ලස්සන වෙන්න මේ කෑම කන්න

සුන්දර කෙස් කලඹකට, නිරෝගීමත් සමකට සහ නියපෙළකට බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් හොඳ පෝෂණයක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය විටමින් වර්ග අඩංගු ආහාර කිහිපයක් සතියකට දෙවතාවක් හෝ කෑම වේලට එකතු කරගත හැකි නම් අගෙයි. මෙවර කෑම වේල දිගහැරෙන්නේ කෑම මේසයේ රස වෙනසකට වගේම නිරෝගී ජීවිතයක් වෙනුවෙන්.

නිවිති තෝසේ 

අවශ්‍ය ද්‍රව්‍ය 

තෝසේ පිටි මිශ‍්‍රණය කෝප්ප 2 ක්
නිවිති කොළ කෝප්ප 2 ක්
අමු මිරිස් කරල් 2 ක්
ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
කහ කුඩු තේ හැඳි 1/4 ක් 
එළඟිතෙල් හෝ මාගරින් මේස හැඳි 4 ක් 
ලූණු ස්වල්පයක්

සකසන අයුරු

තෝසෙ පිටි මිශ‍්‍රණයට අවශ්‍ය පමණ වතුර එක්කරගෙන තරමක දියාරු මිශ‍්‍රණයක් සකසා ගන්න. 
නිවිති සෝදාගන්න. භාජනයට වතුර දමා උතුරුවා ගන්න. උතුරන වතුරට නිවිති, අමු මිරිස්, කහ කුඩු සහ ඉඟුරු දමා විනාඩි 3 ක් පමණ තම්බාගෙන ලිපෙන් බාගන්න. වතුර පෙරාගෙන තම්බාගත් අමුද්‍රව්‍ය නිවෙන්නට තබන්න. තම්බා නිවාගත් අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා හොඳින් අඹරාගන්න. අඹරාගත් මිශ‍්‍රණය තෝසෙ මිශ‍්‍රණයට එක්කර හොඳින් කලවම් කරන්න. ලූණු ස්වල්පයක් එක්කරගන්න.

තෝසෙ තාච්චියක් ලිප තබා රත් කර තාච්චියට වතුර ස්වල්පයක් දමා එහි උණුසුම අඩු කරගන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් රෙදි කැබැල්ලකින් තාච්චිය පුරා ගාගන්න. දැන් සකසා ගත් තෝසෙ මිශ‍්‍රණයෙන් හැන්දක් ගෙන තාච්චියට දමා පැතලි කරගන්න. ලිපේ ගින්දර අඩු මට්ටමක තබාගන්න. 
තෝසේ වටේට එළඟි තෙල් ස්වල්පයක් වත් කරගන්න. තෝසෙ යටි පැත්ත දුඹුරු පැහැ වූ පසු ලිපෙන් බාගන්න.

නිවිති සහ බටන් මෂ් රූම් ෆ‍්‍රිටාටා

අවශ්‍ය ද්‍රව්‍ය 

නිවිති ග‍්‍රෑම් 250 ක් 
බට්න් මෂ්රූම් ග‍්‍රෑම් 250 ක්
ඔලිව් තෙල් මේස හැඳි 2 ක්
සුදු ලූනු බික් 2 ක්
බිත්තර 8 ක්
ගම්මිරිස් කුඩු රස පමණට
කිරි කෝප්ප 1/4 ක් 
පාමසාන් චීස් කෝප්ප 1/4 ක් (අවශ්‍ය නම් පමණක්*
ලූණු

සකසා ගන්නා ආකාරය

භාජනයක් ලිප තබා තෙල් එක්කරන්න. රත් වූ පසු එයට කපාගත් බට්න් මෂ් රූම් එක්කර විනාඩි 5 ක් පමණ තෙම්පරාදු කරගන්න. ඉන්පසු තළාගත් සුදු ලූනු, ගම්මිරිස් සහ ලූණු එක්කර සුදු ලූනු සුවඳ විහිදෙනතුරු තෙම්පරාදු කරගන්න. ඉන්පසු තරමක කැබලි සිටින සේ කපාගත් නිවිති එක්කරගන්න. තවත් විනාඩි 5 ක් පමණ මඳගින්නේ තෙම්පරාදු කරගන්න. 
භාජනයකට බිත්තර දමා හොඳින් ගසාගන්න. ලූණු සහ ගම්මිරිස් කුඩු එක්කරගන්න. ඉන්පසු කිරි සහ තෙම්පරාදු කරගත් එළවළු මිශ‍්‍රණය සහ පාමසාන් චීස් එකතු කරන්න. දැන් මෙම මිශ‍්‍රණය තරමක ගැඹුරක් සහිත බේකින් ටේ‍්‍ර එකකට දමාගෙන අංශක 400ක උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ බේක් කරගන්න.

උඳු වෑංජනය  

අවශ්‍ය ද්‍රව්‍ය 

උඳු ග‍්‍රෑම් 250 ක්
මුරුංගා කරලක්
රතු ලූනු 5 ක්
සුදු ලූනු බික් 5 ක්
සියඹලා තේ හැන්දක ප‍්‍රමාණයක්
මිරිස් කුඩු තේ හැන්දක්
කහ කුඩු තේ හැඳි 1/4 ක්
තුන පහ කුඩු තේ හැන්දක්
ගාගත් පොල් කෝප්ප 1/2 ක් 
තෙල් මේස හැඳි 2 ක් (තලතෙල් නම් වඩාත් සුදුසුයි)
අබ තේ හැඳි 1/2 ක් 
සූදුරු තේ හැඳි 1/2 ක්
වියළි රතු මිරිස් කරල් 2 ක්
කරපිංචා ඉත්තක් සහ ලූණු

හදන හැටි

පොල් සහ සූදුරු හොඳින් අඹරා ගෙන පසෙකින් තබාගන්න. 
භාජනයක් රත්කර උඳු ටික සුවඳ විහිදෙනතුරු රත් කරගන්න. ඉන්පසු උඳු ටික හොඳින් තම්බා ගන්න. 
භානජයක් ලිප තබා එයට තෙල් එක්කරගන්න. අබ, වියළි රතු මිරිස්, කරපිංචා සහ තළාගත් සුදු ලූනු එක්කර තෙම්පරාදු කරගන්න. ඉන්පසු එයටම කපාගත් රතු ලූනු, කපාගත් මුරුංගා කැබලි, එක්කර විනාඩි 5ක් පමණ තෙම්පරාදු කරගන්න.  දැන් මෙයට අඹරාගත් පොල් මිශ‍්‍රණය එක්කරගෙන විනාඩි කිහිපයක් තෙම්පරාදු කරගන්න. මිරිස් කුඩු, තුනපහ කුඩු සහ කහ කුඩු එක්කර විනාඩි 2ක් 3ක් පමණ මඳ ගින්නේ තෙම්පරාදු කරගෙන තම්බාගත් උඳු, වතුර සමග මෙම භාජනයටම එක්කරගන්න. ලූණු සහ සියඹලා ද එක්කරගෙන උතුරුවා ගන්න.

අලිපේර සහ කෙසෙල් ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය 
 
ඉදුණු අලිපේර ගෙඩියක්
කෙසෙල් ගෙඩි 2 ක්
ලෙමන් ගෙඩියකින් 1/2 ක්
සීනි අවශ්‍ය පමණ
ලූණු ස්වල්පයක්
 
හදන හැටි
 
අලිපේර මදය, කෙසෙල්, කිරි, ලූණු සහ සීනි හොඳින් බ්ලෙන්ඞ් කරගන්න. බ්ලෙන්ඞ් කරගත් මිශ‍්‍රණය වීදුරුවකට දමා එයට ලෙමන් යුෂ එක්කරගෙන කලවම් කරගන්න. අවශ්‍ය නම් ශීතකර පානයට ගත හැකිය.  
 
නයනා උදයංගනී 
 

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Previous

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල Read Next

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

Realted Post

Leave a comment