බිත්තර මිශ‍්‍ර Sweet Corn Rice

රසට පිසගන්න පුළුවන් බත් වර්ග  ඕනෑ තරම් තිබුණත් හුඟක්දෙනා නිතර පිසින්නේ එළවළු බත්, බිරියානි, කහ බත්, සී ෆුඞ් රයිස් වැනි බත් වර්ග කිහිපයක් පමණයි. මේ නිසා හැමෝටම රස විඳින්න පුළුවන්  බිත්තර මිශ‍්‍ර ස්වීට් කෝන් රයිස් එකක් හදාගන්න විදිය කියන්නයි මේ සූදානම. ස්වීට් කෝන්වල කිරි රසය සමග මුසුවුණු ප‍්‍රණීත රසය නිසා පොඞ්ඩොත් කැමති වේවි. 

 

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී හාල් ග‍්‍රෑම් 500 ක්
තම්බාගත් ස්වීට් කෝන් ග‍්‍රෑම් 250 ක්
බිත්තර 4 ක්
කැරට් ග‍්‍රෑම් 25 ක්
ගෝවා ග‍්‍රෑම් 25 ක්
බෙල් පෙපර් ග‍්‍රෑම් 25 ක්
ඉඟුරු සුදුලූනු ස්වල්පයක්
ලූනු කොළ ස්වල්පයක්
සෝයා සෝස්
ගම්මිරිස් 
තල තෙල්  මේස හැඳි 1 ක් 
ලූණු පදමට

සාදන ක‍්‍රමය

බාස්මතී බත බෙරි නොවෙන සේ පිසගන්න. ස්වීට් කෝන් විනාඩි දෙක තුනක් නටන උණුවතුරෙන් තම්බාගන්න. සියල්ල කලවම් කිරීමට පහසු භාජනයක් ගෙන එය මඳගින්නේ තබා, බටර් ස්වල්පයක් එකතු කරන්න. බටර් ටික යන්තම් රත්වන විට, සුදුලූනු, ඉඟුරු දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න. මීළඟට කොටු කපාගත් කැරට්, ගෝවා, බෙල්පෙපර්, ගම්මිරිස් කුඩු, සෝයා සෝස් සහ ලූණු පදමට එකතු කර නැවතත් හොඳින් කලවම් කරන්න. දැන් බිත්තර හතරක් වෙනම බඳුනකට කඩාගෙන එයද මෙම මිශ‍්‍රණයට එක්කර හැඳි කූරකින් හොඳින් මිශ‍්‍ර කරන්න. දැන් තම්බා ගත් ස්වීට් කෝන් කලවම් කර, අවසානයට පිසගත් බාස්මතී බත් එකතු කරන්න. තල තෙල් මේස හැන්දක් පමණ එක්කර කපාගත් ලූනු කොළ ටිකත් උඩින් දමා කලවම් කර මේසයට පිළිගන්වන්න.

 

කාටත් එකසේ ගුණයි

මෙම ආහාරවේල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය වැනි ප‍්‍රධාන පෝෂක මෙන්ම ශරීරයේ ක‍්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන විටමින්, ඛනිජ ලවණ හා තන්තු වැනි ක්ෂුද්‍ර පෝෂක බොහොමයක්ද අඩංගු සමබල ආහාර වේලකි. මෙහි රසවත්බව සහ වර්ණවත් බව නිසා ආහාර රුචිය වැඩි කරවයි. 
මෙහි අඩංගු ප‍්‍රධාන කාබෝහයිඩ්‍රේට් ප‍්‍රභවය වන බාස්මතී සහල්වල බී විටමින්, කොපර්, මැග්නීසියම්, පොස්පරස් වැනි ඛනිජ ලවණ මෙන්ම තන්තු ද අන්තර්ගත වේ. එහෙත් ඔබ භාවිත කරන සහල් වර්ගයේ ගුණාත්මකභාවය මත එහි අඩංගු පෝෂක සංයුතියේ යම් යම් වෙනස්කම් සිදුවිය හැකි ය. 
ස්වීට්කොර්න්වල කාබෝහයිඩ්‍රේට් මෙන්ම ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය පහසු කිරීමට ඉවහල් වන තන්තු ද අඩංගු වේ. මීට අමතරව බී සහ සී වැනි විටමින් මෙන්ම මැග්නීසියම්, පොටෑසියම් වැනි ඛනිජ ලවණ ද අඩංගු වේ. 
මෙය පිළියෙල කිරීමට යොදාගන්නා කැරට්, ගෝවා සහ බෙල් පෙපර් වැනි එළවළු ආහාර වේල වඩාත් වර්ණවත් කරයි. විවිධ වර්ණවලින් යුත් එළවළු මගින් විවිධත්වයකින් යුතු විටමින්, ඛනිජ ලවණ මෙන්ම ශරීරය රෝගවලින් ආරක්ෂා කිරීමට ඉවහල් වන ප‍්‍රතිඔක්සිකාරක වර්ග ද ලබා දෙයි.
මෙය නිරෝගී වැඩිහිටි අයට මෙන්ම කුඩා දරුවන්ටද ලබා දිය හැකි පෝෂණ ගුණයෙන් සපිරි ආහාරයක් ලෙස සැලකිය හැකිය. එළවළු ප‍්‍රමාණය තරමක් වැඩිපුර යොදා තෙල් සහ ලූණු ප‍්‍රමාණය අඩුවෙන් යොදා සකස් කළ විට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි රෝගවලින් පෙළෙන අයට වුවද ඒකාකරී ආහාර රටාවට වෙනසක් එක් කිරීමට මෙවැනි ආහරයක් පිළියෙල කරගත හැකිය. 

සටහන - නයනා උදයංගනී

 

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Previous

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

වයසට යන්න බයවෙන්නෙපා Read Next

වයසට යන්න බයවෙන්නෙපා

Realted Post

Leave a comment