සිහින් සිරුර හැඩකරන පෝෂධෑය ආහාර

ශක්තිය දෙන ආහාර මොනවාද? 

උපදෙස්  - යක්කල සිද්ධාර්යුවේද  ආයතනයේ හිටපු කථිකාචාර්ය  නිලානි වෙලේකුඹුර


ශරීරය කෘෂවීමට  නොයෙකුත් හේතු බලපායි. ඊට පරම්පරා හෝ ජානමය හේතු ද බලපෑ හැකියි. එවැනි කෘෂ පුද්ගලයන්  ගේ ශරීරයේ තිබිය යුතු මහතට වඩා  තවත්  මහත් කිරීම අපහසු විය හැකිය. එහෙත්  සමහර අය ක්‍ෂය රෝගය නැත්නම් මධුමේහය වැනි නොයෙකුත් රෝග නිසා කෙට්ටු වේ. එවැනි  රෝගවලට ප්‍රතිකාර කරන අතරම ආයුර්වේදයේ සඳහන් වන විශේෂිත නොයෙකුත් රසායන ඖෂධ වර්ග හා ආහාරපාන ගැනීමෙන් සිරුර පුෂ්ටිමත් කර ගත හැකිය. 


එසේම අධික වෙහෙස, අධික ව්‍යායාම, නිතර නිදි වැරීම, ආදී හේතු නිසාද  කෘෂබව ඇති වේ.  විහාගවලට පෙනී සිටින දරුවන්ට කෘෂබව නැතත් අධිකව මනස වෙහෙස වන කාලවලට රසායන ඖෂධ හා ගිතෙල් යෙදූ ආහාර වර්ග ගැනීම ඵලදායකය.  උෂ්ණාධික සිරුරක් ඇති අයට ඒ උෂ්ණ ගති  නැති කරන ආහාර, ඖෂධ පළමුව දී  දෙවනුව රසායන ඖෂධ ගැනීම මගින් ශරීරය පුෂ්ටිමත් කර ගත හැකිය.  මේ නිසා ඖෂධ ගන්නා අයට ඖෂධ ගැනීම වගේම සුදුසු ආහාර ගැනීමත් වැදගත්ය. එහෙත් මේ  කාලයේ ප්‍රෝටීන් අධික මස් වැනි ආහාර වර්ග මිලෙන් අධික නිසා පහසුවෙන් මිලට ගත හැකි  ආහාර වර්ග ආහාරයට එකතු කර ගත හැකිය. ඒ සඳහා  උඳු ආහාර, ගිතෙල් මිශ්‍ර ආහාර, ශීත ආහාර වර්ග ආහාර කෘෂබව අඩුකර ගැනීමට උදව් කර ගත හැකියි. 


මෙම කෑම බීම වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් කෘෂබව අඩු කරගග හැකිය. සෑමවිටම ප්‍රෝටීන් ආහාර වර්ග සොයනවා වෙනුවට මෙවැනි පහසු කෑම වර්ගත් ආහාරවේලට එකතු කරගන්න.    

 

 එළඟිතෙල් මිශ්‍ර බතක්
 අවශ්‍ය ද්‍රව්‍ය 
 කීරි සම්බා ග්‍රෑම් 500 ක්
 ගිතෙල් ග්‍රෑම් 100 ක්
 කරදමුංගු කරල් 2- 3 ක්
කරාබු නැටි 2 ක්
 කුරුඳු කැබැල්ලක්
 මහදුරු තේ හැඳි 1/2 ක්
 කුරුඳු කොළ කැබලි 2 ක්
රම්පා කොළ කැබලි 2 ක්
සේර අඟල් 1 ක ප්‍රමාණයට
 කරපිංචා ඉති 2 ක්
 ලියාගත් ලොකුලූනු ගෙඩි 2 ක්
 පළාගත් අමුමිරිස් කරල් 4-5 ක්
 තළාගත් අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
 සුදුලූනු බික් 2-3 ක්
 කජු මද ග්‍රෑම් 50 ක්
 කොත්තමල්ලි කොළ මේස හැඳි 2 ක්
පොල් කිරි කෝප්ප 1/2 ක්
 රස අනුව ලුණු


 සාදන ක්‍රමය
හාල් සෝදා දිය බේරන්න. බත පිසින බඳුන හෝ රයිස් කුකරය ගෙන එයට එළඟිතෙල් දමා රත්වන විට ලියාගත් ලූනු එකතු කර රම්පා, කරපිංචා, සේර, කුරුඳු, කරාබු නැටි, කුරුඳු කොළ, මහදුරු, අම්මිරිස්. සියල්ල එකතු කරන්න. එයට තළාගත් ඉඟුරු, සුදුලූනු දමා හැඳිගාමින් තෙම්පරාදු කර එම මිශ්‍රණයට කජු මඳ එකතු කරන්න. එය යන්තම් බැදෙන විට කොත්තමල්ලි කොළ දමා සෝදා ගත් හාල්, වතුර, ලුණු එකතු කර මඳ ගින්දරේ පිසින්න. හාල් ඉදී එනවිට එයට පොල් කිරි එකතු කර කලවම් කර මඳ ගින්දරේ වසා තබන්න. 

 


2. මුං ඇට වෑංජනය
 අවශ්‍ය ද්‍රව්‍ය 
මුං ඇට ග්‍රෑම් 250 ක්
මිටිකිරි කෝප්ප 2- 2 1/2 ක්
ලියාගත් අමුමිරිස් කරල් 2 ක්
ලියාගත් රතුලූනු ගෙඩි 3, 4 
කරපිංචා ඉත්තක්
රම්පා කොළ කැබැල්ලක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
තුනපහ කුඩු තේ හැඳි 1 ක්
උම්බලකඩ කැබලි තේ හැඳි 1 ක්
ලුණු කුඩු රස අනුව


සාදන ක්‍රමය
තාච්චියක් හෝ ඇතිලියක් ලිප තබා රත්වන විට සෝදා ගරා ගත් මුං ඇට දමා එය හැඳිගාමින් රන්වන් පැහැයට  බදින්න. ඉන්පසු බැදගත් මුං ඇට වට්ටියක හෝ ලෑල්ලක් තුනීකර රෝලින් පින් එකකින් හෝ  බෝතලයකින් මුං ඇට පියළි කරන්න. පියළි කර ගත් මුං ඇට ඇතිළියකට දමා පොල් කිරි හැර අනෙකුත් සියලු ද්‍රව්‍ය දමා මුං ඇටවල සිට අඟල් 1/2 ක් උසට වතුර දමා මඳ ගින්දරේ  හොඳින් තම්බන්න. මුං ඇට තැම්බී වතුර හිඳුණු පසු මිටිකිරි එකතු කර සාවරය තිබෙන ආකාරයට මඳ ගින්දරේ පිස ලිපෙන් බාන්න.

 

 


 3. දන්දිල කිරට
 අවශ්‍ය ද්‍රව්‍ය


 දන්දිල ග්‍රෑම් 500 ක්
 මිටිකිරි දියකිරි කෝප්ප 2-3 ක්
රතුලූනු ගෙඩි 5-6 ක්
ලියාගත් අමුමිරිස් කරල් 2-3 ක්
කරපිංචා ඉත්තක්
රම්පා කැබැල්ලක්
කුරුඳු පොතු කැබැල්ලක්
 මිරිස් කුඩු තේ හැඳි 1 ක්
 තුනපහ කුඩු තේ හැඳි 1 ක්
 කහ කුඩු තේ හැඳි 1/2 ක්
 උළුහාල් ඇට තේ හැඳි 1/2 ක්
 දෙහි ඇඹුල්  තේ හැඳි 1 ක්
 ලුණු රස අනුව


 සාදන ක්‍රමය
අල පොතු හැර කෑලි කපා තම්බන්න. තම්බා ගත් අල ඇතිලියකට දමන්න. දෙහි ඇඹුල් හැර පොල් කිරි සමග ඉතිරි සියලු ද්‍රව්‍ය එකතු කර හොඳින් කලවම් කර ලිප තබා හැඳිගාමින් පිසින්න. අල හොද්ද බොරයට සිටින ආකාරයට එන විට ලිපෙන් බා දෙහි ඇඹුල් එකතු කරන්න.

 


 4. නෙළුම් අල වෑංජනය
 අවශ්‍ය ද්‍රව්‍ය
 නෙළුම් අල ග්‍රෑම් 250 ක් (දෙපැත්ත වැසණු නෙ`ඵම්  අල තෝරාගන්න)
 රතුලූනු ගෙඩි 7-8 ක්
 අමුමිරිස් කරල් 2 ක්
 සුදුලූනු බික් 2 ක්
 කරපිංචා ඉති 2 ක්
 රම්පා කැබලි 2 ක්
 උම්බලකඩ කැබලි තේ හැඳි  1 ක්
 කුරුඳු කැබලි 1 ක්
 ගොරකා කැබලි 1 ක්
  කහ කුඩු තේහැඳි 1 ක්
  මිරිස් කුඩු තේ හැඳි 1 ක්
 තුනපහ කුඩු තේ හැඳි 1 ක්
කළු කුඩු තේ හැඳි 1/2 ක්
  අබ ඇට තේ හැඳි 1/2 ක්
  කෑලි මිරිස් තේ හැඳි 1/2 ක්
 මිටිකිරි කෝප්ප 1 1/2 - 2 ක්
පොල්තෙල් මේස හැඳි 1 1/2 - 2 ක්
 බේකින් පවුඩර් තේ හැඳි 1/4 ක්


 සාදන ක්‍රමය
නෙ`ඵම් අලවල පිට පොත්ත කුරුටු ගා පිරිසුදු කර සෝදා සිහින් පෙති කපන්න. එයට කහ කුඩු තේ හැඳි 1/2 ක්, ගොරකා කැබලි 1 ක්, බේකින් පවුඩර් තේ හැඳි 1/4 ක්  අවශ්‍ය පමණ වතුර දමා හොඳින් තම්බා වතුර පෙරන්න. තම්බා ගත් නෙළුම් අල ඇතිළියකට දමන්න. එයට ලියාගත් රතුලූනු, අමුමිරිස්, උම්බලකඩ, කුරුඳු, ඉතිරි කහ, කරපිංචා. රම්පා කොළ මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු කුඩු දමා එයට පොල් කිරි එකතු කර ලිප තබා මද ගින්දරේ පිසින්න. කෑලි එක ගානට එකට එකතු වී සාවරය තිබෙන විට  නෙළුම් අල වෑංජනය වෙනත් බඳුනකට මාරු කරන්න. එම බඳුන ලිප තබා පොල් තෙල් එකතු කර රත්වන විට ලියාගත් රතුලූනු, කරපිංචා, අබ ඇට කිහිපයක් එකතු ක  අබ ඇට පුපුරන විට කැබලි මිරිස්  එකතු කර තෙම්පරාදු කරන්න. එයට පිස ගත් නෙ`ඵම් අල එකතු කර හැඳි ගා කළු කුඩු ටිකක් ඉස  ලිපෙන් බාන්න. 

 


5. තෝසේ
 අවශ්‍ය ද්‍රව්‍ය
උඳු පිටි ග්‍රෑම් 150 ක් (තෝසේ පිටි මිශ්‍රණය නොවේ)
තෙත හාල් පිටි ග්‍රෑම් 250 ක්
පාන් පිටි ග්‍රෑම් 200 ක්
පිස ගත් බත් කෝප්ප 1 ක් (සම්බා හෝ නාඩු හාල්)
උළුහාල් තේ හැඳි 1 ක්
සීනි තේ හැඳි 1 ක්
පොල් බෑයක පොල් කිරි 
ලුණු කුඩු
තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය 
 ලියාගත් රතුලූනු ගෙඩි 10-12 ක්
 ලුණුවල පොඟවා ගත් වියළි මිරිස් කරල් කිහිපයක්
  ලියාගත් කරපිංචා කොළ කිහිපයක්
  අබ තේ හැඳි 1 ක්
  තෙල් මේස හැඳි 2- 3 ක්


 සාදන ක්‍රමය
බත් කෝප්පයට උ`ඵහාල් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න. එයට උඳු පිටි, හාල් පිටි, පාන් පිටි,  සීනි සහ පොල් කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න. එම මිශ්‍රණය ආප්ප මිශ්‍රණයට වඩා මඳක් ගනකමට තිබිය යුතුය. එය පැය 3 ක් පමණ වසා තබන්න. බඳුනකට තෙල් දමා ලිප තබා රත්වන විට  ලියාගත් රතුලූනු, කරපිංචා, අබ සහ මිරිස් කැබලි එකතු කර තෙම්පරාදු කර තෝසේ මිශ්‍රණයට එකතු කරන්න. අවශ්‍ය පමණ ලුණු එකතු කර කලවම් කරන්න. දැන් තෝසේ තැටිය හෝ නොන්ස්ටික් සාස්පානක් ලිප තබා තෙල් ටිකක් ගා රත්වන විට මිශ්‍රණයෙන් පොල් කටු හැන්දක ප්‍රමාණයක් දමා   තුනීකර එක් පැත්තක් පුච්චා අනෙක් පැත්ත හරවා ඉවතට ගන්න. 

 


 6. යෝගට් පානය
 අවශ්‍ය ද්‍රව්‍ය

යෝගට් කෝප්ප 3 ක්
 කරද මුංගු කුඩු තේ හැඳි 1/4 ක්
  වතුර වීදුරු 2 ක් (මිලි ලීටර් 200 වීදුරුව)
  සීනි මේස හැඳි 2-3 ක්
 රෝස් එසන්ස් තේ හැඳි 1/2 ක්
 පොඟවා ගත් කස ඇට තේ හැඳි 1 -  1 1/2 ක්
  වැනිලා තේ හැඳි 1/2 ක්
 රෝස පාට ආහාර වර්ණ බින්දු 1-2 ක්
 අයිස් කැට කිහිපයක්


 සාදන ක්‍රමය 
බ්ලෙන්ඩ් එකට යෝගට්, කරදමුංගු කුඩු, සීනි, වතුර රෝස් එසන්ස්, වැනිලා, රෝස පාට ආහාර වර්ණ  එකතු කර බ්ලෙන්ඩ් කරන්න. එය වීදුරුවකට දමා පොඟවා ගත් කස කස ඇට සහ අයිස් කැට එකතු කර පිළිගන්වන්න.

 


7. වදමල් පානය
 අවශ්‍ය ද්‍රව්‍ය 
 පොකුරු වද මල් 1, 2 ක්
 උතුරන වතුර කෝප්ප 1/2 ක්
 අයිස් වතුර වීදුරුවක්
 දෙහි යුෂ තේ හැඳි 1 ක්
 සීනි රස අනුව
 පොඟවා ගත් කස කස ඇට ටිකක්
 අයිස් කැට කීපයක්


 සාදන ක්‍රමය
සෝදා පිරිසුදු කරගත් වද මල්  වල පෙති ගලවා  බඳුනකට දමා එයට  උතුරන වතුර  කෝප්ප 1/2 ක් දමා   මිනිත්තු 2-3 ක් වසා තබන්න.  ඉන්පස් වතුර පෙරා එයට අයිස් වතුර, සීනි,  දෙහි ඉසුම,  එකතු කර හොඳින් කලවම් කර  පොඟවාගත් කස කස ඇට  සහ අයිස් කැට  එකතු කරන්න.  අවශ්‍ය නම් අයිස් ක්‍රීම්  මේස හැඳි 1 ක්  එකතු කරන්න.  මෙම පානය දින කිහිපයක් ශීතකරනයේ තැබිය හැකිය. 

 


 8. ගිතෙල් මිශ්‍ර කිරි බත්
 අවශ්‍ය ද්‍රව්‍ය

 සුදු කැකුළු හාල් ග්‍රෑම් 500 ක්
 මිටිකිරි කෝප්ප 2-3 ක්
ගිතෙල්  මේස හැඳි 2- 2 1/2 ක්
කරදමුංගු කරල්  2 ක්
කජු මඳ කිහිපයක්
මුද්දරප්පලම් මේස හැඳි  1 1/2 - 2 ක්
රම්පා කැබලි 1 ක් 
රස අනුව ලුණු


 සාදන ක්‍රමය
සුදු කැකුළු හාල් ගරා සෝදාගන්න. බඳුනකට දමා අවශ්‍ය පමණ වතුර, දමා ලුණු, කරදමුංගු, කජු, මුද්දරප්පලම්, රම්පා කැබල්ලක් දමා බත පිසින්න. බත ඉදී එනවිට පොල් කිරි එකතු කරන්න. මිනිත්තු 2-3කින් පසු ගිතෙල් එකතු කර කලවම් කර වසා මඳ ගින්දරේ ටික වේලාවක් තබන්න. ඉන්පසු රම්පා කැබැල්ල ඉවතට ගෙන තුනීකර කෑලි කපා පිළිගන්වන්න.


 


 පුෂ්පා රණවීර


 
 

Sirikatha Fashion Read Previous

Sirikatha Fashion

පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර Read Next

පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර

Realted Post

Leave a comment