පැංචියන්ට හදලා දෙන්න කිම්චි

 

කිම්චි  (Kimchi) නම අපට නම් ටිකක් නුහුරුයි. ඒ කිම්චි කියන්නේ අපේ රටේ කෑමක් නෙවෙන නිසා. ජනප්‍රිය කොරියන් කෑමක් වූ කිම්චි දකුණු කොරියාවේ ජාතික ආහාරය කිව්වත් හරි. ඒ වගේම කොරියානු ජාතිකයින්ගේ ආහාර සංස්කෘතියේ අනිවාර්ය අංගයක්.


කිම්චි කියන්නේ නාපා කියන ගෝවා වර්ගය (දිග ගෝවා වර්ගයක්, මේකට චීන ගෝවා කියලත් කියනවා) පැසීමකට ලක්කරලා හදන අච්චාරුවකට සමාන රසවත් කෑමක්. ගෝවාවලට අමතරව, කැරට්, රාබු සහ ලූනු කොළත් මීට එකතු කරනවා. ඒත් එක්කම ඉඟුරු, සුදු ලූනු, ලූනු සහ මිරිසුත් හොඳට එකතු කරනවා. මේ මිශ්‍රණය කල් තියාගන්න පුළුවන් නිසා ෆ්‍රයිඩ් රයිස්, සුදුබත්, නූඩ්ල්ස් වගේම සුප් වර්ගත් රස කරන්නත් එකතු කරගන්න පුළුවන්. ඉතින් කාලය ඉතුරු කරගෙන කිම්චි භාවිතා කරලා ලේසියෙන් ඒ විදියේ රසවත් කෑම වර්ග හදාගන්නත් පුළුවන් නිසා කිම්චි හදන විදිය දැනගන්න කවුරුත් අකමැතිවෙන එකක් නම් නැහැ.  
අතීතයේ කොරියානු ජාතිකයින් කිම්චි හදලා තියෙන්නේ එළවළු අස්වැන්න කල් තියාගන්න. හරියට අපි මිරිස්, ලූනු කල් තියාගන්න අච්චාරු දානවා වගේ. අතීතයේ දුර්භික්ෂ සහ අධික ශීත කාලවල ආහාර හිඟයට මුහුණ දුන්නම කොරියානුවන්ගේ ජීවිතය රැක ගන්න උදව් කරලා තියෙන්නේ කිම්චි කියලයි කොරියානු ඉතිහාස කතාවල කියැවෙන්නේ.  


කිම්චි කියන්නේ පැසවීමට ලක්කරන ආහාරයක් නිසා ආහාර මාර්ගයේ ඉන්න යහපත් බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි කරලා ආහාර මාර්ගය නිරෝගීව තබනවා. රුධිරයේ සීනි මට්ටම පාලනයට මෙන්ම හෘදය වස්තුවටත් ගුණදායක බවත් කියැවෙනවා. 


ලේසිය, පහසුව, ආහාර පරීක්ෂණය, පෝෂණ සුරක්ෂිතතාව වගේ කාරණා නිසාම කොරියානු ජාතිකයින්ගේ ජනප්‍රියම ආහාරයක් බවට කිම්චි පත්වී තිබෙනවා. 


ගෝලීයකරණයත් එක්ක එක් එක් රටවල ආහාර සංස්කෘතීන් අනෙකුත් රටවලට පැතිරී යාමත් එක්ක කොරියාවේ කිම්චි දැන් ලෝකයේ බොහෝ දෙනෙක් රස බලන කෑමක් වෙලා. අපේ රටෙත් කිම්චි ජනප්‍රියයි. කොරියාවේ රැකියාවට ගිය ලංකාවෙ අයට නම් කිම්චි කියන්නේ අමුතු කෑමක් නෙවෙයි. ටිකක් කල් තියාගන්න පුළුවන් කෑමක් නිසා සමහර අය කොරියාවෙ ඉඳන් ලංකාවට එනකොට කිම්චි අරගෙනත් එනවා. ඒ වගේම අපේ රටේත් මේ ගෝවා වර්ගය මිලදී ගැනීමට තිබෙන නිසා කල්තියාගෙන කන්න මේ රසවත් කෑම එක හදාගන්න පු`ඵවනි. 


කිම්චි හදන විට ගෝවා ගෙඩිය දික් අතට පළාගෙන දිග කෑලි හිටින්න වගේම කුඩා කෑලිවලට කපලත් පිසගන්නවා. කල් තියාගන්න හදනවා නම් දික් අතට ලොකුවට ගෝවා ගෙඩිය කපා ගැනීම වඩාත් හොඳයි. 


අවශ්‍ය ද්‍රව්‍ය 
● නාපා ගෝවා ගෙඩියක් 
(කිලෝ 3ක් හෝ 4ක්)
● කැරට් අල 3 ක්
● රාබු අල 3 ක්
● ලූනු කොළ ග්‍රෑම් 50 ක්
● සුදු ලූනු බික් 3 හෝ 4 ක්
● ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
● රතු ලූනු ගෙඩි 4 ක්
● මිරිස් කුඩු හෝ අඹරාගත් මිරිස් ග්‍රෑම් 100 ක් පමණ ප්‍රමාණයක්
● දුඹුරු සීනි මේස හැන්දක්
● කොරියන් ස්වීට් රයිස් 
●  හාල් පිටි හෝ  පාන් පිටි මේස හැඳි 2 ක්
● කැට ලුණු ග්‍රෑම් 250 ක් 
● ඉස්සෝ සෝස් ෆිෂ් සෝස් මේස හැඳි 2 ක්

 

සකසා ගන්නා ආකාර
චීන ගෝවා ගෙඩිය දික් අතට හතරට කපාගන්න. ගෝවා කොළ අතරට ලුණු කැට දමන්න. හැම ගෝවා කොළයකටම කොළය දිගටම ලුණු කැට දාන්න. ඊට පස්සේ ලොකු භාජනයක මේ ගෝවා ටික තියන්න. රස පමණට (ගොඩාක් ලුණු රස නැති වෙන විදියට) ලුණු ටිකක් වතුරට දාලා දියකරලා ගෝවා තියෙන බේසමට එක්කරන්න. ගෝවා ටික යාන්තමින් වැහෙන්න විතරක් ලුණු එක්කරපු වතුර දැම්මම ඇති. දැන් මේක වහලා රැයක් තියන්න. එහෙම නැතිනම් පැය 10 විතර තියෙන්න අරින්න. එවිට ගෝවාවල තියෙන වතුර ඔක්කොම පිටතට ඇවිත් ගෝවා කොළ කැඩෙන්නේ නැතිව හොඳට අතින් දෙකට නවන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගෝවා ටික ආයෙමත් වතුරෙන් හොඳින් සෝදන්න. ඉන්පසු ගෝවාවල තියෙන වතුර හොඳින් ඉවත්වෙනතුරු වතුර බේරෙන්න පැයක් පමණ තබන්න.
භාජනයකට පිටි ටික එකතුකර වතුර කෝප්ප එක හමාරක් පමණ දමා ලිපේ තබන්න.  පිටි කැටවෙන්නේ නැති වෙන්න හැන්දකින් දිගටම හැඳිගාන්න. විනාඩි 6 - 7කින් විතර පිටි මිශ්‍රණය ටිකක් උකු වුණාට පසු ලිපෙන් බාගෙන නිවෙන්න හරින්න. 

 

අදහස් දැක්වීම - 
සූප ශාස්ත්‍ර පිළිබඳ පර්යේෂිකා 
පංචමී හේවාසෙන්ති 

රාබු, කැරට් දික් අතට සිහින්ව කපාගන්න. ලූනු කොළත් කපාගන්න. ඉඟුරු, සුදු ලූනු සහ රතු ලූනු හොඳින් තළාගන්න. එහෙම නැතිනම් බ්ලෙන්ඩ් කරගන්න. 
ලිපෙන් බාගෙන නිවාගත් පිටි කැඳ ටික, මිරිස් කුඩු හෝ පේස්ට් එක සහ කපාගත් එළවළු සියල්ල භාජනයකට දමන්න. එයට සීනි, ලුණු, ෆිෂ් සෝස් එක්කරගෙන පොල්කටු හැන්දකින් හොඳින් කලවම් කරන්න. මෙය විනාඩි 10 ක් පමණ තිබෙන්න හරින්න. 


දැන් වතුර හොඳට බේරුණු චීන ගෝවා කොළවල ඇතුළ සහ පිට පැත්තේ හොඳට මේ පේස්ට් එක ගාගන්න. කිම්චි ටික කාලයක් තියාගන්න හදන නිසා ග්ලවුස් එකක් දාගෙන පේස්ට් එක ගෝවා කොළවල තවරනවා නම් වඩා සුදුසුයි. 


දැන් මේවා බෝතලයකට හෝ වෙනත් භාජනයකට දමා වායු බුබුළු ඇතුළු නොවෙන්න වසාගන්න. ඒ වගේම භාජනය සම්පූර්ණයෙන්ම පිරෙන්න ගෝවා කොළ නොදමන්නත් මතක තබාගන්න. එහෙම වුණොත් මිශ්‍රණය පැසෙනවිට ඇතිවෙන ප්‍රතික්‍රියාව නිසා උතුරා යන්න පුළුවනි. දැන් මෙය කාමර උෂ්ණත්වයේ දවසක් පමණ තබන්න. ඉන්පසු ශීතකරණයෙන් තබන්න. ශීතකරණයේ තබා දවස් තුනක් පමණ ගත වූ පසු කෑමට ගන්න පුළුවනි. ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වැනි කෑම පිසින විට එළවළු කප කපා ඉන්න ඕන නෑ. රසයෙන් සහ ගුණයෙන් වැඩි කිම්චි මිශ්‍රණයෙන් ටිකක් මිශ්‍ර කරගෙන කාලෙ ඉතිරි කරගන්නත් පුළුවන්. වැඩි රසයක් එකතු කරගන්නත් පුළුවන්. 

 


සටහන - නයනා උදයංගනී 


                 

 

SIRIKATHA BRIDAL Read Previous

SIRIKATHA BRIDAL

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ Read Next

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ

Realted Post

Leave a comment