වෙනස්ම රසකට දූරියන්

 

දූරියන්වල තියන්නේ ඇබ්බැහිවෙන රසයක්. මේ පළතුර කන්න කැමති අය ඒ රසයට ඒ තරමටම ඇළුම් කළාට අකමැති අයට නම් මේ ඉමිහිරි සුවඳ දැනෙන්නෙ දුගදක් විදියට. එහෙත් දූරියන් කියන්නේ ඇත්තටම රසවත්, ගුණවත් පළතුරක්. මේ වන විට දූරියන් වාරය ඇවිත් තිබෙන නිසා දූරියන් වැඩිපුර දකින්න ලැබෙනවා. හැමදාම පළතුරක් විදියට රස බලන දූරියන්වලින් හදන මේ අපූරු කෑමවල රස බැලුවොත් දූරියන් නොකන අයටත් මේ රස පළතුර මේ විදියට නම් රස බලන්නම හිතෙයි.

 

 දූරියන් ආප්ප 
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් ග්‍රෑම් 500 ක් 
දූරියන් ගෙඩියක පොඩිකරගත් මදය
පොල් බෑයක මිටිකිරි
ආප්ප සෝඩා තේ හැඳි 1/2 ක්
සීනි තේ හැන්දක්
පොල් රා කෝප්ප බාගයක්
මෝල්ටඩ් මිල්ක් පිටි මේස හැඳි 2 ක්
ලුණු

 

සකසා ගන්නා ආකාරය
මුලින්ම හාල් පැය 6-7 ක් පෙඟෙන්නට තබන්න. පෙඟුණු හාල්වල වතුර බේරෙන්නට තබා කොටාගන්න. (කප්පි නොසිටින සේ දෙවරක් පමණ හලාගන්න)

දැන් පිටි ටිකට පොල් රා, සීනි, ආප්ප සෝඩා, ලුණු එක්කර මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් දියකිරි ටිකක් එක්කර තරමක් දියාරු මිශ්‍රණයක් ලැබෙන සේ සකසා ගන්න. මෙය ද පැය 7ක් පමණ පිපෙන්නට තබන්න. පිපුණු ආප්ප මිශ්‍රණයට මිටිකිරි සහ හොඳින් පොඩි කරගත් දූරියන් තලපය එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු එයට මෝල්ටඩ් මිල්ක් එකතු කරන්න. ආප්පවල ක්‍රිස්පි ගතිය ලබාගන්න මෝල්ටඩ් මිල්ක් පවුඩර් එකතු කරගන්න පුළුවනි. දියාරුත් නැති එතරම් ගනකමත් නැති මිශ්‍රණයක් සකසා ගන්න. මීළඟට පදම් කරගත් ආප්ප තාච්චියක් රත්කර ගන්න. තෙල් ස්වල්පයක් රෙදි කැබැල්ලකට ගෙන තාච්චියේ ගාගන්න. ඉන්පසු පොල්කටු හැන්දකට දූරියන් ආප්ප මිශ්‍රණයගෙන රත් වූ තාච්චියට දමා වසා ආප්පය පුළුස්සා ගන්න.

 

 දූරියන් ෆ්‍රිටර්ස් 
අවශ්‍ය ද්‍රව්‍ය
හාල්පිටි ග්‍රෑම් 100 ක් 
දූරියන් මද ග්‍රෑම් 250 ක්
සීනි ස්වල්පයක්
බේකින් සෝඩාතේ හැඳි 1/2 ක්
ලුණු ස්වල්පයක්
ගැඹුරු තෙලේ බැද ගැනීමට තෙල්

 

සකසා ගන්නා ආකාරය
ඉදුණු දූරියන් මද හොඳින් පොඩිකර ගන්න. එයට හාල්පිටි, සීනි, ලුණු, බේකින් සෝඩා දමා මිශ්‍ර කරන්න.

පැය භාගයක් තිබෙන්නට හරින්න. මිශ්‍රණය තරමක තද ගතියක් තිබේ නම් කිරි ස්වල්පයක් එක්කර තරමක් මෙලෙක් කරගන්න. මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා ගැඹුරු තෙලේ බැදගන්න.

 

 දූරියන් අයිස් ක්‍රීම් 

අවශ්‍ය ද්‍රව්‍ය 
හොඳින් පොඩි කරගත් 
ඉදුණු දූරියන් කෝප්ප 1 ක්

දේශීය සූපශාස්ත්‍ර සහ ස්වාභාවික රූ සත්කාරක පර්යේෂිකා 
පංචමී හේවාවිසෙන්ත


හෙවිවිපින් ක්‍රීම් කෝප්ප 2 ක්
කන්ඩෙන්ස්ඩ් මිල්ක් කෝප්ප 1 ක්
බටර් මේස හැඳි 3 ක් 
අයිසින් සීනි කෝප්ප 1/4 ක්

 

සකසා ගන්නා ආකාරය
හොඳින් ඉදුණු දූරියන් මද භාජනයකට දමා තලපයක් ලැබෙන සේ පොඩිකර ගන්න. මෙසේ පොඩි කරගත් දූරියන් තේ පෙරණයක් භාවිතයෙන් තව දුරටත් පොඩිකර ගන්න. (පෙරණයෙන් පෙරී එන ක්‍රීම් එක අයිස්ක්‍රීම් සෑදීමට සුදුසුය.)

තරමක් ඉඩ තිබෙන බඳුනකට කන්ඩෙන්ස්ඩ් මිල්ක් හෙවත් ටින්කිරි, අයිසින් සීනි, සහ කාමර උෂ්ණත්වයේ තිබෙන බටර් දමා විස්ක් එකක් ආධාරයෙන් හොඳින් ගසාගන්න. මෙයට හොඳින් පොඩිකර පෙරාගත් දූරියන් ක්‍රීම් එක්කර ගන්න. ටින්කිරි, බටර් සහ දූරියන් ක්‍රීම් හොඳින් මිශ්‍රවන සේ විස්ක් එක ආධාරයෙන් නැවත ගසාගන්න. මෘදු මිශ්‍රණයක් ලැබෙන සේ මෙසේ කරන්න. තවත් භාජනයකට හෙවිවිපින් ක්‍රීම් දමා ඉලෙක්ටි්‍රක් බීටරයක් හෝ හෑන්ඩ් හෙල්ට් විස්කර් එකක් භාවිතයෙන් හෙවි ක්‍රීම් බීට් කරගන්න. විපින්ක්‍රීම් උඩට මතු වී පුළුන් වැනි ස්වභාවයක් ගන්නා තෙක් දිගටම බීට් කරන්න. මෙසේ බීට් කරගත් විපින් ක්‍රීම් ප්‍රවේසමෙන් ටින්කිරි, බටර් සහ දූරියන් ක්‍රීම් එක ඇති බඳුනට දමා ෆෝල්ඩ් කරගන්න. එනම්, මෘදු ලෙස මිශ්‍ර කරන්න. හෙවික්‍රීම් සමග අනෙකුත් අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න. බොහෝ වේලා ප්‍රමාණයට වඩා අධිකව මිශ්‍ර කිරීමෙන් වළකින්න.

වීදුරු බඳුනක් ගෙන බටර් තවරා ගන්න. සකසා ගත් දූරියන් අයිස් ක්‍රීම් මිශ්‍රණය එයට දමා හැන්දකින් පැතලි කරගන්න. භාජනය කෙසෙල් කොළයකින් වසා නූලකින් වටේ ගැට ගසාගන්න. කෙසෙල් කොළ නොමැති නම් ඉටි කොළයකින් හෝ ක්ලින්ග් රැප් එකකින් වුවද වැසිය හැකිය. පැය 8-12 ක් පමණ අධි ශීතකරණයේ තබන්න. දූරියන් අයිස් ක්‍රීම් පිළිගැන්වීමට විනාඩි 5කට පමණ පෙර අයිස් ක්‍රීම් භාජනය ශීතකරණයෙන් පිටතට ගන්න.

සටහන: නයනා උදයංගනී


 

ජීවිතයට වාසනාව ගෙනෙන නැකැත් සීට්ටුව Read Previous

ජීවිතයට වාසනාව ගෙනෙන නැකැත් සීට්ටුව

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Next

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

Realted Post

Leave a comment