොටු හැඩයට  කපාගත් බෙල් පෙපර් සහ අන්නාසි කැබලිත්, තම්බාගත් ග්‍රීන් පීස්, සිහින්ව කපාගත් ලූනු කොළ සහ අමු මිරිස් එකතු කර විනාඩි 5 ක් පමණ බැදගන්න. 


ඉන්පසු සෝයා සෝස් සහ කපාගත් තක්කාලි එක්කර බැදගන්න. මේ මිශ්‍රණයට කලින් බැදගත්ත ඉස්සො, බිත්තර, පිස ගත් බත් ටික සහ ලුණු එකතු කර විනාඩි කිහිපයක් තෙම්පරාදු කරගන්න. ලිපෙන් බාගෙන සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ටිකක් එකතු කර සරසාගන්න. පසුව කලින් මදය ඉවත් කර ගත් අන්නාසි ගෙඩියේ කොටස් දෙකට අන්නාසි බත පුරවා උණු උණුවේ කෑම මේසයට පිළිගන්වන්න.

නයනා උදයංගනී  

 

 

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Previous

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

දඟකාරියන්ට කදිම ගවුමක් Read Next

දඟකාරියන්ට කදිම ගවුමක්

Realted Post

Leave a comment