බඩේ දැවිල්ල ඇවිල්ලද? ’’ගෑස්ට්‍රික්’’ වලට සුදුසුම කෑම

ගෑස්ට්‍රික් නමින් කටවහරේ හඳුන්වන අම්ලපිත්ත රෝගය තරුණ වැඩිහිටි හුඟදෙනෙක් වේදනා විඳින රෝගී තත්ත්වයක්. එය මානසික ආතතිය, තෙල් සහිත කෑම බීම සහ විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. සිරුර සිසිල් කර මේ තත්ත්වය ඉක්මනින්ම පාලනය කළ හැකි ස්වාභාවිකව ගුණදායක කෑම වර්ග කිහිපයකි මේ,

කැහිපිත්තන් ජෙලි

අවශ්‍ය ද්‍රව්‍ය 

කැහිපිත්තන් කොළ මිටක් 
වතුර
කිතුල් හකුරු
පොල් කිරි

හදන හැටි

කැහිපිත්තන් කොළ හොඳින් සෝදා වතුර ස්වල්පයක් එකතු කර බ්ලෙන්ඞ් කරන්න. කොටාගත් පල්පය භාජනයකට දමා වතුර තරමක ප‍්‍රමාණයක් එක්කර (වැඩිපුර වතුර එක්කර ගතහොත් ජෙලි මිදීමට බොහෝ වේලාවක් ගත වේ)  පිරිසුදු රෙදි කඩකට කොටාගත් කොළදමා මිරිකා ගන්න. දැන් මෙම සාරය භාජනයකට දමා කාමර උෂ්ණත්වයේ පැය දෙක තුනක් තබන්න. කැහිපිත්තන් ජෙලි ශීතකරණයක් නොමැතිවම මුදවාගත හැකි ය. මිදී ඇති ජෙලි කැබලිවලට කපාගන්න. වෙනත් භාජනයකට පොල් කිරි සහ පොඩි කරගත් කිතුල් හකුරු දමන්න. 
මෙයටම කපාගත් කැහිපිත්තන් ජෙලි කැබලි එක්කර උදෑසන හිස් බඩ සතියකට තුන් වරක් පමණ ආහාරයට ගැනීමෙන් ගෑස්ට්‍රික් පාලනය කරගත හැකිය. 

කතුරුමුරුංගා මල් වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

කතුරුමුරුංගා මල් ග‍්‍රෑම් 500 ක්
රතු ලූනු ගෙඩි 4 ක්
අමු මිරිස් කරල් 2 ක්
සුදු ලූනු බික් 3 ක්
තක්කාලි ගෙඩියක්
කරපිංචා
සේර කුඩා කැබැල්ලක්
රම්පෙ කැබැල්ලක්
කුරුඳු කුඩා කැබැල්ලක්
මිරිස් කුඩු තේ හැන්දක්
තුනපහ කුඩු තේ හැන්දක්
කහ කුඩු තේ හැඳි කාලක්
පොල් කිරි
ලූණු

සකසන අයුරු 

කතුරුමුරුංගා මල් හොඳින් සෝදා ගන්න. මලේ මැද ඇති දිග රේණු කඩා ඉවත් කරගන්න. රතු ලූනු, තක්කාලි, සුදු ලූනු සහ අමු මිරිස් කපාගන්න. සේර කුඩා වංගෙඩියකට දමා මඳක් තළාගන්න. කපා ගත් සහ තළාගත් අමුද්‍රව්‍ය සහ කතුරු මුරුංගා මල් මැටි වළඳකට දමා කුරුඳු, කරපිංචා සහ රම්පේ එකතු කරන්න. එයටම මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, ලූණු සහ පොල් කිරි එක්කර විනාඩි 20ක් පමණ පිසගන්න. 
සතියකට එක් වතාවක් හෝ මේ විදියට කතුරුමුරුංගා මල් වෑංජනයක් ආහාරයට ගත හැකිනම් ආමාශගත රෝගද වළක්වාගත හැකිය. 

කෝමාරිකා වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය 

කෝමාරිකා පිති 2 ක්
අමු මිරිස් කරල් 2 ක්
තක්කාලි ගෙඩි 1/2 ක්
රතු ලූනු ගෙඩි 3 ක්
කරපිංචා 
රම්පේ
කුරුඳු කැබැල්ලක්
සේර කැබැල්ලක්
සුදු ලූනු බික් 2 ක්
සූදුරු තේ හැඳි  1/4 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
කහ කුඩු ස්වල්පයක්
තුනපහ තේ හැඳි  1/2 ක් 
ලූණු
පොල් කිරි
පොල් තෙල් ස්වල්පයක්

හදන හැටි

කෝමාරිකා පිත්තේ ගසට සම්බන්ධ වන කොටස කපා කහ පැහැති ද්‍රාවණය ඉවත් වනතෙක් තබන්න. මුවහත් පිහියකින් කෝමාරිකා පිත්තේ කොළ පැහැ පොත්ත ඉවත් කරගන්න (මදය ඉවත් නොවන සේ* කෝමාරිකා තරමක කැබැලිවලට කපාගන්න. මඳක් සෝදාගෙන භාජනයකට දමාගන්න. මැටි බඳුනක් ලිපේ තබා තෙල් එකතු කරන්න. එයට කරපිංචා, රම්පේ, කුරුඳු සහ සූදුරු දමන්න. විනාඩියක් පමණ බැදගෙන එයට කපාගත් රතු ලූනු, සුදු ලූනු, මඳක් තළාගත් සේර සහ තක්කාලි එක්කරගන්න. විනාඩි 2ක් පමණ බැදගෙන එයට කපාගත් කෝමාරිකා එකතු කරන්න. ඉන්පසු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලූණු එක්කරගෙන විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරගන්න. ඉන්පසු පොල්කිරි දමා උතුරුවාගෙන ලිපෙන් බාගන්න. 
කෝමාරිකා ඇඟට සිසිලස දෙන ආහාරයක් වුවත් එය ආහාරයට ගැනීම දිනපතා නොකළ යුතුය. දිනපතා ආහාරයට ගැනීම වකුගඩුවල නිරෝගීතාවට බාධාවක් විය හැකි බැවින් සිසිල් ආහාර අතරට මසකට එක් වතාවක් පමණ කෝමාරිකා වෑංජනය ආහාරයට ගන්න. 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ Read Previous

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ Read Next

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

Realted Post

Leave a comment